වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




ඇස දකින මායාව සිත බැඳුණු සේයාව ආදරයට අලුත් අරුතක් වෛෂ්ණාවී

ඇස දකින මායාව සිත බැඳුණු සේයාව ආදරයට අලුත් අරුතක් වෛෂ්ණාවී

සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස් නවතම සිනමා කාව්‍යය

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 99 වැනි ජන්මදිනය නිමිතිකොටගෙන අපේ‍්‍රල් 05 තිරයට...

ටෝනි රණසිංහ අවසන් තිර රචනය

එය රූකඩ කලාවෙන් පෝෂණය වූ ගම් පියසකි. සාමකාමී ජනයා සිය බත බුලත සරිකොට ගත්තේ හදවත බඳු වූ රූකඩ කලාව දේවත්වයෙන් සලකමිනි. ඔසඳා යමක් කමක් ඇති තරුණයෙකි. ඔහු පාරම්පරික රූකඩ කලාවේ නියැළුනි.

කුඩා කල සිටම ඔහු හැදුණේ වැඩුණේ මිත්තනිය සමඟය. මවුපියන් අහිමි වූ ඔසඳා රූකඩ කලාවට යොමු වුණේ පාරම්පරික උරුමය නිසාවෙනි. කඩවසම් බවින් අනූන ඔසඳා තරුණියක හා පෙමින් වෙළෙයි. ඒ සම්බන්ධය විවාහයකින් කෙළවර වීම ඔසඳාගේ අපේක්ෂාවයි.

එහෙත් ඔහුගේ එම බලාපොරොත්තුව ඉටු වන්නේ නැත. අවසාන මොහොතේදී ඔසඳාව එම තරුණිය ප්‍රතික්ෂේප කරන්නේ හේතුවක් නොමැතිවය. බෙහෙවින් කලකිරීමට පත් වන ඔසඳා මහත් වූ සිත් තැවුලකින් කල්ගත කරයි. කෙසේවත් ඔසඳාට තමන්ට සිදු වූ දේ අමතක කරන්නට හැකියාව ලැබෙන්නේ නැත.

චිත්ත වික්ෂෝපයෙන් ඔසඳා තම ආදරවන්තියගේ රූපයට ඉතාම සමාන රුවක් ලීයෙන් නිර්මාණය කිරීමට පටන් ගනියි. ඔහුගේ සිත තුළ තිබූ ආදරයේ සොඳුරු සුන්දරත්වය සහ ආධ්‍යාත්මික සුවය නිර්මිත රුව තුළින් ගලා ඒමට පටන් ගනියි. එකී තත්ත්වය ඔසඳාගේ සිත සසල කිරීමට සමත් විය. ඔහු ලී රුව බලමින් සැනසුණ වාර අනන්තය.

ඔසඳාගේ මේ වෙනස් වීම දරාගත නොහැකි වූ එක්තරා තරුණියකි. ඇය රුචිරාය. ඔසඳාට රහසින් පෙම් කළ ඇය ඔසඳා වශී වී සිටින ලී රුවට වෛර කරයි. මෙම රූපය තම ප්‍රේමයට බාධාවක් ලෙස ද සලකයි. හෙළ සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් සිය නවතම කෘතියට මෙය පාදක කර ගනියි.

වෛෂ්ණාවි ලෙසට එය නම් කොට තිබේ. මෙම සිනමාපටයේ අති සුවිශේෂිකම් කිහිපයක් තිබේ. අග්‍රගණ්‍ය තිර කතා රචක සම්මානනීය නැසීගිය නළු ටෝනි රණසිංහ අවසන් වතාවට ලියූ තිර රචනය මෙය වේ. එමෙන්ම වෛෂ්ණාවි කතා සංකල්පය මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙනි.

වෛෂ්ණාවි නළු නිළියන්:

අයිරාංගනී සේරසිංහ, ටෝනි රණසිංහ, ජයලත් මනෝරත්න, ක්ලීටස් මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, තුමිඳු දොඩම්තැන්න, යශෝධා විමලධර්ම, වසන්ති චතුරානි, රෝහණ බැද්දගේ. වීණා ජයකොඩි, රොෂාන් පිලපිටිය, සමාධි අරුණිඡායා, ෂෙහාරා හේවදූව, පාලිත අබේරත්න, කුමුදු කාසිචෙට්ටි, තෙසාරා ජයවර්ධන, අනීෂා මුස්ටාවි

නිෂ්පාදනය - මනෝ නානායක්කාර

කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණරත්න

අංග රචනය - ඊබට් විජේසිංහ, රංජිත් මතඟවීර

සංස්කරණය සහ දෘෂ්‍ය ප්‍රයෝග - චමත් පරණවිදාන

සංගීත අධ්‍යක්ෂණය - නිමල් මෙන්ඩිස්

සංගීත සංයෝජනය - සුරේෂ් මාලියැද්ද

සහාය අධ්‍යක්ෂණය - වී. උපාලි පෙරේරා

වර්ණ සංකලනය - දිනිදු ජාගොඩ

කලා අධක්ෂණය - උපතිස්ස ඉලංගකෝන්

ඇඳුම් නිර්මාණය - සුරංගනී විජයවික්‍රම

රූකඩ නිර්මාණය සහ මෙහෙයවීම - සරත් අබේගුණවර්ධන

ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි

පසු නිෂ්පාදන අධීක්ෂණය - රවීන්ද්‍ර ගුරුගේ

රේඛීය නිෂ්පාදනය - උදිත ලක්මාල් කහඳවආරච්චි

නිෂ්පාදන කළමනාකරණය - සරත් විජේසේකර

දෙවන සහය අධ්‍යක්ෂණය - සතිකා වික්‍රමසිංහ

තෙවන සහාය අධ්‍යක්ෂණය - සඳනි ධීරරත්න

නිෂ්පාදන කෘත්‍යාධිකාරී - ලිලනික මුතුකුමාරණ, කැලුම් පාලිත මහීරත්න

මාධ්‍ය සම්බන්ධීකරණය - බුද්ධිනී ජයවර්ධන