වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




අකාලයේ වියෝ වූ තරු

හොලිවුඩය සහ බොලිවුඩය ඉතාම සුන්දර ලෝකයන් බව නිරන්තරයෙන් පෙනුණ ද එහි ද අසුන්දර අසතුට දනවන පැත්තක්ද ඇති බව වරින් වර කාටත් පසක්කර දී තිබෙනවා. පසුගියදා සිදු වූ ශ්‍රී දේවියගේ හදිසි මරණය සමඟින් කවුරුත් කතාබහට ලක් කළ සුවිශේෂ කරුණක් නම් බොලිවුඩයේ සේම හොලිවුඩයේත් කාගේත් ආදරයට පාත්‍රව සිට කුහුලක් ඇති කරමින් අකාලයේ සමුගත් ජනප්‍රිය රංගන තරු පිළිබඳවයි. ඒ පිළිබඳ අවධානය යොමු කරන විටදී අඩු වයසින් සේම මරණය පිළිබඳ සැකයක් ඉතිරි කරමින් තම ජීවිතයෙන් සමුගත් තරුද වෙනවා. මේ ඒ අතරින් ඉහළ ජනප්‍රියත්වයක් ලද කාගේත් අවධානයට ලක් ව සැකයක් සමඟින් සමුගෙන ගිය හොලිවුඩ් සහ බොලිවුඩ් තරු කිහිපයක්.

The Dark Knight බැට් මෑන් චිත්‍රපටයේ සිටි නපුරු විහිළුකාරයා මතකද? හීත් ලෙජර්, 2008 වසරේ ජනවාරි 22 වැනිදා සිය දිවියෙන් සමු ගන්නා විට වයස අවුරුදු 28ක්. හීත් ලෙජර්ගේ මරණ සහතිකයේ දැක්වෙන්නේ, වැරදීමකින් ඖෂධ අධි මාත්‍රාවක් භාවිතා කිරීම හේතුවෙන් සිදු වූ මරණක් යනුවෙන්. පසු කලෙක වාර්තා චිත්‍රපටයකදී ඔහුගේ මව පවසා සිටියේ, The Dark Knight චිත්‍රපටයේ ජෝකර් චරිතය වෙනුවෙන්ම එයට සමවැදීම සඳහා ඔහු නොයෙක් දේ සිදු කළ බවයි. වරෙක ඔහු දින ගනණාවක් තනිවම හෝටල් කාමරයක නැවතී සිටි බවත් ඇය සඳහන් කර තිබුණා. මේ සියල්ල අවසානයේදී ඇති වූ මානසිකත්වය අනුව ඔහු සිය දිවි නසා ගන්නා ඇති බව කාටත් විශ්වාස කරන්නට සිදු වුණා.

හොලිවුඩයේ තරුවක් හිමි නළු ඩේවිඩ් කැරඩීන්ගේ සිරුර 2009 ජුනි 04 වැනිදා හමු වූයේ බැංකොක්හි ඔහු නැවතී සිටි කාමරයේදීයි. එහිදී ඔහු නිරුවත්ව ගෙල වැලළා ගෙන තිබු බව මාධ්‍ය වාර්තා කළා. සියදිවි නසා ගැනීමක් බවට මුලදී මාධ්‍ය වාර්තා කළත් විකෘති ලිංගික ආසාවක් සංසිදුවා ගැනීමට ගොස් මෙම මරණය සිදු වන්නට ඇති බවටත් කටකතා පැතිරුණා. ඒ සමඟින් ඔහුගේ ප්‍රසිද්ධිය ද දෙගුණ තෙගුණ වූ බවත් කවුරුත් දන්නා දෙයක්. පසුව ඔහුගේ බිරිය විසින් පෞද්ගලිකව ඒ වෙනුවෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන්නට කටයුතු යෙදූ බවත් එහිදී කැරඩීන්ගේ මරණය ඝාතනයක් බවට තහවුරු වූ බවත් හොලිවුඩ් පුවත් ගෙන එනවා.

අමෙරිකානු නිළියක ගායිකාවක වන බ්‍රිට්නි මර්ෆිගේ මරණය ද 2009 වසරේදී සිදු වන විට ඇයගේ වයස අවුරුදු 32ක්. එම මරණය නාන කාමරයේ ඇද වැටීමෙන් පසු ඇය රෝහල් ගත කිරීමට ගෙන යන අතරතුරදී ඇති වූ හෘදයාබාධයකින් මරණයට පත් වූවක් බව මාධ්‍ය වාර්තා කළා. මර්ෆිගේ සැමියාද එම නිවෙසේදීම මරණයට පත් වී තිබුණේ ඇයගේ මරණය සිදුවීමට මාස පහකට පෙරදීයි. මර්ෆි ඇනීමියා සහ නිව්මෝනියා රෝගවලින් පීඩා විඳීමින් සිටි බවත් මාධ්‍ය වාර්තා කළා. ඒ අතරේ ඇයගේ මරණය සම්බන්ධ පුවත් අතරට වාර්තා කළේ ඇයගේ සිරුරේ ඇම්නිටමනි සහ බේරියම් බැර ලෝහ තිබූ බව රසාගායනාගාර වාර්තා ගෙන එන බවයි. මේ නිසා බ්‍රිට්නිගේ මරණය පිළිබඳවත් බොහෝ සැක මතුවන බව එම පුවත් අතරේ කියවෙනවා.

නතාලි වුඩ් 60 දශකයේදී හොලිවුඩ් රිදී තිරය ඔපවත් කළ සුපිරි තාරකාවක්. කුඩා අවධියේ සිටම රංගනය ජයගත් වුඩ්ට අංක එකේ තරුවක් බවට පත්වන්නට වැඩි කාලයක් ගත නොවූයේ ඇගේ රංගන හැකියාවේ විශිෂ්ටත්වය නිසාමයි. Rebel Without a Cause (1955), Splendor in the Grass(1961) චිත්‍රපටවල තරුණ වියට පා තැබූ සුරූපී වුඩ්ගේ රංගනය ඇකඩමි සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සඳහා ද යෝජනා විය. එවැනි සුවිශේෂී ජයග්‍රහණ ලබා ගන්නා විට වුඩ් වයස අවුරුදු 25 ක් වත් සපුරා නොතිබීම සුවිශේෂී කාරණාවක්. මේ සුරූපී හොලිවුඩ් තරුවට අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමු ගැනීමට සිදු වූයේ වයස අවුරුදු 43 දීයි. 1981 නොවැම්බර් 29 වැනිදා කැලිෆෝනියාවේ කැට්ලානා දූපතේ බෝට්ටුවක පැවති සාදයක් අවසානයේදී ඇය අතුරුදන් වූ අතර පසුදින එම යාත්‍රාවට සැතපුමක් පමණ දුරින් තිබී ආරක්ෂක අංශ විසින් ඇගේ සිරුර සොයා ගැනුණා. වුඩ් දියේ ගිලී මිය ගිය බවට එම මරණ පරීක්ෂණයෙන් තහවුරු වුවද ඇගේ මරණය සම්බන්ධයෙන් සැක මතු වීම නිසා 2011 වසරේ නොවැම්බර් මස ඇයගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ නැවතත් ආරම්භ කෙරුණා. එහිදී ලොස් ඇන්ජලීස්හි ප්‍රධාන මරණ පරීක්ෂක වෛද්‍ය ලක්ෂ්මන් සත්‍යවාගීෂ්වරන් විසින් වුඩ්ගේ මරණ පරීක්ෂණ වාර්තාවට පිටු 10ක වාර්තාවක් අමුණමින් එය නැවතත් වෙනස් කළා. ඒ දියේ ගීලිම සහ අනෙකුත් තීරණය කළ නොහැකි හේතු නිසා යනුවෙන් සඳහන් කරමින්.

ලොව බිහිවූ අසමසම සටන් ශිල්පියෙකු ලෙස ප්‍රකට බෲස් ලී මේ වන විට ජීවිතයෙන් සමුගෙන බොහෝ කලක් ගත වී තිබුණ ද අදටත් ලොව ගෞරවාදරයට පත් සටන් ශිල්පයේ පුරෝගාමියෙන් සේම නළුවෙක්. බෲස් ලී ගේ මරණය සිදුවන විට ඔහුගේ වයස අවුරුදු 32ක්. මරණ පරීක්ෂණය වාර්තා කළේ, ඔහුගේ මරණය ක්‍රියාදාමයක් වැරදීමෙන් සිදු වූවක් බවයි. සාමාන්‍යයෙන් තරුවක් මරණයට පත් වීමත් සමඟින් නොයෙකුත් කටකතා පැතිර යාම සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇති අතර අඩු වයසින් මරණයට පත්වීම එම තත්ත්වය වඩාත් උත්සන්න කිරීමට සමත්. එසේම බෲස් ලීගේ මරණය සම්බන්ධයෙන්ද එලෙස නොකුත් කටකතා පැතිර ගියා. 1973 ජූලි 20 වැනිදා තමන් හිස රුදාවකින් පෙළෙන බව ඔහුගේ ආදරවන්තිය යැයි කටකතා පැතිරුණු නිළි බෙටී ටින්ග් පේයි හට පැවසූ බවත් ඇය විසින් දුන් වේදනා නාශක පෙති පානය කිරීමෙන් අනතුරුව නින්දට ගිය ලී නැවතත් අවදි නොවූ බව ඒ අතරින් එකක්. චීන සටන් සංවිධානයක කොන්ත්‍රාත්තුවකට අනුව ඇය විසින් එසේ කළ බවත් ලී විසින් චීන සටන් ක්‍රම සමාජයට හෙළි කිරීමට දඬුවමක් ලෙසින් ඔහු ඝාතනය කළ බවත් එයින් කියවුණා. කාලයකට ඉහත ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කළ දඬුබස්නාමානය ටෙලි නාට්‍යයත් මේ කතාව සමඟින් අපට සිහිපත් වෙනවා.

ඇමරිකානු නිළියක් සහ නිරුපිකාවක් ලෙස ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම නැගී තිරයේ මනස්කාන්ත රුවක් මැවූ මර්ලින් මොන්රෝ ඇය ඡායාරූපට නැගූ ශිල්පීන්ට පවා ප්‍රසිද්ධියක් ගෙන ඒමට තරම් සුරූපී නිරූපණ ශිල්පිනියක් විය. 1962 වර්ෂයේදී මෙලොව හැර ගිය ද ඇය අදත් හොලිවුඩ් ලෝකයේ නොමියෙන තරුවක් ලෙස සිනමා ලෝලීන්ගේ හදවත් වල ජීවමානව සිටින්නීය. අධි මාත්‍රාවෙන් ඖෂධ භාවිත කිරීම හේතුවෙන් ඇයගේ මරණය සිදු වූ බව වාර්තා කළ ද එය සිය දිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බව බොහෝ දෙනා සැක පළ කළා. ඒ සමඟින් විවිධාකාර කතන්දර රැසක් ද නිර්මාණය වූ අතර අමෙරිකාවේ හිටපු ජනපති ජෝන් එෆ්. කෙනඩිගේ සොයුරු බොබ් කෙනඩි සමඟි පැවති පෙම් සබඳකමක් සහ ඒ සමඟින් ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන් බොබ් කෙනඩි සිය සහෝදරයාගේ සහය මත ඇය ඝාතනය කරවන්නට ඇති බවත් එක් කතාවක්. බොබ් කෙනඩිගේ වුවමනාවට ලෝ ප්‍රකට තරු ඝාතනය කරන මාෆියාවක් විසින් මොන්රෝ ඝාතනය කරන්නට ඇති බව තවත් කතාවක්. තවද ඇය සිය මානසික වෛද්‍ය සමඟින් ද පෙම් සබඳකමත් තිබූ බවත් ඔහු විසින් විෂ එන්නත් කිරීම නිසා මොන්රෝ මරණයට පත් වන්නට ඇති බවත් මේ හා නිර්මණය වූ තවත් එක් කතාවක්. මොන්රෝගේ ජීවිතයේ බොහෝ පිරිමින් සිටි බව ප්‍රසිද්ධ දෙයක්. එසේම ඇයට සිට ජීවිතයෙන් සමු ගන්නට සිදු වූයේ ද පිරිමින් නිසා බවත් කියවෙනවා.

නළු නිළියන් පමණක් නොව පොප් ගී ලොව කිරුලු පැලඳී මයිකල් ජැක්සන් සහ සංගීත ලොව දැවැන්ත පෙරළියක් කළ නව නිර්මාණකරුවෙක් ලෙස හැඳීන්වෙන ප්‍රින්ස් රොජර්ස් නෙල්සන්ගේද සමු ගැනීම් ලොවට අභිරහස් වූ මරණයන්ය. සංගීතයෙන් සේම නර්තනයෙන් ලොව දිනූ මයිකල් ජැක්සන් 2009 වසරේ ජූනි 25 වැනිදා යළි නොඑන ගමනක් ගියේය. මරණයට හේතුව හෘදයාබාධයක් බව මුලදී පැවසුන ද පසුව මරණය පිළිබඳ විවිධ මත පළ වූ අතර අවසානයේ දී අමෙරිකානු පොලීසිය විසින් මිනීමැරීමේ චෝදනා මත ජැක්සන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා කොන්රඩ් මුරේ අත් අඩංගුවට ගැනිණි. වෛද්‍යවරයා ජැක්සන්ට ලබා දී ඇති විවිධ ඖෂධ නිසා මෙම හදිසි මරණය සිදු වී ඇත යන සැකය පැවතිණි. මෙම සුපිරි පොප් ගායකයාගේ මරණය සම්බන්ධයෙන් වෛද්‍ය මුරේ වරදකරු බව ලොස් ඇන්ජලීස් නුවර අධිකරණයක් තීන්දු කළා. ජැක්සන්ගේ මරණය සිදුවූයේ වෛද්‍ය මුරේගේ නොසැලකිල්ලෙන් බව ජූරි සභාව ද ඒකමතිකව තීරණය කර තිබුණි. ඒ සති හයක් පුරා පවත්වන ලද නඩු විභාගයකින් පසුවය.

මයිකල් ජැක්සන්, මැඩෝනා වැන්නවුන් තරමටම බටහිර සංගීත ලෝකයේ ජනප්‍රියත්වයක් ලද ප්‍රින්ස් හෙවත් ප්‍රින්ස් රොජර්ස් නෙල්සන් ද වයස අවුරුදු 57ක්ව තිබියදී 2016 වසරේ අප්‍රේල් 21 වැනිදා සදහටම දෙනෙත් පියා ගත්තේ බොහෝ රසිකයින් මෙන්ම සංගීතවේදීන් ද කම්පනයට පත් කරමින්. මිනසෝටාහි පෙස්ලි පාර්ක් මන්දිරයේදී අවසන් හුස්ම හෙළූ ඔහුගේ අවසන් කටයුතු මිනේපොලිස් හිදී පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ඔහු වේදනා නාශක පෙති පමණ ඉක්මවා ලබාගෙන ඇති බවටත් කටකතා පැතිරුණා. ඔහුගේ දේහය ආදාහනය කෙරුණු අතර මරණයට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

පසුගිය දිනෙක මෙලොවින් සමු ගත් බොලිවුඩ් සුරූපිනිය ශ්‍රී දේවිගේ මතකය බොලිවුඩයෙන්ද අභිරහස් ලෙස සමුගත් තරු කිහිපයකගේ මතක යළිත් සිහිපත් කළා. ඒ අතරින් ප්‍රමුඛ වූයේ ශ්‍රී දේවිගේ රුවට සමාන යැයි පැවසෙන රුවක් හිමි දිව්‍යා භාරතී. දිව්‍යා භාරති 19 වැනි වියේදී මහල් ගොඩනැඟිල්ලකින් බිමට වැටී මරණයට පත් වූයේ ද ඇයගේ මරණය පිළිබඳ සැකයක් ඉතිරි කරමිනි. 90 දශකයේදී ජනප්‍රියත්වයේ ඉහළ තලයක සිටි දිව්‍යා භාරතී සිනමකරුවකු වන සජීත් නදියද්වාලා සමඟින් විවාහ දිවියට පිවිස මාස දහයක් පමණ ගත වූ පසු ඔවුන්ගේ නිවෙස පිහිටි නිවාස සංකීර්ණයේ පස්වැනි මහලින් බිමට වැටී මිය ගියේ 1993 වසරේ අප්‍රේල් 05 වැනිදා ය. මරණයට පත්වන අවස්ථාවේ ඇය මධ්‍යසාර පානයකර සිටි බවත් පුවත් සැළ වුණා. මෙය දිවිනසා ගැනීමක් ලෙස පැවසුනද ඇයගේ මව්පියන් චෝදනාකර සිටියේ ඝාතනයක් බවයි.

හැත්තෑව සහ අසූව දශකයේ මුල් භාගයේ බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් දැරූ නිළියක වී සිටි පර්වීන් බාබී ද සිය දිවියේ අවසන් කාලය ඉතාම අමිහිරිව ගත කර ඇති බව හෙළි වූයේ 2005 වසරේ ජනවාරි මස වයස අවුරුදු 55දී සිදු වූ ඇයගේ අකල් වියෝවද සමඟිනි. නිවෙසේ ඉදිරිපිට තෙදිනක් වන තුරු කිරි බෝතල සහ පුවත්පත් එකතුවීමෙන් සැක පහළ වී කළ පරීක්ෂාවකදී පර්වීන් බාබිගේ සිරුර නිවෙසේ ඇඳ මත තිබී හමු වී ඇති අතර ඒ අසළ වූ රෝද පුටුවෙන් ඇය එක්තැන් වූ ජීවිතයක් ගත කර ඇති බව හෙළි විය. කෙසේ නමුත් ඇයගෙ මරණයට ද නිශ්චිත හේතුවක් ප්‍රකාශයට පත් නොවූ අතර දියවැඩියා රෝගයෙන් පීඩා විඳ ඇති බව මරණ පරීක්ෂණයෙන් ප්‍රකාශයට පත් කළා.

Pyaasa, Kaagaz Ke Phool and Sahib Bibi Aur Ghulam  වැනි චිත්‍රපටවලින් නළුවකු ලෙසින් ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම නිෂ්පාදකවරයකු ද වූ ගුරු දත් ලෙසින් ප්‍රසිද්ධ වූ වසන්ත් කුමාර් ශිවශංකර්ගේ ද මරණය ද මෙලෙසින්ම සැක සහිත බව ඔහුගේ පවුලේ ඥාතින් පවසා සිටියා. 1964 වසරේ ඔක්තෝබර් 10 වැනිදා මුම්බායිහි පිහිටි සිය නිවෙසේ තිබී ඔහුගේ සිරුර හමු වී ඇති අතර මධ්‍යසාර සහ නිදි පෙති පානය කර මිය ගිය බවට තහවුරු වුව ද ඔහුගේ පුත්‍රයකු වන අරූන් දත් පවසා සිටියේ කවුරුන් හෝ විසින් නිදි පෙති මිශ්‍ර කළ මත් පැන් ඔහුට ලබා දී ඇති බවට සැක කරන බවයි.

දකුණු ඉන්දීය සිනමාවේ සිල්ක් ස්මිතා ලෙසින් ප්‍රකට විජයලක්ෂ්මි වද්ලාපති ද තිස් පස් වැනි වියේදී මරණයට පත් වුයේ ඇයගේ මරණය පිළිබඳවද සැකයක් ඉතිරි කරමින්. මලයාලම්, තෙළිඟු, කණ්ණඩ සහ හින්දි චිත්‍රපට 450ට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇති ඇය දකුණු ඉන්දීය සිනමාවේ සරාගී නිළියක ලෙසින් නම් දැරීය. ස්මිතා සිය මිතුරියකට දුරකථන ඇමතුමක් ලබා දී රාත්‍රියේදී හමුවීමට අවශ්‍ය යැයි පවසා සිටිය ද එම හමුවීම පසුදින උදෑසනට කල් දැමූ මිතුරිය ස්මිතාගේ චෙන්නායි නිවෙසට යන විටදී හමු වී තිබෙන්නේ ඇයගේ සිරුරයි. එය විශාදය හේතවෙන් සිදු කරගත් සියදිවි නසා ගැනීමක් බවට මරණය පරීක්ෂණයෙන් හෙළි කළද එකල බොහෝ දෙනාගේ විශ්වාසය වූයේ, මෙය කිසිවෙකු විසින් කර ඇති දරුණු අපරාධයක් බවයි. පසු කාලීනව විද්‍යා බාලන් රංගනයෙන් දායක වූ The Dirty Picture චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ ස්මිතාගේ ජීවිත කතාව ඇසුරෙනි.

Nishabd, Ghajini සහ Housefull චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ යොවුන් නිළියක වූ ජියා ඛාන්ගේ සිරුර ද 2013 ජූලි 03 වැනිදා පොලිසියට හමු වූයේ තම නිවෙසේ විදුලි පංකාවක එල්ලී දිවි නසා ගෙන තිබියදීයි. කෙසේ නමුත් ඇයගේ මවද තොරතුරු දක්වමින් මෙය ඝාතනයක් බවට චෝදනා එල්ල කළේ එකල ඇයගේ පෙම්වතා වූ සුරජ් පංචෝලි වෙතටයි. පසුව ඔහු ඇප පිට නිදහස් වුවත් බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ, ජියා ඛාන්ගේ මරණය සම්බන්ධ පරීක්ෂණ තවමත් පැවැත්වෙන බවයි.