වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




මම මහ ලොකු ජනප්‍රිය නිළියක් නෙවෙයි

මම මහ ලොකු ජනප්‍රිය නිළියක් නෙවෙයි

ගමේ අය කටකතා හදාවි කියලත් බය වුණා

අප්පච්චි තමයි තදින් විරුද්ධ වුණේ

නදීශානි නවරත්න

නදීශානි නවරත්න - මුතුකුඩ සුපර්ණා. ඒ ඇගේ සැබෑ නම සහ ඔබ ඇයව වඩාත් හඳුනන නමයි.

* පළමුව මා ඔබෙන් විමසන්නේ මුතුකුඩ සුපර්ණාව ඔබට හමුවන ආකාරය ගැන?

ඉන්දික ප්‍රසන්න නමැති රංගන ශිල්පියකු මාර්ගයෙන් තමයි මට මුතුකුඩ අධ්‍යක්ෂ සහ සහාය අධ්‍යක්ෂ හඳුනා ගන්නට ලැබෙන්නේ. ඒ ඔස්සේ මට සුපර්ණාගේ චරිතයට ගැළපෙනවා කියලා ඔවුන් තිරණය කළා. මමත් බලාගෙන හිටියේ කාලයක් මිනිසුන්ගේ මතක හිිටින චරිතයක් කරන්න. මුතුකුඩ සුපර්ණා මට ලැබීමත් සමඟ මට ඒ හීනය සැබෑ කරගන්න පුළුවන් වුණා.

* නදීශානි හා හාපුරා කියලා රඟපෑ නාට්‍ය මොකක්ද?

කෝපි කඩේ. තිලක් කුමාර රත්නායක මහත්මයා සමඟයි මං එහි රඟපෑවේ.

* ඊට පසුව ඔබ රඟපෑ නිර්මාණ පෙළ මතක් කළොත්?

ඇහැළමහ නිකින්න, මොනර කිරිල්ලි, කෝරළේ මහත්තයා, ශනි බලවත්, මේ දිනවල විකාශය වෙනවා. මුතුකුඩ නාට්‍යයට අමතරව සඳපිණි වැස්ස සහ හඳයා.

* නිළියක් වීම ගැන මොකද කියන්න තියෙන්නේ?

ඇත්තටම සතුටුයි.

* ඒත් ඔබ මේ වෘත්තීය තෝර ගන්න එකට ගෙදරින් කැමැති වුණේ නැහැ නේද?

අප්පච්චි තමයි තදින් විරුද්ධ වුණේ. ඔහු හිතුවා මං මේ ක්ෂේත්‍රයේ අතරමං වේවි කියලා.

* ඒ විරුද්ධවීමට තවත් හේතුවක් තිබුණාද?

ඔව්. මං කොළඹ කිට්ටුව කෙනෙක් නෙවෙයි. මගේ ගම නාවලපිටිය. ගමක හැදුණ වැඩුණ කෙනෙකු විදිහට අප්පච්චි කැමැති වුණේ නැහැ මං රඟපානවට. ගමේ අය කටකතා හදාවි කියලත් බය වුණා.

* නාවලපිටියේ සිට කොළඹ එන්න කවුද ඔබට මඟ පෙන්නුවේ?

අම්මා තමයි. අම්මා මගේ කැමැත්තට ඉඩ දුන්නා. ඇය හිතුවා නිළියක් නොවුණා නම් මං මගේ ජීවිතය අවුල් කර ගනියි කියලා. කාත් කවුරුවත් නැති ක්ෂේත්‍රයකට මං පය තිබ්බේ ලොකු ගමනක් යනවා කියලා දැඩි අධිෂ්ඨානයකින්. අදටත් ඉන්නේ එහෙමයි.

* මුතුකුඩ සුපර්ණා නේද ඔබව වඩාත් ජනප්‍රිය කළේ?

ඔව්. අපේ ගමේ බොහෝ දෙනෙක් නාට්‍ය බලනවා. ඒ අය බොහොම සතුටින් මට ප්‍රතිචාර දක්වනවා. ගෙදරිනුත් එහෙමයි.

* ගමේ කෙල්ලකු වීම නිසා කට්ට කෑව අවස්ථාවලුත් ඇති?

ඒවා නම් අනන්තයි. මං දැනට කොළඹ පදිංචි වෙලා හිටියට මුල් කාලේ මං ගමේ ඉඳන් තමයි නාට්‍යවලට ආවේ. පාන්දර එකට එහෙන් කෝච්චියට නඟිනවා. උදේ කොළඹින් බැහැලා ලොකේෂන්වලට යන්න හදද්දි කෝල්ස් එනවා ෂූටිං නෑ කියලා. ආයෙත් ගමේ යනවා. ඔය අතරේ යම් යම් හේතූන් නිසාත් චරිත නොලැබෙන අවස්ථා තියෙනවා. එතකොට නම් කරන්නේ තනිව අඬන එක.

* නදීශානි ඉගෙන ගත්ත පාසල මොකක්ද?

කලුවිල සේන මහ විදුහලයි.

* උපන් දිනයත් සඳහන් කළොත්?

දෙසැම්බර් දහ හතර.

* මේ වන විට ඔබ ලබා තිබෙන ජනප්‍රියත්වය ගැන මොකද කියන්න තියෙන්නේ?

මම දන්නවා මගේ ජනප්‍රියත්වයේ තරම. මම මහ ලොකු ජනප්‍රිය නිළියක් නෙවෙයි. ඒ මම ජනප්‍රියත්වය බලාගෙන රඟපෑවේ නැති නිසා. ජනප්‍රිය ගණයේ නොව හොඳ චරිත තමයි මං රඟපාන්න ප්‍රිය.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?

චාම් කෙනෙක්. ඒත් මට ඉක්මනට තරහ යනවා.

* පෙම්වතා ගැන කිව්වොත්?

ආදරය කරන්න කෙනෙක් නැහැ මට. ඒ හින්දම වෙන්න ඇති ගෙදරින් මට කෙනෙක්ව හොයනවලු.