වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




මධුරිගේ ඒක් දෝත් තීන් ජැක්ලයින්ගේ නර්තනයෙන් Baaghi

මධුරිගේ ඒක් දෝත් තීන් ජැක්ලයින්ගේ නර්තනයෙන් Baaghi

අහමඩ් ඛාන් අධ්‍යක්ෂණයක්
මාර්තු 30 සිට ලොවපුරා

ටයිගර් ශ්රොෆ් සහ ශ්‍රද්ධා කපූර් ප්‍රධාන චරිත නිරූපණය කළ ඉන්දීය සටන් කලා චිත්‍රපටයක් වුණු Baaghi ඉන්දීය රුපියල් කෝටි 126.96ක් සමඟින් ආදායම් වාර්තා තබන්න සමත් වූණා. මේ සාර්ථකත්වය නිසාම එහි දෙවැන්නක් පිළිබඳ ආරංචි ගෙන ආවේ එය තිරගත කෙරෙන අතරතුරදීමයි.

නීති විරෝධී ව්‍යාපාර රැසක හිමිකාරිත්වය දරණ රාගව් නැමත්තෙකු විසින් සියා නම් තරුණියව පැහැර ගෙන තායිලන්තයේ බැංකොක් නගරයට රැගෙන යනු ලබනවා. රජයේ සහය නොමැති වීමෙන් සියාගේ පියා විසින් සියා බේරාගෙන නැවත රැගෙන ඒමේ වගකීම රොනී නම් තරුණයා වෙත බාර කරනවා. කලකට ඉහතදී සියාගේ ආදරය හිමි වූයේ ද රොනීටයි. යම් හේතුවක් නිසා මේ දෙදෙනාගේ වෙන්වීම සිදු වී ඇති අතර මේ වන විට රොනී සිටින්නේ සියා සමගින් සියුම් වෛරයකින්. ඒ හේතුවෙන් පළමුවර සියාව බේරා ගැනීම රොනී විසින් ප්‍රතික්ෂේප කළ ද ඒ වන විට අවැසි හදිසි මුදල් අවශ්‍යතාවයක් පිරිමසා ගැනීම සඳහා සියාව බේරාගෙන ඒමේ දුෂ්කර කාර්යය භාර ගන්නා රොනී බැංකොක් වෙත ගොස් මුහුණ දෙන අභියෝග දැක ගන්න ලැබුණේ, සබීර් ඛාන් අධ්‍යක්ෂණය කර 2016 වසරේදී තිරගත කෙරුණු Baaghi චිත්‍රපටයෙන්.

ටයිගර් ශ්රොෆ් සහ ශ්‍රද්ධා කපූර් ප්‍රධාන චරිත නිරූපණය කළ ඉන්දීය සටන් කලා චිත්‍රපටයක් වුණු Baaghi ඉන්දීය රුපියල් කෝටි 126.96ක් සමඟින් ආදායම් වාර්තා තබන්න සමත් වූණා. මේ සාර්ථකත්වය නිසාම එහි දෙවැන්නක් පිළිබඳ ආරංචි ගෙන ආවේ එය තිරගත කෙරෙන අතරතුරදීමයි. ඒ අනුව අහමඩ් ඛාන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු Baaghi 2 චිත්‍රපටය හෙට (මාර්තු 30) සිට ලොවපුරා තිරගත කිරීමට නියමිතයි. එහි යුද පෙරමුණේ සිටි අති දක්ෂ හමුදා නිලධාරියකු විසින් රුසියානු මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකගේ අත්අඩංගුවේ පසුවන පැරණි පෙම්වතියගේ දියණිය බේරා ගැනීමට දරනා ප්‍රයත්නය ගෙන එනවා. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ටයිගර් ශ්රෝෆ් සමඟින් ඩීශා පතානි. ප්‍රතීක් බබ්බාර්, මනෝජ් බජ්පායේ, රන්දීප් හූදා, දීපක් දෝබ්‍රියා ඇතුලු පිරිසකගේ රංගනය සමඟින් ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් ද මෙහි විශේෂ දර්ශනයට පෙනී සිටිනවා.

සජීද් නදියද්වාලා විසින් නිෂ්පාදනය කෙරුණු Baaghi 2 යනු 2016 වසරේ තිරගත කෙරුණු තෙළිඟු චිත්‍රපටයක් වන Kshanam හි ප්‍රති නිර්මාණයක්. කලකට ඉහත 1988 වසරේදී මධුරි ඩික්සිත් Tezaab චිත්‍රපටයේදී ඉදිරිපත් කළ "Ek Do Teen"  ගීතමය දර්ශනය Baaghi 2 චිත්‍රපටය වෙනුවෙන් ඇතුළත්. හැබැයි මධුරි වෙනුවට මෙවර එහි පෙනී සිටින්නේ බොලිවුඩයේ නම දිනූ ශ්‍රී ලංකා රූ රැජන ජැක්ලයින් ෆර්නැන්ඩ්ස්. මෙම අවස්ථාව තම රංගන ජීවිතයේ තිගැස්මක් ඇති වූ අවස්ථාවක් බව ජැක්ලයින් පවසනවා. "හින්දි සිනමාවේ මේ වගේ සංකේතාත්මක ගීතමය ජවනිකාවක් නැවත ඉදිරිපත් කරන්න ලැබීම නිළියක් විදියට මා ලද ගෞරවයක්. මධුරි වගේ මට නටන්න බැරි බව මම දන්නවා. මම ඇය අනුකරණය කරන්න උත්සාහ කළෙත් නැහැ. ඇයට ගෞරවයක් ලෙසින් වඩාත් හොඳන් එය ඉදිරිපත් කරන්න උත්සාහ කළා" එය රූගත කිරීමෙන් අනතුරුව ජැක්ලීන් පැවසුවා. එදා අල්කා යග්නික් විසින් ගැයුනු "Ek Do Teen" ගීතය මෙදා ගයන්නේ සම්මානනීය යොවුන් ගායිකා ශ්‍රෙයා ගෝෂාල් විසින්.

Baaghi 2 ප්‍රධාන චරිතය වන රෝනිහට පණ පොවන්නේ ටයිගර් ෆ්රොෆ් විසින්. ටයිගර් හෙවත් ජායි හේමන්ත් ශ්රොෆ් යනු බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය, ප්‍රවීණ නළුවකු වන ජැකී ‍ශ්රොෆ් ගේ පුත්‍රයා. 2014 වසරේදී Heropanti  චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි ටයිගර්, Baaghi චිත්‍රපටය සේම A Flying Jatt, Munna Michael චිත්‍රපටවලින් කෙටි කලකදී ඉහල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්න සමත් වුණා. Flying Jatt චිත්‍රපටය නිසා බොලිවුඩයේ ලාබාලතම සුපිරි වීරයා බවට පත්ව සිටින්නෙත් ටයිගර්. Baaghi 2 හි ටයිගර් සමඟින් ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන ඩීෂා පතානි ටයිගර්ගේ සැබෑ ජිවිතයේ පෙම්වතිය බවට කටකතා පැතිරුණේ 2016 වසරේ නිකුත් කෙරුණු Befikra  ගීතයේ රූපරචනාව සමඟින්. නවක නිළියක වන ඩීෂා සිනමාවට පිවිසියේ 2015 වසරේදී Loafer තෙළිඟු චිත්‍රපටයෙන්.  M.S. Dhoni: The Untold Story සහ Kung Fu Yoga චිත්‍රපටවලින් පසුව ඇයගේ නවතම චිත්‍රපයටය වන්නේ, Baaghi 2.

පසුගිය පෙබරවාරි මාසයේදී Baaghi 2 පූර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීම සමඟින් තවත් සුබ පණිවුඩයක් නිකුත් කළේ නිෂ්පාදක සජිද් නදියද්වාලා විසින්. එය නම් Baaghi 3 චිත්‍රපටයේ නිර්මාණ කටයුතු ද නුදුරේදීම ආරම්භ කෙරෙන බවයි.