වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




රූපණයේ ස්වරූප

රූපණයේ ස්වරූප

2018 උසස් පෙළ සඳහා සැරසෙමු

කිසියම් චරිතයක් රඟපාන නළුවකු එකී චරිත නිරූපණය කිරීමේදී ඒ ඒ අවස්ථාවට අනුකූලව ඉදිරිපත් කරන චරිතයේ විවිධ පැතිකඩ භූමිකා නිරූපණය නම් වේ. එක් චරිතයකට නියමිත භූමිකා කිහිපයක් තිබිය හැක.

උදා: එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ' නාට්‍යයේ මනමේ කුමාරයාගේ චරිතය නිරූපණය කරන නළුවාට පහත භූමිකා නිරූපණය කිරීමට සිදුවේ.

1. රාජගුරු ඉදිරිපිට - ශිෂ්‍යයාගේ භුමිකාව

2. කුමරිය ඉදිරිපිට - පෙම්වතාගේ භූමිකාව

3. වැද්දා ඉදිරිපිට - ප්‍රතිවාදියාගේ භූමිකාව

භූමිකා නිරූපණයේදී සැලකිලිමත් විය යුතු කරුණු.

* සතර අභිනය භාවිත කරන ආකාරය

* නාට්‍යයේ ශෛලිය

* නාට්‍යය නියෝජනය කරන යුගය, පසුබිම, පරිසරය

* චරිතයේ වයස, ලිංග භේදය, වෘත්තිය, අධ්‍යාපන පසුබිම, ආර්ථික පසුබිම

* චරිතයේ අභ්‍යන්තර සමාරෝපය

* සෙසු චරිත සමඟ දක්වන අන්තර් සම්බන්ධය

* මතු කළ යුතු මනෝභාව

* යටි පෙළ මඟින් කෙරෙන අර්ථකථනය

ක්ෂණික නිරූපණය (එසැණ නිරූපණය)

පෙර සූදානමක් නොමැතිව, ලිඛිත නාට්‍ය පිටපතක් නොමැතිව, ආහාර්ය අභිනය පිළිබඳ අවධානයක් යොමු නොකර, ඉතා කුඩා කාල සීමාවක් තුළ නිර්මාණය කර ඉදිරිපත් කරන චරිතයක්, අවස්ථාවක් සිද්ධියක් ක්ෂණික නිරූපණයක් ලෙස හඳුනා ගත හැකිය.

මෙමඟින් නළු නිළියන්ගේ පරිකල්පන ශක්‍යතාව වර්ධනය වන අතර නිර්මාණශීලී චින්තනය ප්‍රබෝධමත් වේ. ක්ෂණික නිරූපණ කේවල සහ සමූහ ලෙස වර්ග කළ හැකිය. නළු නිළියන් පුහුණු කරන නාට්‍ය වැඩමුළු Work Shop) වලදී අභ්‍යාසයක් ලෙසත්, අධ්‍යක්ෂකවරයෙකුට නළුවරණයකදී නළු නිළියන් තෝරා ගැනීමේ උපක්‍රමක් ලෙසත් ක්ෂණික නිරූපණය භාවිත කළ හැකිය.

අභිරූපණය (Miming)

පසුතල හෝ රංග භාණ්ඩ, සංවාද හෝ ගීත භාවිතයෙන් තොරව කිසියම් අවස්ථාවක් හෝ සිද්ධියක් අතිශයෝක්තියෙන් නිරූපණය කිරීම අභිරූපණය නමින් හැඳින්වේ. අභිරූපණයේ දක්නට ලැබෙන මූලික ලක්ෂණ පහත සඳහන් පරිදි හඳුනා ගත හැකිය.

* කේවල හෝ සමූහ වශයෙන් ඉදිරිපත් කළ හැකිය.

* ඇස්වලින් සහ අංග චලනයෙන් ප්‍රේක්ෂකයන් දැඩි ලෙස ග්‍රහණය කර ගනියි.

* මුහුණ වෙස් මුහුණක් ලෙස අංග රචනය කරනු ලබයි.

* ස්වභාවිකත්වය ඉක්මවා ගිය අධිරංගයක් දක්නට ලැබේ.

* රිද්මයානුකූලව සියලු නිරූපණයන් සිදු කරනු ලබයි.

* බොහෝ විට පසුබිම් සංගීතයක් භාවිත කරනු ලබයි.

රංග රිද්මය

ලෝකයේ සියලුම දේ පැවැත්ම කෙරෙහි යම් රිද්මයක් ඇත. මෙම රිද්මය හඳුනා ගැනීම වැදගත් වේ.

රංග රිද්මය පවත්වා ගත යුත්තේ රූපණයේදී පමණක් නොවේ. නාට්‍ය පෙළෙහි සිට රංගය දක්වාම රංග රිද්මය පවත්වා ගත යුතුය. නාට්‍යයක රිද්මය එහි සෞන්දර්ය හා බද්ධ වූ ප්‍රබල කරුණකි. එබැවින් එය රස වින්දනය සඳහා බලපායි. නාට්‍යයක රංග රිද්මය බිඳ වැටුණහොත් එය වින්දනයට බාධවක් වේ.

නාට්‍ය පෙළ, ශෛලිය, කථා වින්‍යාසය, නළු නිළියන්ගේ රංගනය, ආනුෂංගික කලාවන් ආදි බොහෝ දෑ එකතුවීමෙන් රංග රිද්මය නිර්මාණය වේ. එකී රංග රිද්මය ශ්‍රව්‍යමය සහ දෘෂ්‍යමය ලෙස ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගනු ලබයි.

ගැටුම් අවස්ථා

පරස්පර විරෝධී පාර්ශවයන් එකට මුණ ගැසීමෙන් ගැටුම් අවස්ථා නිර්මාණය වේ.

එකම පුද්ගලයාගේ සිත තුළ ද මානසික ගැටුමක් ඇති විය හැකිය.

උදා: උසස් පෙළට විද්‍යා හෝ ගණිත විෂය තෝරා ගන්නවාද, වාණිජ විෂයන් තෝරා ගන්නවාද, කලා විෂයන් තෝරා ගන්නවාද යන මානසික ගැටුම.

සමාජයේ සියලු මිනිසුන් එක සමාන නොවේ. පහත කරුණු නිසා ඔවුන් එකිනෙකාගෙන් වෙනස් වේ.

1. සමාජ පසුබිම

2. පවුල් පසුබිම

3. ආර්ථික තත්ත්වය

4. අධ්‍යාපනික මට්ටම

5. මානසික මට්ටම

එම නිසා එක් සිද්ධියක්, මතවාදයක් දෙස ඔවුන් බලන්නේ එක ආකාරයෙන් නොවේ. එම නිසා මොවුන් අතර ගැටුම් ඇති වේ. මෙම ගැටුම් මතින් සමාජය ඉදිරියට ගලා යයි. සමාජයේ පැවැත්ම උදෙසා ගැටුම් අවශ්‍යවේ.

සමාජයේ සියලුම මිනිසුන් එක සමාන වුවහොත් අපට සමාජය නීරස වනු ඇත. වෙනස්කම් ඇති විට අපට හුවමාරු කර ගත හැක. එකී වෙනස්කම් මත මතුවන ගැටුම් මතින් සමාජය සංවර්ධනය කළ හැකිය.

ගැටුම නාට්‍යයකට ද අත්‍යවශ්‍ය සාධකයකි. 'ගැටුමක් නොමැති තැන නාට්‍යයක් නැත' යනුවෙන් බර්නාඩ් ෂෝ ප්‍රකාශ කළේ එබැවිනි. නාට්‍යයක දක්නට ලැබෙන ගැටුම් වර්ග කිහිපයකි. ප්‍රධාන වශයෙන් ගැටුම් වර්ග ත්‍රිත්වයකි.

1. මිනිසා තම සිත සමඟ කරන ගැටුම

බොහෝ විට බොහෝ දෑ සම්බන්ධව අපි අපගේ සිතත් සමඟ ගැටුම් (මානසික ගැටුම්) ඇති කර ගන්නා බව ඉහතින් සඳහන් කළෙමු. මේවා බොහෝ විට නාට්‍යයක ඉදිරිපත් වන්නේ ආත්මභාෂණ ලෙසනි. උදා: විලියම් ශේක්ස්පියර්ගේ 'හැම්ලට්' නාට්‍යයේ හැම්ලට් කුමාරයා තම සිත සමඟ කරන ගැටුම

"ජීවත් වෙනවාද, මැරෙනවාද ඒක තමයි ප්‍රශ්නේ"

2. මිනිසා පරිසරය මත කරන ගැටුම්

මිනිසා ස්වාභාවික පරිසරය සමඟ සටන් කර ඒ මත තම සංස්කෘතික පරිසරය ගොඩ නඟා ගනියි. පරිසරයෙන් ද මිනිසාට බලපෑම් එල්ල වේ. ගංවතුර, නායයාම්, සුළි සුළං, කුනාටු, සුනාමි ලෙස. මිනිසා සහ පරිසරය අතර ඇති මෙම නොනවතින අරගලය නාට්‍යවලද දක්නට ලැබේ.

උදා: ජෝන් මිලින්ටන් සිංජේ ගේ ඊඩඥ අඪඤඥපඵ බධ බඩඥ ඉඥච (මුහුදු යන්නෝ පරිවර්තනය සුනන්ද මහේන්ද්‍ර) නාට්‍යයේ මිනිසුන් මුහුද සමඟ කරන ගැටුම

3. මිනිසා මිනිසා සමඟ කරන ගැටුම

මිනිසුන් අතර විවිධ වූ ගැටුම් නිර්මාණය වන බව අපි ඉහතින් සඳහන් කළෙමු. එවැනි අවස්ථා නාට්‍යවලදී දක්නට ලැබේ.

උදා: එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'සිංහබාහු' නාට්‍යයේ සිංහයා සහ සිංහබාහු අතර ගැටුම (පිය පුතු ගැටුම)

අමතර ගැටුම් අවස්ථා

1. මිනිසා සහ සමාජය අතර ගැටුම උදා: "හැම්ලට්" නාට්‍යයේ හැම්ලට් කුමාරයා දූෂිත ඩෙන්මාර්ක් සමාජය සමඟ කරන ගැටුම

2. මිනිසා අදෘෂ්‍යමාන බලවේග සමඟ කරන ගැටුම

උදා: ඊඩිපස්් රජ නාට්‍යයේ ඊඩිපස් තම දෛවය සමඟ කරන ගැටුම. නාට්‍යයක ගැටුම් අවසථාවක් නිර්මාණය කිරීමේ සැලකිලිමත් විය යුතු කරුණ.

* කුතුහලය සහ ආතතිය රඳවා ගැනීම

* හේතුඵල සම්බන්ධයක් සහ විශ්වාසනීයත්වයක් පවත්වා ගැනීම

* ගැටුම සමඟ මතුවන සමාජ හරය ඉස්මතු කර දැක්වීම

* ගැටුම නොසිත වෙනත් පැතත්කට යොමු කිරිම (ප්‍රත්‍යාවර්තනය)

* ගැටුම සංකීර්ණත්වයට පත්ව පුපුරා යාම

* ගැටුම නිරාකරණය කිරීමට යොදාගන්නා බලවේග නිර්මාණාත්මක ලෙස යොදා ගැනීම