වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

පාඨක ප්‍රතිචාර ලියන ඔබට

ප්‍රතිචාර තීරයට අදහස් එවන පාඨක ඔබ තමන්ගේ අදහස ඉතා කෙටියෙන් පැහැදිලිව තැපැල්පත්වල පමණක් ලියා ප්‍රතිචාර තීරයට යොමු කරන්න. ඔබ කියන්නට අදහස් කරන දේ සරල අයුරින් ඉදිරිපත් කර ඇත්නම් පමණක් එම ප්‍රතිචාරයට ඉඩකඩ වෙන්කරලීමට අපි කටයුතු කරමු.

තවත් චිත්‍රපටයක නමක් ගත් තවත් චිත්‍රපට

1. රත්තරන් අම්මා, මගේ අම්මා, ගෙදර බුදුන් අම්මා - අම්මා
2. සසර චේතනා - සසර
3. සූරයන්ගෙත් සූරයා - සුරයා
4. සුහද සෙහොයුරෝ - සොහොයුරෝ
5. ජීවන ගංගා, කල්‍යාණි ගංගා - ගංගා
6. ආදරෙයි මං ආදරෙයි - ආදරෙයි මං
7. චණ්ඩින්ගෙත් චණ්ඩියා - චණ්ඩියා
8. ආත්ම පූජා - පූජා
9. හතර මහ නිධානය - නිධානය
10. ජීවිත සටන - සටන
11. ඡායා මායා - මායා
12. තණ්හා ආශා - ආශා
13. උතුම් ස්ත්‍රී - ස්ත්‍රී
14. වැළි සුළඟ - සුළඟ
15. විර විජය - විජය ගීතා
16. විජය ගීතා - ගීතා
17. කැලෑහඳ - හඳපාන
18. වියරු ගැහැනියක් - ගැහැනියක්
19. දිනුම කාගෙද - දිනුම
20. සයනයේ සිහිනය - සිහිනය
21. සුන්දර බිරිඳ - බිරිඳ
22. අම්මෙ මට සමාවන්න - සමාවන්න
23. සංසාර ප්‍රාර්ථනා - ප්‍රාර්ථනා

විරාජ් හර්ෂනාථ බණ්ඩාර
හුළුගල්ල පාර,
කවැරටිය


රුක්මණි දේවී සිනමා රැජන

මෙසිරිලකම එළිය කරමින් ඩේසි තරුවක් දිස්වුණා
කලා ලෝකය එකලු කරමින් දේවි රුක්මණි බැබලුණා
එදා මා කළ පිං මදීදෝ ඔබව දකිනට බැරි වුණා
දශක හතරකට පසුවත් අනේ ඔබ මට සිහි වුණා

සාලිස් වසරක් ඔබ කළ මෙහෙවර අද නම්
කිසි වෙකුටත් නොදැනේ
මියුරු සරින් ගී ගයමින් රැඟු හැටි සිතුවම් පටයක්
ලෙසින් පෙනේ
රුක්මණි දේවිය සිනමා රැජන මින් මතුවට
නැත හමු වෙන්නේ
රෑ යාමේ පෙම් සිහින මවන විට ගී හඬ මුසුවී
මැවිලා පෙනේ

ශ්‍රියාණි ජයකාන්ති
පන්සල පාර
මාකඳුර
ගෝනවිල


'ධීවරයෝ' නැවත නිෂ්පාදනය කරමුද?

හැත්තෑව දශකයේ සිනමා ලෝලීන් අතර වැඩි ජනප්‍රියත්වයට පත්, දැනට චිත්‍රපට සංරක්ෂණාගාරයේ නොමැති, ධීවර කතාවක් සමඟ හාස්‍යමය ජවනිකා රැසකින් යුක්ත වූ ගාමිණී ෆොන්සේකා, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා, ඇන්තනි සී. පෙරේරා සහ ක්‍රිස්ටි ලෙනාඩ් යන නළු නිළි කැලක් රඟපෑ 'ධීවරයෝ' චිත්‍රපටය යළිත් වරක් ප්‍රේක්ෂක අපට දැක බලා ගැනීම සඳහා නව නිෂ්පාදනයක් ලෙස තිරයට නැඟීමට කටයුතු කරන්න.

කෑගල්ලේ තටාකය පාරේ
මැණිකේ විල්වල සහ
තිලකරත්න විල්වල


ධර්ම ශ්‍රී අද සිටියා නම්

සීතල වතුර, රෑන ගිරව්, මීමැස්සෝ, රත්තරන් අම්මා, කල්‍යාණි ගංගා චිත්‍රපට නිර්මාණය කළ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කල්දේරා මිය ගොසින් අවුරුදු විසි හතරකි. ඔහු වැන්නන් අද සිනමාවට අවශ්‍ය යුගයක්ව ඇත. ඒ අඩුව අදටත් සිංහල සිනමාවට හොඳින් දැනී ඇති කාල වකවානුවකි.

කෙනත් පෙරේරා
ජාඇල


ශෙහානිට ප්‍රේක්ෂක සිතක්

ශෙහානි කහඳවල ඔයාව මුලින්ම දැක්කේ සුජාතා ටෙලි නාට්‍යයේ සුජාතා ලෙස. ඊළඟට සඳ පිනි වැස්සේ මාධවී ලෙසින්. බටහිර අහස ටෙලි නාට්‍යයේ ඔයා හරිම ලස්සනට පේනවා. මගේ සුබපැතුම්.

කඩුගන්නාවේ
බී. පී. ගම්මුදලි


චිත්‍රපට සංරක්ෂණයට දමිත්ට ආසිරි

ක්‍රමානුකූල සංරක්ෂණයක වැදගත්කම හඳුනාගෙන විදේශීිය විශේෂඥයන් ගෙන්වා දේශීය සිනමාවේ චිත්‍රපට විධිමත් අයුරින් සංරක්ෂණය කිරීමට පියවර ගැනීම ගැන දමිත් ෆොන්සේකාට අපගේ ප්‍රසාදය. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ පුත්‍රයා වන ඔබට දේශීය සිනමාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන්නට ශක්තිය ලැබේවා.

නිමල් කුලසේකර
අඟුලාන


ජීවන්ත කියන දෙබස් සිත් ගනී

මේ දිනවල හිරු නාලිකාවෙන් විකාශනය වන 'බටහිර අහස' තුළින් ප්‍රධාන භූමිකාව රඟන ජීවන්ත එරන්ද දෙබස් කියන අන්දම සිත් ඇදගන්නා සුලුයි. ඔබට තව බොහෝ දුර යාමට ශක්තිය ලැබේවා.

ජාඇල කලඑළිය
සරත් සේනාධීර


මර්සි එදිරිසිංහ සමරමු

ගුවන් විදුලිය, වේදිකාව, රූපවාහිනිය, සිනමාව පමණක් නොව හඬ කැවීම් මැදිරිය යන මේ සියල්ල ජය ගනිමින් නොමැකෙන සටහන් තැබූ එතුමිය අඹේපුස්ස ග්‍රාමයේ උපන් පසු කලෙකදී ජාඇල පදිංචි වුණ දශක කිහිපයක්ම අපව තුටු සයුරේ ගිල් වූ ශිල්පිනියකි.
ඇය අවසන් වරට රඟපෑවේ අමන්දා හි පොඩි නෝනෙගෙ චරිතයයි. විකට නිළියක් ලෙසින් නොමැකෙන සටහන් තැබුවේ 'විනෝද සමය' තුළිනි. ඇය අපෙන් 2014 මාර්තු මස 17 වෙනිදා සමුගෙන ගියත් මතකය අප අතර ඇත.

මොරටුව, කටුබැද්දේ
ඩඩ්ලි ගෝමස්


ශෂි පබා 'සරසිට' ලකුණු ගොඩයි

සහජයෙන් උරුම කරගත් රංගන ප්‍රතිභාව පුංචි තිරයේ ටෙලි නාට්‍යය තුළින් ආලෝකමත් කළ ශෂි පබා සංජීවනී නව පරපුරේ දක්ෂතාවලින් පිරිපුන් රංගන ශිල්පිනියක්. මහී පූජා ටෙලි නාට්‍යයේ සරසි නම් යුවතියගේ චරිතයට අවතීර්ණ වෙමින් පරිසරයට ආදරය කරන පරිසරවේදිනියක් ලෙස කැපී පෙනෙන රංගන ප්‍රතිභාවක් ඉස්මතු කරයි. පුංචි තිරයේ දීප්තිමත් තාරකාවක වන ශෂි පබා සංජීවනීගේ ඉදිරි කලා කටයුතු අති සාර්ථක වේවා.

එච්. ඉන්ද්‍රපාල
ශ්‍රී සංඝමිත්තා මාවත
මුංහේන


මේනකා රඟන පාලිට

ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන පාලි ටෙලි නාට්‍යයෙහි පාලි මෙන් රඟන මේනකා පීරිස් ඉතාම තාත්වික අන්දමින් රඟපෑමේ යෙදෙයි. මෙම නාට්‍යයත් ලස්සනයි. ඇයත් ලස්සනයි.

කපුගොඩ, මාළිඳ
සරත් රණසිංහ


හරයක් නැති මෙගා

අද වන විට හතු පිපෙන්නා සේ නාලිකාවල විකාශනය වන විදේශයන්හි නිපද වූ ටෙලි නාට්‍ය මාලාවන් හරසුන් බොළඳ විකාර රූපී මුදල පමණක් අරමුණු කරගත් කථාංග පමණක් බව විද්වත් මතයයි. ඒවායේ ඇති තේමාවන් එකිනෙකට පරස්පර අරමුණු කරා ගලායන අතර ප්‍රේක්ෂක රසාස්වාදය මොට කර හෘද ස්පන්දනය පමණක් වැඩි කර බුද්ධියට ඉඩකඩක් නොතබා ගලා යාමට සලස්වයි.

පාසැල් දරුවන් සමඟ එකට හිඳ නැරැඹීමට සුදුසු කථාවක් ඉඳහිට විකාශය වුව ද බහුතරයක් කථා එකම විලාශයකින් විකාශනය වෙයි. හරවත් මාතෘකා මූලික කර ගනිමින් රූපගත කර විකාශය කරන්නේ නම් මෙයට වඩා ප්‍රේක්ෂකයන් රූපවාහිනිය වටා එක් රොක් වනු ඒකාන්තය.

එස්. ඒ. සමන් කුමාර
කඩවලගෙදර


මහේන්ද්‍ර පෙරේරාගේ නවතම රංගනයක් දකින්න කැමැතියි

මහේන්ද්‍ර පෙරේරා කලාකරුවාගේ නවතම රංගනයක් දකින්න කැමැතියි එදා කොස්තාපල් පුණ්‍යසෝම ලෙස රංගනයේ යෙදුනා වගේ.

පුෂ්පා
අනුරාධපුර


සංගීතයේ ඵල නෙලන්න ජගත්ට ආසිරි

එදා ප්‍රේමණීය ගීතයෙන් අපව පින වූ ගායක ජගත් වික්‍රමසිංහ ටෙලි නාට්‍යය තේමා සංගීතයෙන් දිගු ගමනක් පැමිණ තිබේ. තව තවත් සංගීතයේ උපරිම ඵල නෙලා ගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.

සුනිල් බී. වේහැල්ල
ගෝනපොල


හිස් වූ ජෝති හඬට අස්වැසිල්ලක් වූ ග්‍රේෂන්

එච්. ආර්. ජෝතිපාලයන්ගෙන් හිස් වූ කලා කෙත පෝෂණය කළ ගායකයෙකු වේ නම් ග්‍රේෂන් ආනන්දයන් ප්‍රමුඛතාවයෙහිලා සැලකිය හැකිය. ජෝතිපාලට මෙන්ම තිරයට උචිත හඬක් ග්‍රේෂන් සතු විය. විශේෂයෙන් සනත් ගුණතිලකයන්ට ඔහුගේ හඬ හරියටම ගැළපුණේය. සනත් වෙනුවෙන් රජදරුවෝ' හි - බිලිඳුනේ දරුවනේ, ප්‍රාර්ථනා හි - සුපෙම් පා, ඔබටයි ප්‍රියේ ආදරේ හි - ආශාවේ ආශාවේ පායා, දිනුම හි - හිතුමතේ ජීවිතේ ඊට කදිමට සාක්ෂි දරයි. අජිත් ජිනදාසයන්ට ද එසේමය. දක්ෂ ගිටාර් වාදකයෙකු වූ ග්‍රේෂන් සරත් දසනායකයන්ගේ සංගීත කණ්ඩායමේ ප්‍රධාන පෙළේ වාදන ශිල්පියෙකු ලෙස ද කටයුත කළේය. ගායනය - වාදනය - සංගීත අධ්‍යක්ෂණය වැනි දක්ෂතා සපිරි මේ කලාකරුවා ද දෛවය අපට අහිමි කළහ.

ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
මීරිගම පාර
පස්යාල


ආදර ජෝතිට

ඔබ මිය ගියාට රුව හා හඬ අපට ඉතිරි කොට ඇත. එදාට වඩා ඔබේ වටිනාකම වැඩි වී ඇත. දිනෙන් දින ඔබ සදා අමරණීයයි.

ප්‍රියන්ත හෙට්ටිආරච්චි
මහිපාලගොඩ
යක්කල


සිහින කුමරා හද බැතියෙන් සමරමු

සිංහල සිනමාවේ සිහින කුමරා විජය කුමාරතුංගය. ඔහු රඟපෑ සෑම චිත්‍රපටයක්ම අතිශය ජනප්‍රිය වූවා පමණක් නොව ආදායම් වාර්තා ද පිහිටුවීය. මානව හිතවාදී කලාකරුවාණන් හද බැතියෙන් සමරමු.

ඩබ්ලිව්. කේ. මොහාන්
මහවැලි සී කලාපය


අමීෂා කාවින්දි සහ අර්ජුන කමලනාත් යුවළට

සිංහල සිනමාවේ දිදුලන තරු යුගල ඔබයි. ඔබ දෙදෙනා සුපෙම්වතුන් ලෙස රඟපාන නවතම සිනමා සිතුවමකින් මේ වසරේදී රිදී තිරය සරසන්න.

චන්දන වන්නිආරච්චි
දෙහිඅත්තකණ්ඩිය