වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




සාලිය ඩයස් මියයයි

සාලිය ඩයස් මියයයි

ජ්‍යෙෂ්ඨ කලා අධ්‍යක්ෂවරයකු වන සාලිය ඩයස් අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 කි. දෙමෝදර පාලම, නොම්මර එකයි, පෙරළිකාරයෝ ඇතුළු සිනමාපට රැසකටම සාලිය කලා අධ්‍යක්ෂණයෙන් දායක විය. චිත්‍රපට ප්‍රචාරණ කටයුතුවල ද නියැලුණ හෙතෙම මෑතකදී තිරගත වූ කුසල් චිත්‍රපටය දක්වාම සිය දායකත්වය ලබා දුනි. ඔහුගේ අවසන් කටයුතු පසුගියදා කොලොන්නාව සුසාන භූමියේදී සිදු කෙරිණ.


ගිම්හානීය දියවර කළුතර බෝම්ඹුවල

ගිම්හානීය දියවර නමැති ගී ප්‍රසංගයක් මෙම මස 31 වැනිදා සවස කළුතර බෝම්ඹුවල ශ්‍රී ධර්මාලෝක මහ විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වේ. මහාචාර්ය සංගීත් නිපුන් විශාරද සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි, අජිත් රන්දුනුගේ මෙහිදී ගීතවත් වනු ඇත. විද්‍යාලයීය වාද්‍ය වෘන්දය සංගීතය සපයන අතර ප්‍රසංගය ආදි ශිෂ්‍ය කලා සංසදයේ සංවිධානයකි.


සොඳුරු රහසක් 31 දා ධර්මරාජයේ

නව පරපුරේ ගායන ශිල්පී අංජන සෙනෙවිරත්නගේ කුලුඳුල් සංගත තැටිය සොඳුරු රහසක් මෙම මස 31 වැනිදා උදෑසන 10 ට මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ. වෘත්තියෙන් සිංහල ගුරුවරයකු වන අංජන ගායකයකු ලෙසින් ද කලක පටන් කටයුතු කරන ලදී. ඔහුගේ සොඳුරු රහසක් ගීත එකතුවේ සංගීත අධ්‍යක්ෂණය ශාන්ත ජයලත් තිසේරා විසින් නිම කොට තිබේ.


ගම අවුලඤ්ඤං දෙදිනක, දෙතැනක

සහන් රන්වල ප්‍රමුඛ රන්වල බලකායේ ගම අවුලඤ්ඤං ප්‍රසංග මාලාවේ 998 වැනි දිග හැරුම මෙම මස 29 වැනිදා එනම් අද සවස මාදම්පේ සුබෝධාරාම විහාරස්ථානයේදී දිග හැරෙයි. එහි 999 වැන්න මෙම මස 30 වැනිදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වෙන අතර එහිදී ප්‍රසංගය හැඩ ගන්වනුයේ රන්වල බලකායේ පැරැණිතම ශිල්ප ශිල්පීන් විසිනි. තවත් අයුරින් පැවසුවහොත් රන්වල බලකායේ එදා නඩයයි. මෙම මස 31 වැනිදා සවස රන්වල බලකායේ ගයමු ප්‍රසංග මාලාවේ ඊළග අදියර නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇත.