වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




පෙරියසාමි ගැන මට අදහස එන්නේ මුත්තුසාමිලා රොක්සාමිලා නිසා...

පෙරියසාමි ගැන මට අදහස එන්නේ මුත්තුසාමිලා රොක්සාමිලා නිසා...

‘පුත්තු සහ පියවරු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා -මහාචාර්ය සුමති ශිවමෝහන්-

මෙවර හයිද්‍රාබාද් හි පැවති ජගත් ඉන්දියානු සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි ජූරියේ සම්මානය දිනා ගත් සුමති ප්‍රථම ශ්‍රී ලාංකික දමිල සිනමා අධ්‍යක්ෂකවරියයි

චිත්‍රපටයේ නම පුත්තු සහ පියවරු. මෙහි පාත්‍ර වර්ගයා අප හොඳීන්ම දැක පුරුදු මුහුණු නොවුනද ඔවුන්ට වේදිකාවේ ඉතා හොඳ පරිචයක් තිබූ අයයි. ඒ අතර නළුවන් නොවන ප්‍රසිද්ධ නම් ද වේ. අධ්‍යක්ෂිකා බොහෝ විට ප්‍රේක්ෂකයන් නොහඳුනන කෙනෙක් වන්නට පුළුවන. නමුත් ඇය මෙරට සිනමාව සම්බන්ධයෙන් වූ යම් යම් කාරණා වලදී ඉතාම වැදගත් නමකි.

චිත්‍රපටය ලෝකයේ සිනමා උළෙල කිහිපයක්ම නියෝජනය කිරීමට වරම් ලැබුවේය. ඇගේ කාර්යබහුල ජිවන තත්වය මැද සිනමා පටය වෙනුවෙන් විශාල මහන්සියක් දැරුවාය. පූර්ණ කාලීන සිනමාකරුවෙක් නොවන ඇය වෘත්තියෙන් මහාචාර්යවරියකි. ප්‍රධාන කටයුත්ත ඉගැන්වීමයි. සුමති ශිවමෝහන් පේරාදෙණිය විශ්විද්‍යාලයේ ඉගැන්වීම් කරන්නේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙනි.

ඇගේ විෂය පථය ඉංග්‍රීසි භාෂාව වුවද සාහිත්‍ය හෝ සිනමාව ඒ පථයෙන් බැහැරට යන්නේ නැත. ඇගේ බොහෝ පර්යේෂණවල සිනමාවද භාජනය වී ඇත. එමෙන්ම ඇය සම්බන්ධ වූ වාර්තා චිත්‍රපට බොහෝ ඇත. කෙටි චිත්‍රපටද කිහිපයකි. එමෙන්ම ‘පුත්තු සහ පියවරු’ ඇගේ කුලුඳුල් වෘතාන්ත චිත්‍රපටයද නොවෙයි.

ඇගේ මුල් ගම් පියස්ස වනුයේ යාපනයේ නල්ලුර් ය. ඇගේ වැඩිමහල් සොහොයුරිය රටක් දන්නා ප්‍රබල කාන්තා චරිතයකි. ඇය රාජිනි තිරාණගම නම් මෙරට සිටි ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරිනියයි. යුද්ධයේ තවත් නරක විපාකයක් හෙළි කරමින් මෙරට ක්‍රියාකාරී බුද්ධිමතුන් බොහෝ දෙනෙක්ට උරුම වූ බලහත්කාරී ක්ෂණික මරණය ඇයටද උදා වුණි.

එදා රාජිනි දැරූ මතයම නැගනිය සුමති ද දරන්නට ඇත. ඇය එදා සිට යුද්ධය හා බැඳුණු මානවයාගේ අවම අයිතීන් හා අසමානත්වය ගැන වෙනම ධාරාවකින් කතා කරන්නට උත්සහා කළාය. බොහෝ විට ඇගේ එම උත්සාහයන් එළි දකින්නේ කලාව ඔස්සේය. සුමති ශිවමෝහන්ගේ අතීතය සැකසෙන්නේද කලාව අරමුණු කරගෙනය. පාසල් අධ්‍යාපනයෙන් පසු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතරත් ඇගේ කලා කටයුත්ත අත් නොහැරෙන එකකි.

ඇය ඉගෙනීම සඳහා උතුරේ සිට දකුණට එන්නේ 80 දශකයේ මුල් භාගයේදීය. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයටයි. එහිදී තෝරාගන්නේ ඉංග්‍රීසි භාෂාවයි. 1984 දි උපාධිය සම්පූර්ණ කරන ඇය 1995දි පශ්තාත් උපාධියත් 1999දි ආචාර්ය උපාධියත් සම්පුර්ණ කරන්නේ වොෂිංටන් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙනි. එමෙන්ම ඇගේ සහය නිබඳව ලැබෙන්නේ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ නිර්මාණ වෙනුවෙනි.

පතිරාජයන් නිර්මාණය කළ බොහෝ වාර්තා චිත්‍රපට සඳහා ඇගේ බුද්ධිමය සහය ලැබෙද්දී ඇයද තමන්ගේ චිත්‍රපට නිර්මාණකරණය ආරම්භ කරයි. ඇගේ සොහොයුරිය රාජිනි සම්බන්ධයෙන් කැනඩාවේ නිර්මාණය කළ ‘NO MORE TEARS SISTER’ නම් විත්ති චිත්‍රපටය තුල ඇගේ භූමිකාව විශාල එකකි. එනම් ඇය එම චිත්‍රපටයේ ප්‍රධාන උපදේශකයෙක් ලෙස එක්වීමයි. පතිරාජයන් සමඟ වසර ගණනක නිර්මාණකරණයේ දී ලත් අත්දැකීම් තුලින් 2005 දී ඇය තමන්ගේ ප්‍රථම චිත්‍රපටය එළි දක්වන්නේ මිනිත්තු 18 ක විත්ති චිත්‍රපටයක් ලෙසිනි. සුනාමි ඛේදවාචකය ගැන කතා බහක් ඇති කරන්නට සමත් වර්ගයේ චිත්‍රපටයක් වූ එය ‘පිරලායම්’ නම් විය.

පතිරාජයන් මෑත කාලයේ නිර්මාණය කළ ‘IN SEARCH OF A ROAD’ නම් විත්ති චිත්‍රපටයේ පිටපත ලියන්නටද හවුල් වන්නේද මහාචාර්ය ශිවමෝහන් ය. ඒ 2006 වසරේදීය. ඉන් අනතුරුව ‘ORANGES’ සහ ‘SING MOTHER SING’ යන විත්ති චිත්‍රපට දෙකද ඇය නිර්මාණය කළාය. ඇගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටයද එළිදක්වන්නේද මේ අතරය. 2012 දි නිපදවන ‘ඉන්ගිරන්දු’ චිත්‍රපටය දෙමළ වතු කම්කරුවන් ආශ්‍රිතව ගොඩනැගුනු එකකි. ඒ අනුව ඇය 2017 වසරේ නිපදවන්නේ සිය දෙවෙනි වෘත්තාන්ත චිත්‍රපටයයි. පුත්තු සහ පියවරු දමිළ භාෂාවෙන් ‘තනෙයිනියරුම් තන්දෙයියනුම්’ වේ.

මහාචාර්ය සුමති ශිවමෝහන් අප සම්බන්ධ කරගත්තේ පුත්තු සහ පියවරු ගැන කතා කළ යුතුම නිසාය. එමෙන්ම මෙරට දමිළයා ගැන කතා බහ මෙරටදී අලුතෙන් අරඹන මොහොතක චිත්‍රපටයේ ඇතුළාන්තය ගැන අප ඇගෙන් විමසිය යුතුම වේ.

මම හිතනවා චිත්‍රපටය දෙමළ සිංහල භාෂා දෙකෙන්ම තැනුණක් කියලා?

භාෂා දෙකම චිත්‍රපටයට ඇතුළත් වෙනවා. නමුත් මෙහි වැඩිපුරම භාවිතා වෙන්නේ සිංහල භාෂාව. දෙමළ අඩංගු වෙන්නේ ඉතාම ස්වල්ප වශයෙන්.

ඔබේ චිත්‍රපටයත් එක්තරා ප්‍රබුද්ධ ශානරයකට අයත් වෙන එකක්. ලංකාවේ දමිළ ජනයා ගැන නොවිසඳුණු දේ කලාවෙන් මතු කරන ව්‍යායාමයේ දිගුවක් නේද ඔබේ චිත්‍රපටය?

ඔව්. ඔබ කියන විදිහට මේ චිත්‍රපටය යුද්ධය සහ එමගින් ජනනය කරන ප්‍රචණ්ඩත්වය ගැන තමයි තේමාව වෙලා තියෙන්නේ. නමුත් මගේ කතාව සම්පුර්ණයෙන්ම දිවෙන්නේ ආදරය කියන කාරණය මත. ජාතිකවාදී සංකල්ප උච්චස්ථානයක තිබෙන කාලයක, මම කියන්නේ 1983 වගේ කාලයකත්, මේ ආදරය කියන දේ පැවතීම ගැන මට කතා කරන්න උවමනා වුණා.

ආදරය කියන විෂය ඔබ චිත්‍රපටයට අන්තර්ගත කළේ කොහොමද?

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමයි පෙරියසාමි කියන්නේ. පෙරියසාමි සංගීතඥයෙක්. ඔහු සිංහල චිත්‍රපට වලට තමයි වැඩියෙන්ම තනු හදන්නේ. මට මේ පෙරියසාමි ගැන අදහස එන්නේ අපේ සිනමාවේ සංගීතය පැත්තෙන් විශාල වැඩ කොටසක් කරපු දෙමළ සංගීතඥයන් නිසා. රොක්සාමි, මුත්තුසාමි කියන්නේ අපේ සිනමාවේ දැවැන්ත වැඩ කොටසක් කරපු දෙන්නෙක්. ඒ භූමිකාවට තමයි මම පෙරියසාමිව යෙදෙව්වේ. පෙරියසාමි විවාහ කරගන්නේ කාන්තිව. කාන්ති කියන්නේ සිංහල තරුණියක්. ඔවුන් දෙදෙනා විශාල බලාපොරොත්තු සහිතව ගොඩනගන ආදරණිය පවුල මේ දේශපාලන කුණාටු නිසා අවුලකට පත් වෙනවා. ඒ ආදරයේ කතාව ගොඩනැගෙන්නේ ඒ මතින්.

ඔබ ගොඩනඟන භේදයක් නැති ආදරයක ගැඹුර උඩට එන්නේ සංගීතයෙන්ද?

ඔබ අහලා ඇති ‘පිට දීප දේශ ජය ගාත්තා’ ගීතය. මේ ගීතයේ මුල දකුණු ඉන්දියාවේ. චින්තාමණි කියන චිත්‍රපටයේ. ඒ ගීතයේ තනුව තමයි ‘පිට දීප දේශ ජය ගාතා’ වෙනුවෙන් යොදා ගත්තේ. චිත්‍රපටයේ අන්තර්ගතයට මේ ගීය බලපෑමක් කළා. මට මේක මුලින්ම සාකච්ඡා කරන්න ලැබුණේ ඇන්තනි සුරේන්ද්‍රත් එක්ක. ඇන්තනි තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා. අනෙක් කාරණය තමයි ඇන්තනිගේ පියත් සංගීතඥයෙක්. මට විශාල ලෙස මෙය ගොඩනගන්න උදව්වක් වුණේ ඇන්තනි නිසා. ඒ වගේම ඇන්තනි මේ චිත්‍රපටයේ චරිතයක් රඟපානවා.

ඔබ උපන්නේ යාපනය අර්ධද්වීපයේ කොතැනද?

මගේ ගම යාපනයේ නල්ලූර් වල. ඉගෙන ගත්තේ එහෙ. 80 දශකයේ තමයි පේරාදෙණියේ විශ්වවිද්‍යාලයට ආවේ. එදා පටන් මම ගනුදෙනු කළේ දකුණේ සමාජයත් එක්ක.

ඔබට කලාව කියන එක කෙසේවත් අමුතු දෙයක් වුනේ නැහැ නේද?

මම 70 දශකයේ ඉඳන්ම කලාවේ හිටියා. ඒ දවස් වල යාපනය මූලික කරගනිමින් පොඩි කලා සංවිධානයක් තිබුණා. ඒකෙ නම ශ්‍රි ලංකා ප්‍රාසංගික කලා සංගමය කියලා එකක්. මම ඒ සංවිධානයත් එක්ක දිගින් දිගටම කලා කටයුතුවල යෙදුනා. ඔවුන් වැඩිපුරම කලේ වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරන එක. ඒ දිනවල ලෝකයේ ප්‍රකට ඉංග්‍රීසි නාට්‍ය අපි දෙමළ භාෂාවට අනුවර්තනය කළා. කරලා නාට්‍ය නිෂ්පාදනය කළා. බොහෝ විට අපි තෝරාගත්තේ චෙකොෆ්, ලෝර්කා, බ්‍රෙෂ්ට් ආදී කලා කාරයන්ගේ නිර්මාණ.

ඊට පසුව?

මගේ දකුණේ ආගමනයත් එක්ක කලා කටයුතු නතර වුනේ නැහැ. දිගටම වැඩ කළා. විශ්වවිද්‍යාලයේ ඇතුළතත් එළියේත් එක ඒ විදිහටම කළා. මම ඉන් පසුව ඉගැන්වීමට අමතරව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගැන තිබුනු සමාජ සංවිධාන එක්ක වැඩ කරනවා. ඒ වැඩ කරන අතරෙත් ස්ත්‍රීන් වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් නාට්‍ය කලාව හරහාත් කරන්න හැකි වුණා.

ඔබේ පළමු චිත්‍රපටය ‘පුත්තු සහ පියවරු’ නෙවෙයි. ‘ඉන්ගිරන්තු’. ඔබ ඒ චිත්‍රපටය තිරයට ගේන්න උත්සහ කළේ නැද්ද?

ඇත්තෙන්ම මම ඒ චිත්‍රපටය ප්‍රදර්ශනයට දැම්මා. නමුත් දැම්මේ සිනමාශාලා දෙකක විතරයි. ඒ 2013 අවුරුද්දේ. එකක් කොටහේනේ. අනික හැටන් වල. කොටහේනේ සිනමාහලෙන් නම් ලොකු ප්‍රතිචාරයක් ආවේ නැහැ. නමුත් හැටන් වලින් නම් සැලකිය යුතු ප්‍රතිචාරයක් ආවා. මට මුදල් ගැන එච්චර ලොකු බලාපොරොත්තුවක් නැහැ. ඒකයි මම ශාලා දෙකකට පමණක් දැම්මේ.

ඔබ කොළඹදීත් යම් යම් ඉගැන්වීම් කටයුතු කරනවා නේද සිනමාව පැත්තෙන්?

ඔව්.දෙමළ භාෂාව කතාකරන තරුණ තරුණියන් කිහිප දෙනෙක්ට දෙමළ භාෂාවෙන් ඉගැන්වූවා. බොහෝ දෙනා උතුරු නැගෙනහිර අය. ඔවුන් කොළඹ 7 මාධ්‍ය අභ්‍යාස ආයතනයේ ඉගෙන ගන්න අය. ඔවුන් ඉතාම උනන්දුවෙන් මේ විෂය දෙස බලනවා.

ඔබ හිතන විදිහට ඇයි ඔවුන් සිනමාව ගැන ආශ්වාදයෙන් පෙළෙන්නේ?

මට දැනෙන විදිහට අපේ තරුණ අය කරපු කෙටි චිත්‍රපට ඔවුන් දැක්කා. එමගින් තමයි ඔවුන්ට මේ ගැන ආශාව ඇති වුණේ.