වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

කල්දේරා හා ගුණරත්න හැදූ ‘චිත්‍රපටි’ පත්තරේ

ධර්ම ශී‍්‍ර කල්දේරා නම් චිත්‍රපට සඟරා කතුවරයා ගැන මීට කලින් ලිපියක සටහනක් තැබුවෙමි. ඔහු තනිවම සංස්කරණය කළ චිත්‍රපට පත්‍රයේ නම ‘චිත්‍රපටි’ය. ඒ පිළිබඳ පූර්ව ප්‍රචාරයක් ඔහු 1953 වසරේ සංස්කරණය කළ “තරු කැළුම්” සඟරාවේ පළ කර තිබුණි.

‘චිත්‍රපටි’ පත්‍රයේ මූලික සාකච්ඡා, සැලසුම් සිදු වූයේ කොස්ගස් හන්දියේ අප නිවසේදීය. මගේ මාමා වන වෙළෙඳ චිත්‍ර ශිල්පියකු වූ ගුණරත්න රත්නායක, කල්දේරාගේ හොඳම මිත්‍රයා විය. තොටළඟ නාගලගම් වීදියේ සිට කල්දේරා තම මිතුරා සොයා කොස්ගස් හන්දියට ආවේය. දෙදෙනාම උග්‍ර සමසමාජකාරයෝ වූහ. මට මතක හැටියට මහවත්ත නාගරික මැතිවරණ කොට්ඨාසයට හා උතුරු කොළඹ පාර්ලිමේන්තු ආසනයට තරඟ කළ විවියන් ගුණවර්ධනගේ ක්‍රියාකාරී දේශපාලන සගයන් වූයේ මේ දෙදෙනාය. ‘චිත්‍රපටි’ පත්‍රයේ මංගල කලාපයට ඩමි අඳිමින් අවශ්‍ය පින්තූර තෝරමින්, සෝදුපත් බලමින් සූදානම් වන ආකාරය හය හැවිරිදි වියේ සිටි මට හොඳ හැටි මතකය. එවකට තිරගත වූ ‘කැලෑ හඳ’ හා ‘සුජාතා’ චිත්‍රපට බැලීමට වැඩිහිටියන් සමඟ ගිය මට ‘චිත්‍රපටි’ පත්‍රයේ මුල් කලාපයේ මුල් පිටුවේ පළ වූ ‘සුජාතා’ චිත්‍රපටයේ ප්‍රේම් ජයන්ත් හා ෆ්ලොරිඩා ජයලත්ගේ ඡායාරූපය හොඳ හැටි මතකය. මා ජීවමානව මුලින්ම දුටු චිත්‍රපට නළුවා වූයේ ප්‍රේම් ජයන්තය. ඔහු පදිංචිව සිටියේ කොස්ගස් හන්දියේ ඩී වෝස් පටුමගේ නිවසකය. ඒ අසලම පසුව චිත්‍රපට පසුබිම් ගායිකාවක් වූ මල්ලිකා ද සිල්වාගේ (පසුව කහවිට) නිවස පිහිටියේය. ‘එමානුවෙල් අන්කල්’ නමින් එකල මා හඳුනන ප්‍රේම් ජයන්ත්ගේ කොණ්ඩය රැළි රැළි ගැන් වී තිබෙනු මට මතකය. ‘චිත්‍රපටි’ පත්‍රයේ මුල් කලාපයේ එසේ රැළි රැළි කොණ්ඩය සහිත ඡායාරූපයක් හා විස්තරයක් ඇතුල් පිටුවක පළ වී තිබුණි. 1953 ජූලි මුල දෙසතිය ප්‍රථම වෙළුම, ප්‍රථම පියවර ලෙස ‘චිත්‍රපටි’ “CHITHRA PATI” මුල් පත්‍රය ජූලි 01 වෙනිදා නිකුත් වී ඇත. එහි මිල ශත 15 කි. මෙය අර්ධ මාසික සිනමා ප්‍රවෘත්ති පත්‍රයකි. චිත්‍රපටි පත්‍රයේ මුල් ශීර්ෂය වූයේ ‘සීමාසහිත සිනමාස් ප්‍රථම චිත්‍රපටය සුජාතා’ ය. එහි ප්‍රේම් ජයන්ත් හා ෆ්ලොරිඩා ජයලත්ගේ ඡායාරූපයක් පළ වී තිබුණි. දිලිප් කුමාර් නම් ජනප්‍රිය චිත්‍රපට නළුවා ලන්ඩනයෙන් බොම්බායට පැමිණි ප්‍රවෘත්තියක් ද පළ වී තිබුණි. නිවාඩුවක් ගත කිරීම පිණිස ලන්ඩනය බලා ගිය දිලිප් කුමාර් පෙරළා බොම්බායට පැමිණ ඇති බවත්, ‘ස්ටාර් ඔෆ් ඉන්දියා’ (ඉන්දියාවේ තරුව) නමැති බටහිර චිත්‍රපටයේ රඟපෑමට දිලිප් වෙත පැවරී ඇති හෙයින් ඔහු ලන්ඩනයේදී සාකච්ඡාවක ද යෙදුණු බව එම ප්‍රවෘත්තියේ සඳහන්ව තිබුණි. හින්දි චිත්‍රපට හා දෙමළ චිත්‍රපට වූ පාල්කී - හම්සෆර්, ධාරා, ක්‍රිෂ්මා, භගට් සිංග් - ධායිරා - මුයර්වි - පෙට්රතායි - ජෙනෝවා ගැන තොරතුරු ද ‘මෙන්න පිළිතුරු’ යටතේ ප්‍රශ්න උත්තර තීරුවක් ද පළ වී තිබුණි. ‘හොලිවුඩ් තොරතුරු’ තීරයෙන් නළුවෙක් සිය ප්‍රථම නවකතාවේ වැඩ ඇරඹෙන බව සඳහන් විය. ලාන ටර්නර් හා ෆයර් ඇන්ජලි සමඟ රඟපාන ‘ෆ්ලේම් ඇන්ඩ් ද ෆ්ලෙෂ්’ (ජ්තචථඥ චදඤ බඩඥ ටතඥඵඩ) චිත්‍රපටය ගැන විශේෂ වාර්තාවක් එහි විය. කෙටිකතාව ලියා තිබුණේ ධර්මදාස කල්දේරා විසිනි. ‘ගායකයා’ කෙටි කතාවේ නමය. මාරක කතා ලිවීමේ සූරයකුව සිටි ධර්මදාස ‘චිත්‍රපටි’ කර්තෘ ධර්ම ශ්‍රී ගේ වැඩිමහල් සොහොයුරාය.

‘චිත්‍රපටි’ පත්‍රයේ කර්තෘ වාක්‍යයෙන් එහි ප්‍රබල අරමුණ පැහැදිලි කර තිබුණි.

‘සිංහල චිත්‍රපටි මෙතෙක් දුසිම් එකහමාරක් පමණ නිෂ්පාදනය කොට තිබේ. මින් තුනක් පමණක් හැරුණු විට සෙසු චිත්‍රපට ලංකා නිෂ්පාදනයන් නොවේ. මෙහි මෙතෙක් පිහිටා ඇති චිත්‍රපට නිෂ්පාදනාගාර ද දෙකකි. සිංහල චිත්‍රපටි අල්ප වුවත් නිෂ්පාදනාගාර සුලභ වුවත් අප රටේ සිනමා ලෝලයින්ගේ සංඛ්‍යාව නම් වැඩි වනවා විනා අඩු නොවේ.

චිත්‍රපටි කලාව නැමැති රන් මුදුව ඔප් නංවන පුවත්පත්, සඟරා, රතුකැට අතරට අද නවක මඟකින් සැරසී ‘චිත්‍රපටි’ රතු කැටයත් එකතුවීම තවත් කලාවේ දියුණුවට ප්‍රමෝදයට හේතු වන කරුණක් වනු නිසැකය.’

‘චිත්‍රපටි’ පත්‍රයේ ‘පිටිසර කෙල්ල’ චිත්‍රපටයේ විචාරයක් පනාපිටියේ ඇම්. සේනාරත්න ලියා තිබුණේ කවියෙනි. එය අවසන් කර තිබුණේ මේ කවෙනි.

සිරිසෙන් විමලවීරගෙ සේවය වි ක්ක

ගැමි පරිසරය දේශික ඌරුව රැ ක්ක

සිතුවම් පටි වලින් - නැති සංකර ස ක්ක

‘පිටිසර කෙල්ල’ අගපත් බව කිව හැක්ක

මිට්ෂී ගේනර් හොලිවුඩ් නිළිය ගැන කදිම විස්තරයක් මෙහි එයි. චිත්‍රපටි ප්‍රහේලිකා අංක 1 කට හින්දි, ද්‍රවිඩ, හොලිවුඩ් තාරකාවන් විසින් විවිධ ඉරියව්වෙන් ගන්න ලද ඡායාරූප 30 ක් ඇතුළුව තිබුණි. පිටු අටකින් යුත් ‘චිත්‍රපටි’ කොළඹ අංක 8 දරන කුමාර වීදියේ ටේලර් හැරිසන් සහ සමාගම වෙනුවෙන් වුඩ්ලන්ස් ඇවනිවු හි අංක 40 දරන නිවසෙහි පදිංචි ඇන්. වී. ඊ. ජෝන්ස් මහතා විසින් මරදානේ ඩිබර්ග් ඇව්නිව් හි අංක 45 දරන ශ්‍රී ලංකෝදය යන්ත්‍රාලයේ මුද්‍රණය කොට ප්‍රසිද්ධ කර ඇත.

‘චිත්‍රපටි’ සඟරාවේ අගෝස්තු අග දෙසති පත්‍රයේ මුල් පුවත වූයේ ‘ලක්ෂ තුනේ සරදියෙල් නළු නිළියන් 400 යි’ යන්නය. දැනට මේ චිත්‍රපටයේ වැඩ කටයුතු අඩක් පමණ නිම කොට තිබෙන බවත්, මෙහි රඟපාන නළු නිළියන්ගේ ගණන 400 කට පමණ සීමා වෙන බවත් චිත්‍රපටය සඳහා රුපියල් ලක්ෂ තුනක් පමණ වෙතැයි මූලික පුවතේ සඳහන් කර ඇත. පිට කවරය සැරසී ඇත්තේ ‘පුදුම ලේලි‘ චිත්‍රපටයේ චන්ද්‍රිකා ලෙස රඟපාන ෂ්‍යමලී හෙවත් නන්දා ලීලානායකගෙනි. ‘ලංකාවට ද චිත්‍රපටි ශිල්පීන් පුහුණු කිරීමේ ආයතනයක් අවශ්‍යය’ ඇන්. ඇම්. ගුණරත්න ලිපියක් ලියා තිබුණු අතර ‘හින්දි චිත්‍රපටි ඉතිහාසයේ අමරණීය නාමයක් නවුෂාද්’ මැයෙන් චිත්‍ර මිත්‍ර ලිපියක් ලියා තිබුණි. ‘නවුෂාද් සැරදේ’ මැයෙන් පනාපිටියේ ඇම්. සේනරත්න ලියු කවි පන්තියේ කව් දෙකකි මේ.

රක්තන් - දුලාරි යන සිතුවම් අතර

සුදිලෙයි ඔබේ නම තරුවක් ලෙස නිතර

ගී ලොව නවුසාද් යන නාමය විතර

අන් මොන නමක් විසිරේ විඳ දුර කතර

දිල්ල ගී - ජාඩු යන සිතුවම් අතර තුරේ

බගේ දිවි සමය ගීයෙහි රසය පෙරේ

මේලා - බව්ජු බවුරා දුටු විටදි තිරේ

හදවත් ‘සාද්’ ගේ නාමෙන් එළිය කෙරේ

‘උසස්තම සිංහල චිත්‍රපටය කුමක්ද?’ මෙය පාඨක තරඟයකි. එහි කූපනයක් ද පළ කර ඇත. මෙතෙක් ඔබ දුටු සිංහල චිත්‍රපටි අතරින් ගැයුම් - වැයුම් - රඟපෑම් හා කථා ශරීරයෙන් ද උසස් තැනක් ගන්නා චිත්‍රපටය කුමක්ද? ඔබේ ඡන්දයෙන් තෝරනු ලැබේ.

‘මෙන්න පිළිතුරු’ තීරයට වැඩි තැනක් හිමි වී තිබුණි. මහවැව සිරිල් සිල්වෙස්ටර්ගේ පැනය වූයේ

‘රුක්මණී දේවිගේ මීළඟ චිත්‍රපටිය කුමක්ද?’

පිළිතුර - ‘හිඟන කොල්ලා’ විය හැකියි.

‘එක් - දෝ - තීන්’ හින්දි චිත්‍රපටය ගැන බර්ට්‍රම් පීරිස් විචාරයක් ලියා තිබු අතර චන්ද්‍රදාස ඩයස් ‘දිලිප් පපා’ යයි ලියූ කිව පෙළක එක් කවකි මේ.

හිස රැලි බොකටු ලෙස නෙත් දෙක බොර පාටයි

ඇය ගැන සිතා සිතා මගෙ ආලය මෝරයි

කරුණක් ගොතමි නිම්මියෙ ඔබ දඟ කාරයි

මට නොලැබුණොත් මගෙ මළකඳ තිට බාරයි

ධර්ම ශ්‍රී කල්දේරා හා ගුණරත්න රත්නායක එක්ව සකස් කළ ‘චිත්‍රපටි’ සඟරාව වසර 2 ක් පමණ මුද්‍රණය වූ බව පැවසේ. ඉන්පසු කල්දේරා වේදිකා නාට්‍ය නිෂ්පාදනයට යොමු වුණේ තම සහෝදරයා වූ ධර්මදාස කල්දේරාගේ මාරක කතාවක් අනුව නිපද වූ ‘පිළිගත් වරද’ නාට්‍යයෙනි. ඉන් පසු ඔහු ‘දීපා’ නමින් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළේය. එහි වේදිකා සැරසිලි හා වෙස් ගැන්වීම් කළේ ගුණරත්න මාමාය. පංච කල්‍යාණි, ධවලකේශි, ලොකු මිනිස්සු, මධුමතී, රූමතිය මැරුවේ කවුද? සාධාරණය මේකද? යන නාට්‍ය ද නිෂ්පාදනය කළ අතර 50 දසකයේ සිට ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු ලෙස ද ප්‍රකට විය. 1954 ඔහු පාර්ලිමේන්තු වාර්තාකරුවකු ලෙස ලංකාදීපයට බැඳී පසුව එහි කර්තෘ මණ්ඩලයට අනුයුක්ත විය.

‘දෙයියන්නේ රටේ’ චිත්‍රපටයේ අමතර දෙබස් ලියා චිත්‍රපට කතා පිටපත සකස් කළ කල්දේරා ඒ චිත්‍රපටයේ බබානිස් ගුරුන්නාන්සේ ලෙස ද රඟපෑවේය. ඔහු ගීත රචකයකු විය. සුසිල් ප්‍රේමරත්න හා මල්ලිකා කහවිට ගැයූ කෝ අද මැණිකා කොහේද ගියේ’, ‘සක්මන් මළුවේදී බැඳි හාද’, ජෝතිපාල ගැයු ‘දීපසිකා දැල්වේ ජීවන මේලාවේ’, ධර්මදාස වල්පොල ගැයූ ‘කන්ද උඩින් එන වළාපටල බිඳ’, අමරදේවයන් ගැයූ ‘මුවන් පැලැයේ කදිරා’, වික්ටර් රත්නායක ගැයූ ‘ජීවන සුවඳක් දැනෙනවා’, නීලා වික්‍රමසිංහ ගැයු ‘උතුම් කලාකරුවාණනි’ ඔහු ලියූ සරල හා චිත්‍රපට ගීත අතර කැපී පෙනෙයි. ඔහු මුලින්ම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය ‘සීතල වතුර’ය. ‘රෑන ගිරව්’, ‘රන් ඔන්චිල්ලා’, ‘කල්‍යාණි ගංගා’, ‘රත්තරන් අම්මා’, ‘මුවන්පැලැස්ස’, ‘රෝස මල් තුනක්’, ‘ගිම්හානේ ගී නාදේ’, ‘දීපාංජලී’ චිත්‍රපට පසුව ඔහු අධ්‍යක්ෂණය කළේය.

ඉරිදා ලංකාදීප පත්‍රයේ ජනප්‍රිය වූ සුසිල් ප්‍රේමරත්නයන් විසින් චිත්‍රයට නඟන ලද ‘බිලි පූජාව‘, ‘ලන්දේසි හටන’ චිත්‍ර කතාවල රචකයා ඔහුය.

1932 මැයි 11 වෙනිදා ග්‍රෑන්ඩ්පාස් හි නාගලගම් වීදියේ (තොටළඟ) උපත ලබා ග්‍රෑන්ඩ්පාස් හි සාන්ත ජෝශප් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහුගේ පාසල් මිතුරන් වූ එමානුවල් රුද්‍රිගු (ප්‍රේම් ජයන්ත්), ජෝසෆ් සෙනෙවිරත්න, ධර්ම ශ්‍රි රණතුංග එක්ව චිත්‍රපට බැලුවේය. කොස්ගස් හන්දියේ සුමිත්‍රා ස්ටුඩියෝව වෙසක් කාලයට නිෂ්පාදනය කළ නාට්‍යවල රඟපෑහ. කල්දේරා හිත මිතුරන් හා නෑයන් අතර ප්‍රකටව සිටියේ ‘සමිතදාස’ නමිනි. නිතර ජැන්ඩියට හැඳ පැලඳ සිටි ඔහුට කේන්ති යනවානම් මා දැක නොතිබුණි.

‘රංජි පුතා අපි සිනමාවේ රස තොරතුරු පොතකට ලියමුදැයි’ වරක් ඔහු මගෙන් ඇසීය.

සිරිසේන විමලවීර මාස්ටර් ගැන ඔහු තරම් දන්නා කෙනෙකු නැතැයි ඔහු මාමා සමඟ කරන කතා බහෙන් මට වැටහිණ. නමුත් එයට කාලය එදිරි විය. 1963 දී පමණ මා පාසල් ශිෂ්‍යයකුව සිටියදී ‘සීතල වතුර’ තිර නාටකය ලියැවුණේ අපේ නිවසේ කළු මේසය වටා යමින් ඔහු රඟපාමින් දෙබස් කියමින්ය. මම ඒ දෙබස් හා අවස්ථා ඛ් අ පොතක ලියා ගතිමි. මුලු චිත්‍රපටයේ තිර නාටකය ලියූවේ මාගේ සුපැහැදිලි අත් අකුරෙනි. එය කියවන විට ලිවීමකි. මගේ මහන්සියට ඔහු තමා අඳින වර්ගයේ කරපිය වූ ගොරෝසු රෙද්දකින් මැසූ ලා කහ පැහැති හා අළු පැහැති කමිස හතරක් තෑගි කළේය. මම ඒවා ඉරිදා දහම් පාසලට ඇඳගෙන ගියෙමි. තමා විසින් කාලයක් තිස්සේ එකතු කළ චිත්‍රපට පත්‍ර සඟරා, සමරු පොත් සියල්ල මට පරිත්‍යාග කළේ ‘මේවා රංජි පුතා පරෙස්සම් කරලා තියා ගන්න’ කියාය.

මා හාපුරා කියා පුංචි කාලේ මඟුල් ගෙදරක ගියේ කල්දේරා මාමාගේ දළුගම තිබූ මඟුල් ගෙදරටය. එදා අලුත් සපත්තු දෙක නිසා මගේ කකුල කැපුන හෙයින් අඬ අඬා ගිය හැටි මට දැනුදු මතක් වෙයි. කල්දේරා මාමගේ බිරිඳ බෝනික්කෙකු මෙන් සුදු ලස්සන කෙනෙකැයි අම්මා කියනු මට ඇසී ඇත. එය සත්‍යයකි.

කල්දේරා හා ගුණරත්න මිතුරන් දෙදෙනා අවසන් වරට මට එකවර හමු වූයේ මා විසින් 1986 ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ පවත්වන ලද පොත් කවර ප්‍රදර්ශනයේදීය. 1994 ජනවාරි 21 දා ගුණරත්න මාමා මියගිය අතර කල්දේරා මාමා 1994 පෙබරවාරි 07 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තේය. ඒ වන විට ඔවුන් වසර 50 ක මිත්‍රත්වයකින් පසු විය. මේ දෙදෙනා එකට ඡායාරූපයකට පෙනී සිටි පින්තූරයක් සිහිවටනයක් ලෙස මා ළඟ සුරැකිව ඇත.