වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




තුවාල වුණ අය ජීවිතක්ෂයට පත්කළා

තුවාල වුණ අය ජීවිතක්ෂයට පත්කළා

ලොකුම වැරදීම ගැන සහන් උඩුවවිදාන කියයි

* ඔබ විසින්ම ඔබව හඳුන්වා දෙන්න යැයි මම යෝජනා කරමි.

මම සහන් උඩුවවිදාන. වෘත්තියෙන් ප්‍රවෘත්ති නිවේදකයෙක්.

* ඔබ ඔබේ නාලිකාව සඳහන් කළේ නැහැ?

මම නාලිකා දෙකක නිවුස් කියනවා. සිරස සහ ටී වී වන්.

* ප්‍රවෘත්ති කියන වේලාවනුත් සඳහන් කළොත්?

සිරසෙ රාත්‍රී දහය. ටී වී වන් රාත්‍රී 8 ට.

* ඔබේ නිවේදන වෘත්තිය ආරම්භ වන්නේ ඒ නාලිකාවන් හරහාද?

නැහැ. මම මුලින්ම හිටියේ අයි. ටී. එන්. නාලිකාවේ. වසර එක හමාරක් එහි සේවය කළා. පැයෙන් පැය පුවත් තමයි අයි. ටී. එන්. එකේ ඉන්නකොට මං කිව්වේ. එහෙම ඉඳලා අත්දැකීම් ලබාගෙන වර්තමානයේ සේවය කරන නාලිකාවන්ට ආවා.

* ප්‍රවෘත්ති කියන්න ගිහින් වෙච්ච හොඳම වැරදීම මොකක්ද?

යම් යම් වැරදීම් වෙනවා. ඒත් ඒවා නොතේරෙන්න හදාගන්නවා. ඒ අතරේ ප්‍රවෘත්ති නිවේදන ජීවිතයේ හොඳම වැරදීම වුණේ මෙන්න මේකයි. පස් දෙනෙකු තුවාල ලැබූ අනතුරක් තිබුණා. මං ඒ නිවුස් එක කිව්වේ පස් දෙනකු ජීවිතක්ෂයට පත් වුණ කියලා. මේ හේතුවෙන් මං දඬුවමකුත් ලැබුවා. කාලයක් ප්‍රවෘත්ති කියන්න ලැබුණෙත් නැහැ.

* ඔබ වඩාත් ප්‍රිය කරන ප්‍රවෘත්ති නිවේදකයා කවුද?

චමින්ද ගුණරත්න අයියට තමයි විශේෂයෙන්ම කැමැති.

* නිවේදකයකු විදිහට වෙනත් වැඩසටහන්වලට ඔබ ලබා දෙන දායකත්වය කොහොමද?

මං හිතන්නේ ප්‍රවෘත්ති නිවේදකයකු වෙනත් වැඩ සටහන් තෝරා බේරා ගෙන තමයි කළ යුතු වන්නේ. රිලැක්ස් ඉදිරිපත් කරන වැඩසටහන් කළොත් ප්‍රවෘත්ති නිවේදකයාට තියෙන ගෞරවණීය බව නැති වෙනවා. විද්වත් වැඩසටහනක් වගේ කරනවා නම් වැරැද්දක් නැහැ.

* ඔබගේ හැකියාවට නිසි වටිනාකමක් ලැබෙනවද මේ වන විට?

මං හිතනවා ඒ තත්ත්වය ලැබෙමින් පවතිනවා කියලා. ඒත් එක්තරා කණගාටුවක් තියෙනවා එක්තරා පිරිසක් ගැන.

* ඒ කවුද?

මම දැකපු කාරණයක් තමයි ඇතැම් නවකයෝ කියනවා 'නිකම් ප්‍රවෘත්ති කියන්නම්, මාව චැනල්වලට ගන්නකො' කියලා. ඒ කියන්නේ ඒ පිරිස කැමැතියි නොමිලේ සේවය කරන්න. ඒ අයට වුවමනා තමන්ගේ මුහුණ ටී. වී. එකේ පෙන්වා ගන්න. මේ හේතුවෙන් ප්‍රවෘත්ති නිවේදන කලාව තුළ ඇති පුද්ගල වටිනාකම සහ ගෞරවණීය බව නැති වෙනවා. එහෙම කරන්න එපා කියලා මං ඒ අයගෙන් ඉල්ලීමක් කරන්නත් කැමැතියි.

* අලුත් පරපුරට චෝදනාවක් ද ඔබ මේ කරන්නේ?

චෝදනාවක්ම නෙවෙයි. පැහැදිලි කිරීමක් කරන්නේ. අලුත් පරපුරේ ඇති දැනුම අල්පකම එයට හේතුව වෙන්න පුළුවන්. මීට වඩා දෙයක් ඉගෙන ගෙන චැනල් එකකට ආවා නම් නිකම් ප්‍රවෘත්ති කියන්න ඕනෑ නැහැනෙ.

* ඔබට රඟපාන්න ආරාධනා ලැබිලා නැද්ද?

ඇත්තෙන්ම කිව්වොත් තවම නැහැ. මං කාලයක් මොඩ්ලිං කළා. ඒත් ඒක දැන් මම නවත්වලයි තියෙන්නේ. රංගනයට ආරාධනාවක් ලැබුණා නම් සලකලා බලන්න තිබුණා.

* ප්‍රවෘත්ති ගවේෂණය කොයි ආකාරයෙන්ද ඔබ දකින්නේ?

මටත් කවදා හරි අවශ්‍ය හොඳ ප්‍රවෘත්ති ගවේෂකයකු වෙන්න. එහෙම අරමුණින් මං යම් යම් ගවේෂණාත්මක ප්‍රවෘත්ති අංග කළා. බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා එයට. ප්‍රවෘත්ති නිවේදකයකු අනිවාර්යයෙන්ම ප්‍රවෘත්ති ගවේෂකයකු විය යුතුයි.

* ඔබේ පදිංචිය සඳහන් කළොත්?

මං කැලණිය පට්ටිවිල.

* ඉගෙන ගත් පාසල?

සපුගස්කන්ද මධ්‍ය මහ විදුහල.

* මේ වන විට පෙම්වතෙක්ද?

අනේ නැහැ. තවම තනිකඩයි.