වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍ර‍්‍රසන්නගේ ආයුධය අංජලිගේ ඇස් දෙක

ප්‍ර‍්‍රසන්නගේ ආයුධය අංජලිගේ ඇස් දෙක

කාව්‍යක් සේ පබදින්නට ප්‍රසන්න ගත් තැත නම් අද්විතීයය. චරිත දෙකක් විනාඩි 90 ක් අතර සමතුලිනය කිරීමද විශ්මජනකය . එය සමතුලිනය කිරීමට අංජලි පටෙල්ගේ රංගනයේ විශිෂ්ටත්වයත් , එයටම සමගාමී වූ ශ්‍යාම් ප්‍රනාන්දුගේ රංගන දායකත්වයත්,ප්‍රසන්නට ප්‍රසන්න ලෙසම පෙනී සිටීමට අවකාශ ලැබුණි. ලක්ෂ්මන් ජෝසප් ඩි සේරම් ගේ සංගීතය සහ එම්.ඩී.මහින්දපාල ගේ කැමරා අධ්‍යක්ෂණයද ප්‍රසන්නට ප්‍රසන්න ලෙස පෙනීසිටීමට තවත් ශක්තියක් විය.

පැට්‍රිස් ලෙකොන්ටේ අධ්‍යක්ෂණය කළ 1990 තිරගත කල ප්‍රංස චිත්‍රපටයක් වූ "ලා මාරි ඩී ලා කොයිෆියුසි" (Le Mari de la coiffeuse) චිත්‍රපටය මට සිහිවූයේ ප්‍රසන්න විතානගේ ගේ ,"ඔබ නැතිව ඔබ එක්ක" නරඹන විටදීය. නමුත් ප්‍රසන්නගේ චිත්‍රපටය ඔහු උපුටා ගත්තේ ෆියෝදෝර් දොස්ටෝයෙවිස්කි විසින් ලියා පල කල "අ ජෙන්ටල් ක්රීචර් " නම් රුසියානු කෙටි කථාව ඇසුරිනි.රුසියානු බසින් "ක්රෝට්කායා " ලෙස නම් කෙරු මෙය ජෝර්ඩීන් හොග් විසින් "ද මීක් වන් " ලෙසද පරිවර්තනය කර ඇත "ලා මාරි ඩී ලා කොයිෆියුසි" හා "අ ජෙන්ටල් ක්රීචර් "අතර තිබු එකම සමාන කම,සිත තුළ දැඩිව ඉපදෙන අසාමාන්‍ය ආදරයයි. කථා දෙක, අන්ත දෙකක,ගියද, එකිනෙකට වෙනස් වූ සිදුවීම් සිදුවුවද, මෙහි අන්තර්ගතනය වූයේ ආදරයේ ගැඹුරත්වයය."පුරසද කළුවර හා ඉර මැදියම තුළින් මා දුටු ප්‍රසන්නව යලි මට හමු වූයේ "ඔබ නැතිව ඔබ එක්ක" තුලිනි. එහෙත් ඊට ප්‍රථම ඔහු "ලා මාරි ඩී ලා කොයිෆියුසි" තුලත් "අ ජෙන්ටල් ක්රීචර් " තුළත් සැගවී සිට ඇති බව මට වැටහුණේ "ඔබ නැතිව ඔබ එක්ක" නැරඹු පසුවය. ප්‍රසන්න චරිත දෙකක් සමගින්,විශාල ගමනක් ගොස් තිබු අතර,ඔහු, ඔහු සමග අපවත් රැගෙන ගොස් තිබුණි. ඒ ගමන කෙතරම් දුර ගියාද,කියා අපට නිනව්වක් නොවීය. එහෙත් අපට වෙහෙසක් දැනුනේ නැත. "ලා මාරි ඩී ලා කොයිෆියුසි" නරඹද්දී හෝ "අ ජෙන්ටල් ක්රීචර් "කියවද්දී ත් අපට මේ වෙහෙස දැනුනේ නැත.

සෙල්විට, සරත්සිරි සමග ආදරය කිරීමට හෝ එකතු වීමට අවශ්‍යතාවයක් පැන නැගුණේ නැත.එහෙත් සෙල්වී සිටියේ කිසියම් හව්හරණයක් අපේක්ෂාවෙනි.

ඇය,සරත්සිරි සමග එකතු වුයේ,ඒ හව්හරණය අවශ්‍ය වූ නිසාමය. තමන් කබලෙන් ලිපට වැටුණු වග සෙල්විට වැටහුණේ පසුවය. ඉන්පසු සෙල්විට, උමතු වීම, හෝ ජීවිතය හැර යාම හැරෙන්නට වෙන විකල්පයක් නැත. ප්‍රසන්න මේ චරිත දෙක විටින් විට තරාදියක දමා කිරා බලන්නට විය. විටෙක සරත් සිරි උඩ යන විට, තවත් විටෙක සෙල්වී උඩ යනු ඇත. ඒ අනුව අපත් උඩ යට යනු ඇත. ප්‍රසන්න සරත්සිරි වෙනුවෙන් වෛරයක් ජනිත කිරීමට උත්සහා ගත්තාදැයි එක එල්ලේම කිව නොහැක. සරත්සිරි මුල සිටම "ඔරොප්පු" ස්වභාවයෙන් සිටින විට ප්‍රේක්ෂකයා සෙල්විට ලංවේ. ටික වෙලාවක් යන විට සෙල්වී කර කියා ගත නොහැකි අවංක අහිංසකාවක් බව,ප්‍රේක්ෂකයාට වැටහෙන අතර,සරත්සිරි බොහෝ දේවල් සිත යට හංගා ගත් සට කපට වංචා කාරයෙක් බව ප්‍රත්‍යක්ෂය වේ. නමුත් සරත්සිරි සිත තද කරගෙන සිටියද, ඔහු සෙල්විටත් වඩා සංවේදී යැයි වැටහෙන්නේ පසුවය. එහෙත් එම සංවේදී බව ඔහු එළියට දමන විට, සෙල්වි ගේ සිත ගලක් වී අවසන්ය. මුලදී ප්‍රේක්ෂකයාට මොවුන් අතර ඇතිවන්නට යන ගැටුම සොයා ගැන්මට අපහසු වේ. සොයා ගත විට එම ගැටුම සුළු එකක් යයි සිතුවද, අවසානයේ එය ප්‍රබලම සිදුවීම් සමුහයක් බව ප්‍රේක්ෂකයාට වැටහේ. එවිට ප්‍රේක්ෂකයා, සරත්සිරි අතර තිබෙන වෛරය චිත්‍රපටය අවසානය වනතෙක් පමණක් නොව, ශාලාවෙන් එළියට ගිය පසුද තම සිත තුළ රදවා ගනී.

ප්‍රසන්න මෙම චිත්‍රපටය හරහා කියන්නට යනුයේ ආදරයේ විවිධ පැති හා විටින් විට වෙනස්වී, නැතිවී, නැවත පණ නැගී එන ආදරය ගැනය "මට ඔයාට භාගෙට ආදරය කරන්න බැහැ ,මට ඕනා ඔයාට සම්පූර්ණයෙන්ම ආදරය කරන්න " විටෙක සෙල්වී එසේ කියන්නේ ඒ පණ නැගී එන ආදරය නිසාය. ඒ ආදරය මා "ලා මාරි ඩී ලා කොයිෆියුසි"හී ඇන්ටෝනි හා මැටිල්ඩා අතරේද දුටිමි. " මම ආයේ ඔයාට වෙනස් කමක් කරන්නේ නැහැ, අපි ඉන්දියාවට යමු. ගිහින් අර ඔයාගේ ප්‍රියතම දෙමළ නළුවා ගේ චිත්‍රපට එකක් නෑර බලමු" මේ සරත්සිරිගේ නැවත පණ නැගී ආ ආදරයයි.. එහෙත් "ලා මාරි ඩී ලා කොයිෆියුසි"හී ඇන්ටෝනි මැටිල්ඩාට කිසිදු වෙනස් කමක් කරන්නේ නැත. නමුත් ඇන්ටෝනිගේ සිතේ ඇතිවුනෙත් සරත්සිරිගේ සිතේ පසුව ඇතිවුණු ආදරයමය. සෙල්වි හව්හරණයක් බලාපොරොත්තු වූයේ ජීවිතයට ඇති බිය නිසාය. සෙල්වීගේ සහෝදරයන් හමුදා සෙබළුන් විසින් වෙඩි තබා මරා දැමු නිසා ඇය සිංහල හමුදාව සමග සිටියේ වෛරයෙනි , හමුදා සෙබළුන් ඇයව දුෂණය කර මරා දමන බව දැනගත් ඇගේ දෙමාපියන් ඇයව කදුකරයට එව්වේ, ඒ මගින් ඇගේ ජීවිතය බේරා ගැන්මට හැකිවන නිසාය. සරත්සිරි තමාව ගලවා ගන්නට පැමිණුනු ඉටු දෙවියෙක් යැයි ඇය මුලදී සිතුවද, ,ඔහු හමුදා සෙබළෙක් ව සිටි බව දැනගත් පසු ඇයට ඔහුව පෙනුණේ තමාව නැති කර දැමීමට පැමිණුනු රාක්ෂයෙක් ලෙසය. එලෙසම සරත්සිරිගේ පාපොච්චාරණය මත ඇයට තිබු හැම බලාපොරොත්තුවක්ම නැතිව ගියේය. දමිළ තරුණියක්ව දුෂණය කර මරා දැමු හමුදා සෙබළුන් කීපදෙනෙක්ව නීතියෙන් වහන් කර රැකවරණය දුන් බවත්, එය තමා අතින් සිදුවූ විශාල වරදක් බව වටහා ගත් පසු තමා හමුදාවෙන් ඉවත්වූ බවත් එම පපොච්චරණයේදී සරත්සිරි පැවසුවේ අවංකවමය. නමුත් ඒ අවංක කම ඒ වන විට "එක්ස්පයඩ් " නොහොත් කල් ඉකුත්වී තිබුණි.

ප්‍රසන්න ප්‍රේක්ෂකයාගේ අවධානය දැඩි ලෙස ඇදබැද ගත්තේ ඒ අයුරිනි. චරිත දෙක අතර ඝට්ටන ඇතිවූයේද ඉන් පසුවය. එතෙක්, සෙල්විව තමාගේ අණසකට යටත් කර ගෙන සිටි සරත්සිරි,පුසෙක් මෙන් බයාදු වන්නට වූවද, සෙල්විට නැවතත් සරත්සිරිට ආදරය කිරීමට, සිතක් සදා ගැන්මට නොහැකි විය. සියලු පව් සෝදා හැරියා යයි කියා සිතු සරත්සිරි ,සෙල්වී සමග ඉන්දියාවට යන්නට සැලසුම් කලේ, මින් පසු සෙල්විට ඇය කැමති සියලුම දේ ලබා දීමේ අපේක්ෂාවෙනි. ඒ, ප්‍රසන්න ගෙන ආ සරත්සිරිගේ නැවත පණ නැගී එන ආදරයයි . නමුත් ඒ පණ නැගී එන ආදරය ආවේ ,නැතිවී යන ආදරයකටය. ඒ වන විට සෙල්වී තමා යා යුත්තේ කොහාටදැයි තීරණය කර හමාරය. එම තීරණයම "ලා මාරි ඩී ලා කොයිෆියුසි"හී මැටිල්ඩා ද ගෙන තිබුණි.

ප්‍රසන්න ,මෙහිදීද යුද්ධය නොපෙන්වා යුධ පසුබිමක තම කථාව ස්ථාපිත කළේය. "ඔබ නැතිව ඔබ එක්ක" ආදරයේ ගැඹුරත්වයත්.එහී කඩතොලුත් ,ඉන්පසු විනාශයත් පෙන්වන අතර ඒ තුළට යළි ජනවර්ගීක යුද්ධය හා එහි පලවිපාකද රැන්දුවේය. එවරද ප්‍රසන්න ඉතාමත් සූක්ෂම විය. මුළු චිත්‍රපටය තුලම අප දකින්නේ එකම යුධ සෙබළෙකි. ඒ සරත් සිරිගේ යහළුවා ගාමිණිය. ඔහුද එන්නේ සිවිල් පිටය. සරත්සිරි හමුදා සෙබළෙක්ව සිටියා කියා අප දන්නේද පසුවය. සෙල්වී ගේ පසුබිමද යුද්ධයට සම්බන්ධ වූ ඛේදවාචකයකි. මේ සියල්ලම යුද්ධය හා ඈදුණු පුරුකයන්ය. යුද්ධය හා බැදුනද මෙහි ගැබ්වුණු ආදරය

කාව්‍යක් සේ පබදින්නට ප්‍රසන්න ගත් තැත නම් අද්විතීයය. චරිත දෙකක් විනාඩි 90 ක් අතර සමතුලිනය කිරීමද විශ්මජනකය . එය සමතුලිනය කිරීමට අංජලි පටෙල්ගේ රංගනයේ විශිෂ්ටත්වයත් , එයටම සමගාමී වූ ශ්‍යාම් ප්‍රනාන්දුගේ රංගන දායකත්වයත්,ප්‍රසන්නට ප්‍රසන්න ලෙසම පෙනී සිටීමට අවකාශ ලැබුණි. ලක්ෂ්මන් ජෝසප් ඩි සේරම් ගේ සංගීතය සහ එම්.ඩී.මහින්දපාල ගේ කැමරා අධ්‍යක්ෂණයද ප්‍රසන්නට ප්‍රසන්න ලෙස පෙනීසිටීමට තවත් ශක්තියක් විය.

ප්‍රසන්නගේ "බ්‍රෑන්ඩ්" එක යළිත් ඉස්මතු විය. පුරසද කළුවර,ඉර මැදියම, තුලින් ආ ප්‍රසන්නාකරණය යලි විශිෂ්ට ලෙස "ඔබ නැතිව ඔබ එක්ක" සමගින් මතු විය. ප්‍රසන්න මෙම චිත්‍රපටයේදී ආයුධයක් කරගත්තේ අංජලිගේ, ඇස් දෙකය. සිනමා පටයේ කිව යුතු සියල්ලම ප්‍රසන්න රැන්දුවේ අංජලිගේ ඇස් මතය. මේ ප්‍රසන්නගේ ක්‍රමයයි. ආදරය,බයාදු කම ,තිගැස්ම,කලකිරීම,පරාජය,ද්වේශය,වෛරය,ඒ සියල්ලම තිබුනේ තිරයේ නොව, අංජලීගේ දෑස් තුලය. සරත්සිරි ලෙස රගපෑ ශ්‍යාම් ගේ රගපෑමද මා දුටුවේ අංජලී ගේ දෑස් තුළින්ය . මේ සියල්ලම ප්‍රසන්නගේ "ජිමික්ස්"ය. එදා "පුර සද කළුවර " තුලද ඔහු වන්නිහාමිගේ පුතුට ඇත්තටම සිදුවී ඇතිදේ රැන්දෙව්වේ ජෝ අබේවික්‍රමගේ මුහුනේය. ප්‍රසන්නගේ නළු නිළියෝ ,ප්‍රසන්නගේ චරිත වලට ආරුඪ වන්නේ රාක්ෂයන් මෙනි.ප්‍රසන්න ඔවුන්ව හසුරනවා නොව ඔවුන්ගේ නහරවලට චරිත ස්වභාවයන් විදිනවා විය හැක. විශේෂ අවශේෂ, ප්‍රධාන,අප්‍රධාන හැම චරිතයක්ම ප්‍රසන්නගේ අතට ආ කල, ඔවුන් අද්විතීය වන්නේ, ප්‍රසන්න ඔවුන් හසුරවන විශිෂ්ටත්වය නිසාමය. "ඔබ නැතිව ඔබ එක්ක" චිත්‍රපටයේ සුළු චරිත වූ ලක්ෂ්මී

ලෙස රගපෑ මහේෂ්වරී රත්නම් හා ගාමිණී වූ වසන්ත මොරගොඩ චරිත ඉස්මතුවූයේද ඒ නිසාය.

සිග්නිස් සම්මානය , වෙසොල් චිත්‍රපට උළෙලේ හොදම චිත්‍රපටය , නෙට් පැක් සම්මානය , ලැබූ "ඔබ නැතිව ඔබ එක්ක" චිත්‍රපටය, 2016 සරසවිය සම්මාන උළෙලේ හොදම අධ්‍යක්ෂක - හොදම තිරනාටකය යන සම්මාන යුගලම ප්‍රසන්න විතානගේ "ඔබ නැතිව ඔබ එක්ක" වෙනුවෙන් දිනාගත් අතර, වසරේ හොදම නිළියට හිමි සරසවිය සම්මානය හිමිවුණේද, "ඔබ නැතිව ඔබ එක්ක" චිත්‍රපටයටය. ඒ "සෙල්වී " ලෙස ප්‍රතිභාපූර්ණ රඟපෑමක නියැලු අංජලි පටේල්ටය . එහි රංගනය උදෙසා අංජලී ඉන්දියානු අන්තර්ජාතික උලෙළේදී හොඳම නිළියට හිමි රජත මයුර සම්මානය දිනාගත්තාය. ශ්‍රී ලාංකික චිත්‍රපටය වෙනුවෙන් විදෙස් නිළියක් හොඳම නිළිය වූයේත් විදෙස් චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දියානු නිළියක් හොඳම නිළිය වුයෙත් ඒ අවස්ථාවේය. එයට පෙර ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ ආකාස කුසුම් චිත්‍රපටය උදෙසා මාලිනී ෆොන්සේකා හොඳම නිළිය වූවාය. මෙම සම්මානය දෙවරක්ම තම චිත්‍රපට උදෙසා දිනාදුන් එකම අධ්‍යක්ෂවරයා ප්‍රසන්නය. "ඔබ නැතිව ඔබ එක්ක" චිත්‍රපටය හරහා ප්‍රසන්න විතානගේ, ලෝක සිනමාව තුළ "ලෙජන්ඩ්" කෙනෙක් වීමට හේතු වුවායැයි කිවහොත් මා නිවැරදිය.

ශෝන් මැක්ස්මස් දිසානායක

(ලබන සතියේ අවසන් කොටස)