වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

පාඨක ප්‍රතිචාර ලියන ඔබට

ප්‍රතිචාර තීරයට අදහස් එවන පාඨක ඔබ තමන්ගේ අදහස ඉතා කෙටියෙන් පැහැදිලිව තැපැල්පත්වල පමණක් ලියා ප්‍රතිචාර තීරයට යොමු කරන්න. ඔබ කියන්නට අදහස් කරන දේ සරල අයුරින් ඉදිරිපත් කර ඇත්නම් පමණක් එම ප්‍රතිචාරයට ඉඩකඩ වෙන්කරලීමට අපි කටයුතු කරමු.

එඩ්නාට නිවන් සුව

සැනසුම කොතැනද චිත්‍රපටයෙන් රංගනයට පිවිසි එඩ්නා සුගතපාල වාදන ශිල්පිණියක් ගායිකාවක් හා රංගන ශිල්පිණියක් වශයෙන් අප අතරට පැමිණි ඔබ අප කෙසේ අමතක කරන්නද. ඔබට නිවන් සුව.

ඉඹුල්ගොඩ අබේසිංහ
ශ්‍රියානි ජයසිංහ
අලව්ව

යූ. ජී. පාලිත කුමාරසිංහ
ගඩලාදෙණිය
ඒ. ඩී. යසමත්
ග්‍රෑන්ඩ්පාස්


ව්‍යාජ ජොලි සියා එපා

එළිමහන් ප්‍රසංග වේදිකාවේ මේ වනවිට ව්‍යාජ ජොලි සීයා කෙනෙක් පෙනී සිටිමින් ගීත ගායනා කරයි. එය සැබෑ ජොලි සීයා වූ චන්ද්‍රරත්න සිල්වා මහතාට කරන අවමානයකි. එවන් ව්‍යාජ ජොලි සීයා ප්‍රසංග වේදිකාවේ අපට එපා. අප රසික සැම දෙනා එය දැඩි ලෙස හෙලා දකිනවා.

හැඳල, අල්විස් ටවුම පාර
පාලක සමන් පෙරේරා


සිනමාවේ යෝධ සෙවණැල්ල

සිංහල සිනමාවේ පතාක යෝධයකු සිටියා නම් ඒ ගාමිණී ෆොන්සේකා පමණි. ඔහුගේ රුව දුටු පමණින් ඔල්වරසන් දුන්, විසිල් ගැසූ නළුවෙකු වේ නම් ඒ ඔහුය. අපගේ හදවත් සදා මතකයේ තබා වෙන්ව ගිය ඔහුගේ 82 වැනි ජන්ම දින මාර්තු 21 වෙනිදාට යෙදී තිබුණි. අදත් ඔබේ විශිෂ්ට සිනමා නිර්මාණ ඉතා ආසාවෙන් නරඹමි.

කෙනත් පෙරේරා
ජාඇල


උන්නා එක ගංගාවක

වර්තමානයේ ජනප්‍රියම චිත්‍රපට පසුබිම් ගායිකාව ඔයා. නමුත් මේ ළඟදී වෙළඳ සේවයේ චිත්‍රපට ගී වැඩසටහන මා ඇසුවා. එහිදී ' මල්සර දෝණි' චිත්‍රපටයට ඔයා හා ඇන්ජලින් ගුණතිලක ගැයූ 'උන්නා එක ගංගාවක' ගීතය ඔබ තනිවම ගායනා කරන ගීතය ප්‍රචාරය වූවා. අන්ජලිනුත් එදා හිටියා නම් කොච්චර හොඳද

ආනන්ද සේනාරත්න
නිට්ටඹුව


විදේශීය ටෙලි නාට්‍ය අප්‍රියයි

සතියේ දිනවල හා සති අන්ත දිනයන් හි පෞද්ගලික රූපවාහිනී නාළිකා සවස සිට රාත්‍රී කාලය පුරාවට විකාශය කරන බාල බොලඳ විදේශීය ටෙලි නාට්‍යය නැරැඹීම අප්‍රියජනකය. ඒවා නැරඹීමට කාලය කා දැමීම ද හරිම අපරාධයකි. සැබෑ ලෝකයේදී කිසිසේත්ම සිදු නොවන කතා ඇතුළත් මෙගා නාට්‍ය කලාවේ ගුණය රසාස්වාදය නැතිකර දමයි. ඒ කාලය තුළ අර්ථවත් දෙයක් විකාශය කරන ලෙස නාළිකා බලධාරින්ගෙන් ඉල්ලා සිටිමු.

දිනේෂ් ගුණසේකර
මාතර


ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුට

සිනමාව ගොඩ ගැනීමට ව්‍යාපාරිකයන් හිඟ යුගයක චිත්‍රපට නිෂ්පාදනයෙන් දායක වී එයින් නොනැවතී එම්. පී. අයි මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වීම පිළිබඳ අපගේ ආචාරය.

ඩබ්. කේ. මොහාන්
මහවැලි සී. කලාපය


යුග දිවි ආසිරි

සුන්දර සිතිවිලි හද පුරවා ආදරය ජයගෙන ජීවන ගමනේ තවත් යුගයකට පිය නඟන අපේ ආදර පුබුදුත් සුරූපී මාෂිත් ඇරැඹූ යුග දිවිය සාර්ථක වේවා. මේ ආදරය මේ බැඳීම සසර පුරාවටම පවතීවායි අපේ සෑම රසිකයෙක්ම වෙනුවෙන් මේ සුබපැතුම් සමඟ අපගේ ආදරණීය ආශිංසනයයි.

සුසිලා පතිරාජ
උස්වැටකෙයියාව


60 Plus ගෙන් දෙරණට තුති

නූතන තරුණ තරුණියන් විවිධ නාළිකාවලින් විවිධ දස්කම් දක්වන යුගයක ඒවා නරඹමින් සුසුම් හෙලන, අනේ අපටත් අවස්ථාවක් නැහැනේ කියා දුක හිතේ ගුලි කරගෙන සිටින පරපුරකට, අත හිත දෙමින් 60 Plus  ආරම්භය කොතරම් උසස් සේවාවක් කරන්නේදැයි කියන්නට වචන මදි. තම සිත තුළ ගත තුළ තිබූ ආවේගය ඔවුන් පිට කළ අයුරු ඇත්තෙන්ම විශ්මයජනකය. ඔවුන් වෙනුවෙන් කැප වී මේ කළ සේවය මහා පුණ්‍යකර්මයකි. කවදත් හොඳ යමක් කරන දෙරණට සුබපැතුම්.

වල්පොල
රංජනී අමරසිංහ


නවක සිනමා ශිල්පිනී නෙකිටා රෙෂානිට

'කෝමාලි කිංග්ස්' සිනමාපටයට සම්බන්ධ වෙමින් සිනමා චාරිකාව අරඹමින් ඔබ අප අතරට පැමිණීම අගේ කළ යුතුය. මනරම් රූපයකින් යුක්තව සිටින ඔබගේ සේයාරුව පුවත්පතින් දුටුවාම ඔබ සිනමාවට අගේට හැම අතින්ම ගැළපෙන බව විශේෂයෙන් කිව හැකියි. මතු හැදෙන චිත්‍රපටයක නැටුම් ගැයුම්වලින් පිරුණු සිනමා නිර්මාණයක නවතම රංගනයක සමඟින් සිංහල සිනමාව ආකර්ෂණය කරන්න හිතට ගන්න. ඔබට සුමිහිරි අනාගයක් සමඟ වාසනාවන්ත ජීවිතයක් පතන්නෙමි.

මිලටන් ප්‍රනාන්දු
මූදුකටුව


ඩබ්ලිව්. ජයසිරිට සුබපැතුම්

මේ දිනවල දෙරණ රුපවාහිනියෙන් විකාශය වන සිඳු ටෙලි නාට්‍යයේ විශිෂ්ට රංගනයක යෙදෙන ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු ඩබ්ලිව්. ජයසිරිට මගේ උණුසුම් සුබපැතුම්.

මිල්ටන් ප්‍රනාන්දු
මූදුකටුව


දුකා විකට චරිත මරු

වසන්ත දුක්ගන්නාරාල ගීත නිබන්ධනයට, නිවේදන කටයුතු සහ ගැමි චරිත හරි අපූරුවට ඉදිරිපත් කරන දක්ෂ ශිල්පියෙක්. නමුත් විකට චරිත නිරූපණයට අති දක්ෂකමක් ඇති බැව් පෙනේ. මෑතකදී ඔබ ඉදිරිපත් කළ විකට චරිත හරිම අපූරුයි. විකට චරිත ඔබගේ කලා දිවිය ඉදිරිියේදී වර්ණවත් කරයි යනු මගේ විශ්වාසයයි. සුභපැතුම්.

ආරි එගොඩවත්ත
දෙමටගොඩ


යශෝධරා වත රැගෙන එන්න

එළඹෙන වෙසක් සමය වෙනුවෙන් ඔබගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන බිම්බා දේවිය හෙවත් යශෝධරා වත රැගත් නවතම සිනමා සිතුවම නැරැඹීමට අප ඉතා කැමැත්තෙන් පසු වෙමු.

ඩබ්ලිව්. කේ. මොහාන්
මහවැලි සී කලාපය


සුනිල්සෝම පීරිස්ට

බොක්ස් ඔෆීස් චිත්‍රපට කතා තනා සිනමාව බැබල වූ ඔබගේ නිර්මාණ දිවිය කිසි දිනෙක නවතා නොදමන්න. හැත්තෑව අසූව අනූව දශකයේ සිනමාව නැවතත් රසිකයන් වෙත රැගෙන එන්න.

චන්දන වන්නිආරච්චි
දෙහිඅත්තකණ්ඩිය


වනමලී තවම මතකයි

ස්වාධීන රූපවාහිනිය හරහා බිහි වූ වනමලියක් බඳු අසෝකා වනමලී සුවිශේෂී ගණයේ රූපවාහිනී සංනිවේදිකාවකි. එතුමිය විසින් එකල ඉදිරිපත් කළ විචිත්‍ර ගීත මුළු මහත් රසික ප්‍රජාව විසින් ඉතාම සෙනෙහසින් වැළඳ ගත්හ. ස්වාධීන රූපවාහිනියේ නිෂ්පාදිකාවක් ලෙස මහඟු මෙහෙයක් සපුරාලන අසෝකා වනමලීට රසික අපගේ හද පිරි සුබපැතුම් පිරිනමා සිටිමු.

එච්. ඉන්ද්‍රපාල
මුංහේන


කලා අධ්‍යක්ෂකට දීර්ඝායුෂ

චිත්‍රපටයක කලා අධ්‍යක්ෂණය යනු භාරදූර කාර්යයකි. ඒ කාර්යය මැනවින් ඉටු කළ සරසවිය සම්මාන සහ තවත් සම්මාන රාශියක් දිනාගත් කලා අධ්‍යක්ෂවරයෙකි හේමපාල ධර්මසේන. 'සන්දේශය' චිත්‍රපටයෙන් සහය කලා අධ්‍යක්ෂවරයකු ලෙස සිනමාවට පිවිසි ඉන් පසු 'පරසතු මල්', 'සිකුරු තරුව', 'මඩොල්දූව', 'පාරමිතා', 'ගැහැනු ළමයි' වැනි එකල චිත්‍රපට රාශියක ද 'ලොකු දුව', 'උප්පලවණ්ණා' වැනි මෑතකාලීන චිත්‍රපට රාශියක ද ඔහුගේම කලා අධ්‍යක්ෂණයෙන් වර්ණවත් වූ චිත්‍රපටය. සියනෑවේ කුඹල්ඔළුව ග්‍රාමයේ උපන් ඔහු කලාවට අනගි සේවයක් කර අද වන විට විවේක සුවයෙන් පසු වන බව පෙනේ. ඔබට දීර්ඝායුෂ වේවා.

ජගත් චන්ද්‍රසිරි
ජූජා ජගත්සිරි
මීරිගම පාර, පස්යාල


සැබෑ වෙනසක් ඇති කළ කූඹියෝ

I.T.N  රූපවාහිනියේ නිමාවුණු කූඹියෝ සැබෑ වෙනසක් ඇති කළ හරවත් නාට්‍යයකි. එහි ජෙහාන්, ප්‍රියන්ත, ටිරාන්, හිරුනි ඇතුළු සෑම චරිතයකම රංගනය ප්‍රතිභාන්විතයි. සියලු දෙනාගෙන්ම ලැබුණු එම දායකත්වය අගය කරමි. අධ්‍යක්ෂතුමා හා නිෂ්පාදක යන දෙපොළ ඇතුළු නිර්මාණ කණ්ඩායමටත් හදවතින් සුභ පතමි. නැවතත් අනර්ඝ කතා තේමාවක් රැගත් නාට්‍යයක් බලාපොරොත්තු වෙමි.

ඉන්ද්‍රානි ආරියවංශ
ගල්කිස්ස


අයිවෝ ඩෙනිස්ට ඉක්මන් සුවය ලැබේවා

ඕලු පිපිීලා , මිහිකත නලවාලා, වලාකුලෙන් බැස, සුභාවිත ගීතයෙන් රසික කැල නැල වූ ගායක කෙත අස්වැද්දූ දැනට රෝගාතුරව සිටින ගායක, සංගීතඥ අයිවෝ ඩෙනිස් කලාකරුවාණන්ට සියලු දේවාශීර්වාදයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

අතුල රම්‍යසිරි
පානදුර