වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




චණ්ඩියා සහ ධීවරයෝ මගේ ‘පෝරිසාදයා’ට බලපෑවා

චණ්ඩියා සහ ධීවරයෝ මගේ ‘පෝරිසාදයා’ට බලපෑවා

- සිරිතුංග පෙරේරා

ඇත්තටම ‘පෝරිසාදයා’ට පසුබිම් වෙන්නේ අපේ අටේ නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන් වන අපේ එදිනෙදා පුවත්පත් බැලුවොත් දිනපතා වාර්තා වෙන පාතාලයේ ක්‍රියාකාරකම් සම්බන්ධව. මේක අපේ රටේ විතරක් නෙවෙයි ඕනම රටක මේ පාතාලය කියන එක සමාජය යටින් ක්‍රියාත්මක වෙනවා

මේ දිනවල තිරගත වන 'පෝරිසාදයා' චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සිරිතුංග පෙරේරාය. ඔහු මෙරට කලා මාධ්‍යයට ප්‍රවිෂ්ට වන්නේ වේදිකා නාට්‍යය හරහාය. පුරා දශක ගණනාවක් වේදිකාවේත්, සිනමාවේත්, රූපවාහිනියේත් අත්දැකිීම් සපිරි ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වශයෙන් කලඑළි බසින්නට බොහෝ කාලයක් බලා සිටියේය. කල් යල් බලමින් සිටි ඔහු මීට වසර අටකට පමණ පෙර 'කන්‍යාවි' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට ප්‍රවිෂ්ට වූයේය. 'පෝරිසාදයා' ඔහුගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණයයි. පෝරිසාදයා චිත්‍රපටය පිළිබඳවත් ඉදිරි සිනමා ගමන් මඟ පිළිබඳවත් පසුගිය දිනක ඔහු හා කළ සංවාදයකි මේ.

ඔබේ පළමු සිනමා නිර්මාණයෙන් වසර 8 කට පසුයි නැවත චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ. ගෙවුණු කාල වකවානුව තුළ සිනමාවේ රුව ගුණ නොයෙක් ආකාරයට වෙනස් වුණා. ඔබ 'පෝරිසාදයා' ගෙන එන්නේ ඒ වෙනස්කම් හඳුනාගෙනද?

ඔව්. සිංහල සිනමාවේ වෙනස්කම් මම මුල ඉඳලම හඳුනාගත්ත කෙනෙක්. සිනමාවේ 'ස්වර්ණමය යුගය' හැටියට අපි සලකන්නේ 70 දශකය. 80 දශකයේදී අපේ සිනමාව නැවත වෙනස්කම්වලට භාජනය වෙනවා. විවෘත ආර්ථිකය නිසා රූපවාහිනියේ ආගමනය ඊට තදින්ම බලපෑවා. ඉන් පසු කාලයක හඳුනා ගත්ත ප්‍රධාන වෙනස්කම් තමයි සංස්ථාවෙන් බෙදා හැරීම පෞද්ගලික අංශයට පැවරීම නිසා සිදු වුණ වෙනස්කම්. මේ තත්ත්වය මත බොහෝ දෙනෙක් සිනමාවේ අර්බුදයක් පවතිනවාය යන කරුණ ගෙනහැර පෑවා. මේ වෙනස්කම් හඳුනාගෙන තමයි මම නැවතත් චිත්‍රපටයක් කළේ. කෙතරම් අර්බුදකාරී වාතාවරණයක් තිබුණත් අපේ හිතේ තිබෙන සිනමා ළැදිකම නිර්මාණකරණයේ යෙදෙන්න හරියට බල කරනවා. වර්තමානයේ පවතින විශාලතම ප්‍රශ්නය තමයි චිත්‍රපට නිෂ්පාදකවරයකු සොයා ගැනීමේ ප්‍රශ්නය.

ඔබට ඒක ප්‍රශ්නයක් වෙලා නැති හැඩයි?

ඔව්. විශේෂයෙන්ම මගේ නිෂ්පාදකවරයාට මේ මොහොතේ ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද අද බොහෝ දෙනෙක් චිත්‍රපටයකට මුදල් ආයෝජනය කරන්නේ ලාභ ලැබීමේ අරමුණ ඇතුව. වර්තමානයේ දේශීය සිනමාව පවතින තත්ත්වය අනුව ඒ ලාභය පිළිබඳ කිසිවෙකුට නිශ්චිත පිළිතුරක් දිය නොහැකියි. මගේ පළවෙනි චිත්‍රපටය නිෂ්පාදනය කළ දේශමාන්‍ය ඉන්දික විජේරත්න මහත්මයාම තමයි මගේ දෙවැනි චිත්‍රපටය වූ 'පෝරිසාදයා'ත් නිෂ්පාදනය කරන්න ඉදිරිපත් වුණේ. මම තිර පිටපත ලියලා ඔහුට පෙන්නුවම ඔහු කැමති වුණා චිත්‍රපටය නිෂ්පාදනය කරන්න.

පෝරිසාදයා කුමන ගණයේ චිත්‍රපටයක් විදියට ද ඔබ සලකන්නේ?

ඇත්තටම 'පොරිසාදයා'ට පසුබිම් වෙන්නේ අපේ අටේ නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන් වන අපේ එදිනෙදා පුවත්පත් බැලුවොත් දිනපතා වාර්තා වෙන පාතාලයේ ක්‍රියාකාරකම් සම්බන්ධව. මේක අපේ රටේ විතරක් නෙවෙයි ඕනම රටක මේ පාතාලය කියන එක සමාජය යටින් ක්‍රියාත්මක වෙනවා. මම 'කන්‍යාවි' හැදුවේ පවුලේ ප්‍රශ්නයක් පසුබිම් කරගෙන. අපේ කාන්තා පරපුරේ දිරිය ශක්තිය, පති භක්තිය පිළිබඳ සාකච්ඡා කරන්න. යශෝදරාවන් වැනි කාන්තාවනුත් සමාජයේ ඉන්නවා කියන එක පෙන්නුම් කරන්න.

කාලයක් ගතවෙන විට අපේ සමාජයේ ප්‍රේක්ෂක ස්වභාවය ඔවුන්ගේ රුචි අරුචිකමුත් වෙනස් වෙනවා. ගතවුණු වසර 07 ඇතුළත ඒ වෙනස්කම් මම හඳුනා ගත්තා. අපේ ප්‍රේක්ෂකයන් තාක්ෂණයේ දියුණුවෙන් උපරිම ප්‍රයෝජන රැගෙන ලෝකයේ විවිධ චිත්‍රපට, ටෙලි නාට්‍ය නරඹනවා. ඔවුන්ගේ රුචි අරුචිකමුත් ඊට සාපේක්ෂව වෙනස් වෙනවා. එතකොට අපි යමක් දෙනවා නම් ඔවුන්ගේ ඉල්ලුමට අනුව සැපයුමක් සිදු කළ යුතුයි. සිනමාවේ අර්බුදයක් තියෙනවා කිව්වට පසුගිය කාලයේ හොඳ චිත්‍රපටයක් ආවොත් ඒක නරඹන්න පේ‍්‍රක්ෂකයෝ ඇදිලා ආවා. ඒකෙන් කියන්නේ හොඳ චිත්‍රපටයක් හැදුවොත් ප්‍රේක්ෂකයෝ නරඹන්නේ නැතුව ඉන්නේ නෑ කියන එකයි. ඒ ගැනත් හිතලා බලලා තමයි පෝරිසාදයා හදන්න හිතුවේ. අපේ සමාජයේ දකින්න තිබෙන දේ පසුබිම් කරගෙන තමයි මේ කතාව නිර්මාණය කළේ. එක පැත්තකින් මම හිතුවා මේකෙන් සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් වෙයි කියලා. නරඹන්නන්ගේ හිත් සසල කරන සංවේදී කතා පුවතක්. මම හිතනවා චිත්‍රපටය අවසානයේ කාගෙත් ඇසට කඳුළක් නැගේවි කියලා.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය රඟපාන උදාරි සහ ශ්‍රියන්තගේ රඟපෑම් ගැන ඔබ මීට ප්‍රථමත් විශේෂයෙන් කතා කර තිබුණා. ඇත්තටම මොකක්ද එහි සුවිශේෂත්වය?

චිත්‍රපටයේ තිර කතාව ලියන විටම මගේ මතකය දිව ගියේ 70 දශකයට. මට මතක් වුණේ ගාමිණී ෆොන්සේකා රඟපෑව 'චණ්ඩියා' 'ධීවරයෝ' වගේ චිත්‍රපට. ඒ මතකෙට පෝරිසාදයාට සුදුසුයි කියලා මගේ හිතට ආවේ ශ්‍රියන්ත මෙන්ඩිස්. ඔහුට තිර රචනය දුන්නම ඔහු කියවලා බලලා ඉතාම කැමති වුණා. මේ චිත්‍රපටයේ කාන්තා චරිතය උදාරි වර්ණසූරිය. ආන්දෝලනාත්මක චරිතයක් රඟපාන්නේ. පාතාල ක්‍රියාකාරකම්වලට එරෙහිව ක්‍රියාත්මක වෙන පොලිස් නිලධාරිනිය ඇය. එක පැත්තකින් ඇය අපේ කාන්තා පරපුරටම ආදර්ශයක්, වීරත්වයක් රැගෙන එනවා. සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම ඇගේ චරිතයෙන් ඉහළ තැනකට ඔසවා තබනවා.

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු ගැන කිව්වොත්?

ඉදිරියේදී කරන්න මම දැනටමත් තිර නාටක දෙකක් ලියලා තියෙනවා. මම විශ්වාස කරන ආකාරයට අපි නිර්මාණය කරන්න ඕන අපිට ළඟ, අපේ අත්දැකීම් ඇති කතා පුවත්. වෙනත් විදේශ චිත්‍රපට හෝ පරිවර්තන කරලා අපේ ප්‍රේක්ෂකයන්ට සමීප වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. අනිත් පැත්තෙන් එදිනෙදා සමාජයේ අපි ජීවත් වෙනකොට වස්තු බීජ ඕන තරම් අපිට ලැබෙනවා. ඒවායින් කොයිතරම් ලස්සන නිර්මාණ කරන්න පුළුවන්ද? මගේ ඊළඟ නිර්මාණයත් නිෂ්පාදන කරන්න මේ නිෂ්පාදකවරයාම එකඟ වෙලා තිබෙනවා. ඉදිරියේදී වැඩ පටන් ගන්න නියමිතයි. ඔහු වැනි නිෂ්පාදකවරයෙක් ලැබීම එක අතකින් මගේ වාසනාව. මට ඔහුගෙන් කිසිම බාධාවක් නෑ. උපරිම නිදහස දීලා තියෙනවා මට ඕන ආකාරයට නිර්මාණය කරන්න. මට චිත්‍රපට කිරීමේ හදිස්සියක් නෑ. කරන වැඩේ හරියට කරන්නයි මට ඕන.

ඔබේ ජීවිතේ ආපස්සට බලද්දී සිනමාව පිළිබඳ විශාල අත්දැකීම් ලැබූවෙක් ඔබ. එහෙත් ඔබ නිර්මාණය කර ඇත්තේ චිත්‍රපට 02 යි. ඒ ගැන කනගාටුවක් තියෙනවාද?

නෑ කොහෙත්ම නෑ. ඒ කාලේ ලබපු අත්දැකීම් අදටත් මට විශාල ධෛර්යයක්. මම සිනමාව ආරම්භ කළේ ජී. ඩී. එල්. පෙරේරාගේ කලා පෙළින්. එතකොට මම පොඩි කොලු ගැටයෙක්. කලා පෙළින් කරපු පළවෙනි චිත්‍රපටය 'සාමා' රූගත කරත්දිත් මම හිටියා. දෙවැනි චිත්‍රපටය 'දහසක් සිතුවිලි' එනකොටත් මම හිටියා. සිනමාවේ ප්‍රවීණයෝ රැසක් එක්ක වැඩ කිරීමේ අවස්ථාව මට ලැබිලා තිබෙනවා. ඒ අය ඇසුරේ මම ලබාගත් දැනුම් සම්භාරය අති විශාලයි. දිර්ඝ ගමනක් ගියාට පස්සේ තමයි මම 'කන්‍යාවි' චිත්‍රපටය කළේ. මට කනගාටුවක් නෑ.