වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




ගඟක මූදක දැම්මත් මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනෑ

ගඟක මූදක දැම්මත් මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනෑ

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි. බිනරිගේ පැරැණි මිතුරෙකු වූ දර්ශන චිත්‍රපටයක් නිපදවීම ඩික්සන් පොළොඹවා ගැනීමට උත්සහා කරයි.

අද එතැන් සිට...

‘මම ලක්ෂ පහක් හොයා දෙන්නම්’

බිනරි පැවසුවේ ඩික්සන් ගේ දහවල් කෑම වේල ඔතා දෙමිනි.කොණ්ඩය පීරමින් සිටි ඩික්සන් කපටි සිනහවකින් යුක්තව ඇය දෙස බැලුවේය.ඒ වෙලාවේ ඔහු සිටියේ කැඩපත ඉදිරිපිටය.මුදල් සොයා දෙන්නේ කෙලෙසදැයි අසන්නට ඔහු ඉක්මන්වූයේ නැත..

‘මම දර්ශනට කියන්නම්’

ඩික්සන් කැඩපතින් මෑත් වූයේය.බිනරි ඩික්සන්ගේ කෑම වේල ඔහුගේ ගමන් මල්ලට ලෑවේය.අනතුරුව ඔහු පසුපසින්ගොස් වැළඳ ගත්තාය.

‘මට පරක්කු වෙනවා’

ඩික්සන් කෙඳීරුවේය.

මේ ආලිංගනයට වෙලා යනු ඇත.දැනටමත් අත් උදව් කාරයන් සිමෙන්ති අනන්නට පටන් ගෙන ඇත.වැඩ පළට යන්නට පැයකට වඩා යන්නේය.මේ වෙලාවට මගට බහින් එක පහසු නැත.මාර්ග තදබදය දිනෙන් දින වැඩි වන එකකි.ගෙදර සිටින බිනරිට ඒගැන වගක් නැත.වෙනදා නම් ඩික්සන් වැඩබිම කිට්ටුවෛන් නවාතැනක් සොයා ගනී.දැන් එලෙස කරන්නට බැරි බිනරි නිසාය.එය කල්පනා වූ සැනින් ඩික්සන් ඉක්මනින් බිනරිගේ දෑත් මුදා ගත්තේය.

අනතුරුව ඔහු ගෙයින් එළියට බැස ත්‍රිවිලරයට නැග එය පාරට දමා ගත්තේය.ඩික්සන් ගියේ පාරේ සිටි කොල්ලන්ට ද අත වනමින් බව බිනරි දුටුවාය. මේ ටික දිනට ඩික්සන් නොදන්නා කෙනෙකු නැති තරමිය.බිනරි ගෙට වැදී දොර වසා ගත්තාය.

මුදල් සොයා දෙන්නම් යැයි පැවසුව ද බිනරි ඒ ගැන වැඩි දුරට කල්පනා නොකළාය. පිටකොටුවේ කඩ කාමරය අලුතින් අරඹනවාට වඩා එය පැරණි බදු කරුටම වැඩි ගණනකට දීම සුදුසුය.එබැවින් ඔවුන්ට ඒ ගැන කිව යුතුය.පසුගිය දවසකත් ඔහු ඒ ගැන විමසුවේ තව ටිකක් කල් දෙන ලෙසටය.බිනරි එයට ඉඩ දෙන්නට කල්පනා කළාය.ඒ වැඩි ගණනකටය.මදි පාඩුවක් වුවොත් තාත්තාට කියන්නේය.තාත්තා ගේ සියලු දේ තමා සතු විය යුතු විය.එය අනුන්ට ගන්නට හැර නිකම් සිටිය යුතු නැත.

ඇය ටෙලිවිෂනය ක්‍රියාත්මක කළාය.මේ දිනවල තිර ගත වන චිත්‍රපටයක් ගැන කතා බහක් එහි පැවැත්වෙයි.චිත්‍රපටයේ රගපාන නළු නිළි යුවලක් ද තවත් කවුදෝ කෙනෙක් ද කතාවට සම්බන්ධ ව සිටිති.බිනරි ඒ කතාවට සවන් දෙන්නට පටන් ගත්තාය. එහි රස කතා එමටය. චිත්‍රපටය කරන්නට ගිය විටි සිද්ධ වන අකරතැබ්බ එමටය. ඒවා හරි රසවත්ය.තමන්ගේ චිත්‍රපටයටත් එබදු කතා ඇති වනු ඇත.බිනරි ගේ ඇහුම් කන් දීම නතර වූයේ දුරකතන පණිවිඩයක් එක්කය.අම්මා කතා කළාය.ඇයට ගෙදරට එන්න්ට වුවමනා ව තිබේ. බිනරි මාමාගේ නිවසට පැමිණ ඇය කැදවා ගෙන යන බව පොරොන්දු වූවාය.කතාව නතර වන විට වැඩ සටහන ද නතර විය.

‘සල්ලි හොයා ගත්තා කියලා එක පාරටම වියදම් කරල බෑ.’

ඩික්සන් පැවසුවේ එදා රාත්‍රියේය.

‘ඒව වියදම් වෙන්නේ මොනවට ද කියලා හොයලා බලන්නඩ ඕනෑ’

බිනරි නිසොල්මන්ව අසා සිටියාය.

‘මම කිව්වා දර්ශනට එන්ඩ කියලා.’

‘බීම පැත්තක තියලා කතාව හරියට කර ගන්ඩ.’

බිනරි පැවසුවේ අවවාදයක ස්වරූපයෙනි.ඩික්සන් හිස වැනුවේය.

‘හැමදාම තියෙන්නේ එකම කතාව .කවදාද පටන් ගන්නේ.’

බිනරි යළිත් කතා කරන්නට පටන් ගත්තාය.ඇයගේ ස්වරයේ මැසිවිිල ස්වරයක් විණ.

‘පිස්සුද සුදු නෝනේ.අපි වැඩක් හරියට කරමු.’

‘මන් දන්නෑ මට නම් බයයි.‘

බිනරි යළිත් පැවසුවාය.

‘සුදු නෝනේ කැමති නැත්නම් මම මේක නවත්තන්නම්.මොකද සල්ලි කියෙන්නේ සුදු නෝනේ ගාවා.’

ඩික්සන් පැවසුවේ තරහ ස්වරූපයක් මවා ගනිමිනි.

‘අනේ එහෙම නෙවෙයි .ගඟක මූදක දැම්මත් මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕන නේ.’

බිනරි ඩික්සන්ගේ සිත ඇඳීන ගත්තාක් මෙන් පැවසුවාය.ඩික්සන් ගේ අමනාපයට බිනරි ගේ සිතේ ඇති වන්වේ පසුතැවිල්ලකි. තමා කතා කවුරුවත් නැති ගානට පත් වනු ඇත.ජීවිතයේ කිසි කලක නොවිඳී සැපතක් තමා අත්පත් කර ගත්තේය යන සතුට දැන් බිනරි සතුය.

මෝටර් රථයක් නතර කෙරිණ.දර්ශන එහි එක් පසෙකින් බැස්සේය.රථය පදවා ගෙන ආවේ භාතියයි.භාතිය වෙනදාට වඩා කඩවසම්යැයි බිනරිට සිතිණ.

‘එහෙම නම් අපේ වැඩේ ස්ථිරයි.’

භාතිය ගෙනා රට බීම දිග හැරී වීදුරු ඉහළට එසවෙන්නට වැඩි කාලයක් ගත වූයේ නැත.’

අපි ලබන සුමානේ හොඳ වෙලාවක් බලල වැඩේ පටන් ගනිමු.මං දන්න ලෝයර් කෙනෙක් ඉන්නවා එයා ලවා ඇග්‍රිමන්ට් ගහගමු.‘

දර්ශන පැවසුවේය.බිනරි කට ඇරගෙන අසා සිටියා.තමාට කිසිවක් කියන්නට ඉඩ නැත කතාව ඇත්තේ ඔවුන් අතය. ඇයට තිබෙන්නේ සංග්‍රහ කටයතු කරන්නටය.

‘අපි පොඩියට පූජාවක් එහෙම කරමු.දර්ශන අය්යා මම පත්තරවලටත් කියන්නම්.’

භාතිය පැවසුවේ ජංගම දුරකතනය ක්‍රියාත්මක කරමිනි.

‘ඔන්න මචං අලුත් නිව්ස් එක.මගේ ෆස්ට් ෆිල්ම් එක එනවා.මේ තමයි මචං මං ඉස්සෙල්ලාම කියන්නේ’

ඔහු ඒ ආකාරයටම වචනයකුත් වෙනස් නොකර තුන් දෙනෙකුටම පැවසුවේය.