වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




SIMPLE, BUT A MASTER PLAN

SIMPLE, BUT A MASTER PLAN

කෝමාලි kings තැනූ king රත්නම්

සිනමාවේ ඩිජිටල් ආගමනය එහි නිර්මාණශීලි ගුණය වැඩි දියුණු කරනු ඇතැයි අප සිතුවත් එහි අනිසි ඵල නෙළන්නට සිදුව ඇත්තේත් සිනමා රසිකයන්ටයි. සිනමාවේ ආදි කර්තෘවරයෙකු වන ඩී.ඩබ්ලිව්.ග්‍රිෆිත් කවදාක හෝ දවසක සිනමාව කොලු කොල්ලන් අත පෑන් පැන්සල් ගාණට සිනමා උපකරණ යායුතුයි එදා සිහින මැවුවත් අද සිදුවූයේ එයට වඩා නොසිතූ සැන්තෑසියක්.ඒ කොල්ලයි බල්ලයි හැමෝම චිත්‍රපට නමින් මොනවාදෝ අටවන්නට යෑම.නිසා එහි ජිව ගුණය මරා උපන් චිත්‍රපට තොග ගණනට බිහි විම. ඒ අතර ඉතා දක්ෂයන් නැතුවා නොවේ.එහෙත් කිලෝ ගණනට චිත්‍රපට නමින් හැදීම ජාවාරම් වලට දොර ඇරීමක් වෙලා. එය අපේ රටට පමණක් නොව ලෝකය පුරාම පෙනෙන ලක්ෂණයක්.

අපේ රටේ නම් චිත්‍රපට පෙන්වන ක්‍රමය ගැන නොයෙක් අඬෝවැඩියාවන් අහන්නට සිදුව තියෙන්නෙත් රසික අපටමය. කොහොම උණත් දැන්නම් අලුත් චිත්‍රපටයක් බලන්නට සිනමාහලකට ගොඩ වදින්න සිදුව තියේන්නේ තරමක් බයෙන් සැකෙන්. ඒ සිදුව ඇත්තේ චිත්‍රපට නමින් තැනෙන මොනවාදෝ මගුල් නිසා .ගිය ගමන් ආපසු එන්නත් බැ ප්‍රවේශ පත්‍ර මිල නිසා.මෑතක හැදුණ සිංහල චිත්‍රපට බහුතරය විතරක් නෙවෙයි.ඉන්දියාවේ තැනෙන අලුත් දෙමළ චිත්‍රපට බහුතරයත් එහෙමමයි.

ඒ කොයි හැටි වෙතත් පසුගිය දවසක ලංකාවේ තැනණු දෙමළ චිත්‍රපටයක් නරඹන්නට අවස්ථාව ලැබුණා.බලන්න ගියේ බයෙන් බයේ.සමකාලින චිත්‍රපට නිසා.හැබැයි චිත්‍රපටය පටන් අරන් මුල්ම විනාඩි දහය ගත වන විටත් මරු වැඩක් යන සිතුවිල්ල සිතට නැගුණේ නිරායාසයෙන්. ඉන් අනතුරුව ගෙවුණු පැය දෙකම අපූරු විනෝදාශ්වාදයක් ගෙන දෙන්නට සමත් වුනා.චිත්‍රපටය කෝමාලි කිංග්ස්. අධ්‍යක්ෂණය වගේම එහි ප්‍රධාන නළුවා කිංග් රත්නම්.

කෝමාලි කිංග්ස් බලා වසඟයට පත් වු අප කිංග් රත්නම් සමග කතාබහක් කළා.

මේ ඒ කතා බහේ කොටස්.

පළමුව කවුද මේ කිංග් රත්නම් කියලා බලමු.දැන්වීම් කෙෂත්‍රයේ නමක් දිනා සිටින මේ ඉළන්දාරියා ගැන විස්තර ඔහුගෙන්ම අහමු.ඒ වගේම ඔහුගේ ආකල්ප

“මම නාවල උපන්නේ.මට අවුරුදු හතරෙදි තමයි අසූ තුනේ කලබල ඇතිවෙන්නේ.අපේ ගෙවල් දොරවල් පිච්චුවා.ඊට පස්සේ අපි කෝච්චියක නැගලා මඩකලපුවට ගියා.ඊට පස්සේ අවුරුදු ගණනකට පස්සේ අපි මදුරෙයි වලට ගියා. මට අවුරුදු දහයක් වෙද්දි යළි නුවරට ඇවිත් ත්‍රිත්ව විදුහලට ඇතුලු වුණා.මට අවුරුදු දෙකකට වැඩිමල් පන්තියක තමා සංගක්කාර හිටියේ.1999 දී මම යා ටීවී ආයතනයට ඇතුළු වුණා.නිෂ්පාදන සහකාර ශිල්පියෙක් හැටියට.කැමරා කැසට් උපකරණ උස්සාගෙන යන එකේ ඉඳන් ඔක්කොම වැඩ කළා.පස්සේ මම ටෙලිවිෂන් ජර්නලිස්ට් කෙනෙක් උණා.එයින් පස්සේ නෝර්වේ හා ලන්ඩනයට ගියා.ඒ ගියේත් ශ්‍රව්‍ය දෘශ්‍ය ශිල්පියෙක් හැටියට.2004 ආපසු ආවේ යන්න හිතා ගෙන.ඒත් සුනාමිය සිද්ධ වුනේ ඒ දවස් වල.ඒක මගේ ජිවිතයට විශාල බලපෑමක් කළා.මොකක්දෝ හේතුවකට මට ආපහු යන්ඩ හිත දුන්නේ නෑ.මොන මගුලකට ද මේ මගේ රට අතහැරලා යන්නේ කියලා මට හිතුණා.ඒ පාර මම තනියම වැඩ කළා.වෙළඳ දැන්වීම්,වාර්තා වැඩ සටහන්, වගේ වැඩ සටහන් රාශියක් කළා.සමහර පුද්ගලයන් ගැන වාර්තා චිත්‍රපට කළා.ව්‍යාපාරිකයන් වගේම දේශපාලකයන් ගැනත් වාර්තා චිත්‍රපට හැදුවා.ඒ වගේම වතුකරයේ ජනතාව ගැන විනාඩි 45 ක වාර්තා චිත්‍රපටයක් හැදුවා.මේ කාරණා මට යම් නමක් දිනා ගන්නට හැකිවුණා.

එයින් පසුව නුනී කියලා චිත්‍රපට තිරනාටකයක් ලියලා ඒක හදන්න නිෂ්පාදකවරු සොයා ගියා.ඒ හැමෝම සල්ලි විතරක් තියෙන කලා රසයෙන් තොර කිහිප දෙනෙක්.මේ සිද්ධියෙන් මම මානසිකව තදින් බැට කෑවා.හැබැයි මේ සිදුවීම පාදක කර ගෙන මම ඒ හමුවුණ කිහිප දෙනාගේ අත්දැකීම් එක්ක කෙටි චිත්‍රපට දෙකක් හැදුවා.ඒ Suger up or down  සහ Devil come devil go  යනුවෙන්.මේ හින්ද මට දැනුණා.මට ප්‍රහසනාත්මක චිත්‍රපට තිර නාටක ලිවිමේ හැකියාව මට තියෙනවා කියලා.මට දැනුණ තවත් කාරණයක් තමයි ඇයි අපට ලංකාවේ දෙමළ සිනමා රැල්ලක් හදන්ඩ බැරි කියන කාරණය.අපි ඉන්දියානු රැල්ලෙන් එළියට එන්ඩ ඕනෑ කියන එක.මොකද අපට අපේ අනන්‍යතාවක් තියෙනවා.ඒ රැල්ල අපි සොයා ගත යුතුයි.“

කලක් ලංකාවේ දෙමළ චිත්‍රපට රැසක් හැදුණා.සිය අනන්‍යතාව සොයා යන කිංග් රත්නම් ඒ පිළිබඳ පුළුල් ගවේෂණයක යෙදුණා.

‘1976 කෝමාලිගල් නමින් අපේ දෙමළ චිත්‍රපටයක් අති සාර්ථකව තිර ගත වෙලා තිබිණා.

මේක එස්.රාම්දාස් ලියපු ගුවන් විදුලි නාටකයක් ඇසුරෙන් තමයි හදලා තිබුණේ.මේකේ සිනමාකරණය ගැන මම මුකුත් කියන්නේ නෑ.හැබැයි ඒක හදලා තියෙන්නේ ලංකාවේ ෆෝමියුලා එක විධියට.අපේ අනන්‍යතාව තියලා.මේක මගේ වෑයමට විශාල බලපෑමක් වුණා.අනික් මම අසීමිතව චිත්‍රපට නරඹන්නෙක් හැටියට චැප්ලින් ගැන විශේෂ අවධානයක් තිබුණා.චැප්ලින් ගේ කියමනක් තියෙනවා.ජීවිතය සමීප රූපයේ දී ඛේදවාචකයක්.දුර රූපයේ දී විහිළුවක් කියලා.  (Life is tragedy in close-up.comedy in long shot) මගේ පෞද්ගලික ජිවිතයේ මෙන්ම ජන ජීවිතය විමසන කොට මට ඒක ඇත්ත කියලා වැටහුණා.

කෝමාලිගල් හා කෝමාලි කිංග්ස් අතර කිසියම් සම්බන්ධතාවයක් තිබිණිද ?

‘අපොයි නෑ.ඒක අපේ සිනමාවේ ස්වර්ණමය යුගයේ චිත්‍රපටයක්.ඒ නමත් මගේ නමෙනුත් කොටසක් අරං මම අලුත් කතාවක් ලිව්වා“

කෝමාලි කිංග්ස් චිත්‍රපටයට පාදක වනුයේ ලංඩනයේ ජිවත් වන පවුලක් ලංකාවට පැමිණිමත් සමඟ සිදුවන සිද්ධි දාමයකි. මිනිසුන්ගේ ජිවිතය බලාපොරොත්තු මේ සියලු සිදුවීම් මැද හැල හැප්පිම් මුදල් හා දිවිය පසුපස හඹා යන බලාපොරොත්තු පිරි මිනිසුන ගේ සිදුවීම් කිංග් සිය චිත්‍රපටය හරහා උත්ප්‍රාසයෙන් යුතුව අපට ගෙන හැර දක්වයි. සිනමා කෘතිය අතිශය විශිෂ්ට තිර නාටකයකින් යුක්තය. ඉතා සියුම් නූලකින් ගැට ගසන තිර නාටකයේ එක් අත් වැරැද්දක් සිදුවුවහොත් සමස්ත සිනමා කෘතියම ඉස්මතු කරන හාස්‍ය බිඳ වැටෙනු නිසැකය.

“මා කිසි විටෙකත් සිනමාකරණය හදාරා නැහැ.එසේ හදාරන්නට අවස්ථාවක් තිබුණෙත් නැහැ.චිත්‍රපට නැරඹීම තමයි මගේ අභ්‍යාසය.ඒ වගේම මම සරල පුද්ගලයෙක්.පිස්සු කෙළින පොරක්.හැබැයි මම හිතුවා කතාව චරිත එක්කම මතු වන්න ඕන කියන කාරණාව.මේ තිර නාටකය 13 වතාවක් සකස් කළා.එයින් පසුවයි මම චිත්‍රපටයට සූදානම් වුණේ.මගේ සිනමා කෘතියේ පිට කොන්ද තමයි එහි තිරනාටකය කියන කාරණාව මම පිළි ගන්නා දෙයක්.“

චිත්‍රපටයේ එක් අවස්ථාවක් මඩකලපු සංචාරය.මේ කිංග් ගේ ළමා වියේ දුටු මඩකලපුවට ආපසු යාමක් ද ?

මඩකලපු කියන්නේ මගේ දෙවැනි ගම වගේ.අපි අසරණ වෙලා එන කොට අපිට කන්ඩ බොන්ඩ දුන්නේ මඩකලපුවේ මිනිස්සු..සමහර විට චිත්‍රපටයට එහෙම වෙන්ඩ ඇති“.කිංග් කියන්නේ සිනහවෙමින්.අපෙන් තවත් ප්‍රශ්නයකි.

චිත්‍රපටයේ හැටියට පුංචි ආදර කතාවකුත් මඩකලපුවේ තිබුණාද ?

පිළිතුර මහ හඬින් හිනැහීමකි.

‘ආදර කතා ඇත්තෙත් නෑ.නැත්තෙත් නෑ.‘

චිත්‍රපටය පුරා දිස් වන තවත් වැදගත් ලකුණක් නම් නළු නිළියන් ගේ රංගනයයි.ඉත නූලට රූලට වියමනක් සේ ගෙන එන හාස්‍ය සිදුවීම් පෙළක එම රංගනය අත්‍යවශ්‍ය වෙයි.එහි පරම්පරා හතරක නළු නිළියන් රඟති.

‘මේ චිත්‍රපටයේ හදද්දි ඉන්ඩියන් ආටිස්ට් ලා ගේමු කියලා සමහරු යෝජනා කළා.මම බැහැයි කිව්වා.මේ චිත්‍රපටයේ වැඩ කළ සියලු දෙනාම ලාංකිකයෝ.අලුත් නළු නිළියන් වගේම පළපුරුදු නළු නිළියන් චිත්‍රපටයට දායක වුණා.අපි දින සියයක් පූර්ව නිෂ්පාදන කටයුතුවල යෙදුණා.අලුත් නළු නිළියන් සමඟ වැඩ මුළු කළා.මේ කටයුත්තේ දී ප්‍රියන්ත සිරිකුමාර විශාල උදව් කළා.(චිත්‍රපටයේ ප්‍රියන්ත රගපානුයේ අජිත් අය්යා නම් දාමරිකයා ගේ චරිතයයි.එහි එන දෙමළ නොදනනා එකම චරිතය ද එයයි.) චිත්‍රපටයේ රඟපාද්දි මේ ආධුනිකයන් වගේම පළපුරුදු නළු නිළියන් හරි හරියට එක් වුණා.එදා චිත්‍රපටය නැරඹු මාලිනි ෆොන්සේකා මැඩම් මගෙන් ඇසුවේ මේ ළමයි කොහෙන්ද හොයා ගත්තේ ඔවුන් කැමරාව ඉදිරියේ හරි රිලැක්ස් කියලා.

ඒ වගේම මම නියමිත මිනිස්සු නියමිත චරිත වලට යෙදෙව්වා.ඒ අය එතැනදි හරි පහසු වුණා.අපි චිත්‍රපටය රූප ගත කරන්න දින තිහක් ප්ලෑන් කරලා.දින විසි හයෙන් ඉවර කළා.රුප ගත කරන්නට කළින් හැම රූප රාමුවක් පිළිබදවම අපි සම්පූර්ණ භූගෝලාත්මක විග්‍රහයක් ඇඳ ගත්තා.එය සාමාන්‍ය ස්ටෝරි බෝඩ් ශෛලියටත් එහා ගිය එකක්. මම මගේ මුල්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ එහි රඟපාමින්.චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂගේ සිට සියලු දෙනා ඉතා කැපවීමෙන් කටයුතු කළා. ගැටලු මතුවුණේ පසු නිෂ්පාදන වලදී.ඉන්දියාවේ නම පසු නිෂ්පාදන ක්‍රමය හඳුන්වන්නේ මස් ටික මැෂිමට දැම්මාම සොසේජස් එනවා කියලා. එහෙත් අපට තවමත් එහෙම පුරුද්දක් නැහැ.මේ නිසා යම් ගැටලු මතුවුණා.“

ලංකාවේ දෙමළ චිත්‍රපටයක් කෙසේ වෙත් සිංහල චිත්‍රපටයක් පවා නිසි ලෙස අවබෝධයකින් යුතුව ඇරඹිම එක්තරා අවදානමක්. කිංග් රත්නම් ඒ අභියෝගය ජය ගන්නේ මෙහෙමයි.

‘පළමුවැනි කාරණය තමා කවුරු හරි ඒ අඩිය තියන්ඩ ඕනෑ කියන එක.මේ වැඩේ පටන් ගන්න කොට විස්වාස කරන්ඩ මගේ අතේ තිබුණේ රුපියල් විස්සයි.2015 අවුරුද්දේ.මම ප්‍රගති සැලසුමක් හැදුවා.අපේ අයවැය කොපමණද ?අපේ ශාලා කොපමණ ද?‍ඒවායේ ආසන හා ආදායම නොපමණ ද මේ වැය පුරවන්න කොපමණ සීට් පුරවන්න ඕනැද යනුවෙන්.“

කොහොම උණත් කෝමාලි කිංග්ස් චිත්‍රපටය සඳහා ආයෝජනය කරන බොහොමයක් මෙරට ව්‍යාපාරික කේෂත්‍රයේ නම් දැරූ කිහිප දෙනෙක්. එය කිංග් ගේ අභිලාෂය සාර්ථක වීමට හේතු වාණා නිසැකයි.

‘මා කලින් ඊශ්වරන් සමාගමේ නිර්මාතෘ වී.ටී.ළුම්.දේවනායගම් මහතා ගැන වාර්තා චිත්‍රපටයක් කරලා තිබුණා.එහි දී ගනේෂ් දේවනායගම් මහත්තයා මේ චිත්‍රපටයට මුලින් එකග වුණා.ඔහුගේ මිත්‍රෙයක් තමා සිලොන් තියටර්ස් සමාගමේ සභාපති සෙල්ව ස්කන්ධන් .ඔහුගේ මිත්‍රෙයක් සිනමාස් අධිපති ජී.පද්මරාජ්,ඒ වගේම චිත්‍රපටයට වැඩිම ආයෝජනය කළේ ධාරිණී රාජසිංහම්.ඇය ධර්මසේන පතිරාජ සර් ගේ පොන්මනි චිත්‍රපටයේ නිෂ්පාදකගේ ලේලි .ඇය හැමවිටම අපේ ලංකාවේ අනන්‍යතාව තිබෙන චිත්‍රපටකරණය ගැන කතා කරන කෙනෙක්“.

චිත්‍රපටය හැදුවාට කටයුතු ඉවර වන්නේ නැහැ.තිර ගත කරවීම සෙල්ලමක් නොවේ.තරග කරන්නට වන්නේ ඉන්දියානු චිත්‍රපට එක්කයි.

‘ඔව්.කෝමලිගල් එන කොට ඒ කාලේ සංස්ථාව කරන්නේ ඉන්දියානු චත්‍රපට නවත්තලා ඒකට ඉඩ දුන් එක.දැන් එහෙම කරන්න බෑ.එහෙම බලාපොරොත්තු වෙන්නත් බෑ. ප්‍රායෝගිකත් නෑ.හැබැයි කවුරුහරි පටන් ගන්ඩ ඕනෑ. අපි නොකළොත් කවුද පටන් ගන්නේ කියන හැඟිම මට තිබුණා.අනික මේ චිත්‍රපටයට දායක වුණ තරුණ පිරිස. තිරුක්කෝවිල් කියන්නේ මඩකලපුවේ පුංචි ගමක්.ඒ වගේම කොළඹ කොටහේනේ දි හම්බ වුණ පිරිස ඔවුන් හැමෝටම උනන්දුවක් තිබුණා .අපේ යමක් කරන්න.අපේ දෙමළ සිනමාවට.කවුරුහරි නායකත්වය ගන්ඩයි වුවමනා වුණේ‘

කෝමාලි කිංග්ස් චිත්‍රපටයට දායක වන බහුතරයක් සිංහලය.මෙරට සමාජ සංහිදියාව පිළිබඳ පුළුල‘ කතිකාවක් සිනමාකෘතිය ඇතුළේ ගැබ්ව තිබේ.ඒ එහි කටය.තු කරන පිරිස අතර එකමුතුව නිසාය.

‘මේ චිත්‍රපටය ඇතුළේ තියෙන්නේ අපේ ජීවිතය.කඳුළු ලේ දහදිය ඔය කියන ඔක්කොම චිත්‍රපටය ඇතුලේ තියෙනවා.අපි චිත්‍රපටය අතරේ ගහගත්තා බැණ ගත්තා.ප්‍රශ්න තිබුණා.මොකද පිරිස 150 ක් විතර එයින් සියයට අසූ පහක් සිංහල.ඒකේ ප්‍රතිඵලය තමයි සාර්ථක චිත්‍රපටයක්වීම.අපට සතුටු ටවන දෙයක් ඉතුරු වුණා.”

කිංග් ගේ සහෝදරයා ජූඩ් රත්නම් ඔහු කාන් උලෙළේ සම්මානනීය demon in paradise  කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂ.ඔබ දෙදෙනාගේ සිනමාව එකිනෙකට වෙනස්..

‘ඔව් අය්යයි මායි අපි දෙන්නා පෞද්ගලිකවත් වෙනස්.ආකල්ප අතිනුත් වෙනස්.එයා සීරියස් කෙනෙක්.මගේ ආකල්ප එයට වඩා වෙනස්.‘

හැබැයි ඔබ වසන සමාජයෙන් යුද්ධය පිළිබඳ සිනමා කෘතියක් නොකිරීම ගැන දෝෂාරෝපණ එල්ලවූයේ නැති ද ?

‘මටත් ප්‍රශ්න තිබුණා.හැබැයි මගේ ආකල්ප වෙනස්.මම හිතනවා යුද්ධය පාවිච්චි කරමින් චිත්‍රපට හදන්නේ පෞද්ගලිකව ක්‍රෙඩිට් ගන්ඩ කියලා. වඩා වැදගත් ජනතාවගේ කැමැත්ත දිනා ගන්න චිත්‍රපට හදන එක.ගාමිණී ෆොන්සේකා මාලිනි ෆොන්සේකා ගැන තියෙන ආදරය හිතන්න.ඒකයි වැදගත්.මට ඕන ඒ තැනට යන්ඩ.ඉන්දියානු සිනමා නළු නාසර් මට කිව්වා මගේ චිත්‍රපටය ගැන එක වචනයකින් කියන්න කියලා.මම කිව්වා ඒක අපි දිහා බලල හිනාවෙන්න හදපු කණ්ණාඩියක් කියලා (Its a mirror to laugh at ourselves) මගේ සිනමාව ගැන උත්තරය ඒකයි.අවුරුදු තිහක් විප්ලව කළා නම් යුද්ධ කළා නම් හිනාවෙන්න බැරි ඇයි? මගේ ශෛලිය ඒකයි“.

කිංග් රත්නම් ගේ ඇස්වලට කඳුළු උණන්නට පටන් ගනියි. උස මහත මේ අපූරු මිතුරා ඇතුළේ සිටින්නේ නිරන්තර සිනහවෙන් පිරි පොඩි එකෙක් යැයි අනුමාන කළ හැක.

‘දෙමළ සමාජය ඉන්නේ අතීත මතක සැමරුම් එක්ක. මේ රටට අපි ආදරෙයි.මේ අපි උපන් රට.තුවාල වල කැක්කුම් තිබුණත් මේ මම ජිවත් වන රට. උපන්න රට.මම ඒ රටේ අනාථයක් වත් වහලෙක් වත් නෙවෙයි.බොහොම සැහැල්ලු නිදහස් මිනිහෙක්.“

ඔහුගේ ඇසට නැගුණ කඳුළ දෙස මම මොහොතක් බලා උන්නෙමි.ඔහු සිනමා කෘතිය ඇතුළේ ද මේ ප්‍රකාශනයට ඉඩ හරියි

ඒ අතර වාරයේ ඔහු වචන ගලපන්නේ අතීතාවර්ජනයකටය.

‘මේ චිත්‍රපටය මම මගේ සීයාටත් මගේ දරුවන් දෙන්නටත් තමා තෑගි කළේ.මගේ සීයා එම්.එස්.රත්නම් එයා දෙමළ සමාජයේ එවකට හිටපු ජනප්‍රිය ලේඛකයෙක්.ගුවන් විදුලි ශිල්පියෙක්.ගායකයෙක්.ඒ වගේම කුත්තු විලක්කු චිත්‍රපටයේ වගේම ඉලය නීලා චිත්‍රපටයෙත් ඔහු රඟපෑවා.ඉලය නීලා චිත්‍රපටයේ රගපෑවේ ගාමිණී ෆොන්සේකාත් එක්කයි.‘

එමෙන්ම කිංග් රත්නම් ඔහුට සරසවිය ගෙන එන පත්තර මහ ගෙදර සමග ඇති සබැඳීයාවක්ද හෙළි කරයි.

‘මගේ සීයා ලේක් හවුස් ආයතනටය් හිටපු දැන්වීම් කළමනාකරු.‘

කිංග් රත්නම් මෙයට පෙර අශෝක හඳගමගේ ඉනියවන් චිත්‍රපටයේ ද තිදෙනෙක් චිත්‍රපට මාලාවට අයත් අනිකා චිත්‍රපටයේ ද රඟපෑවේය.ඔහු ගේ සිනමා කෘතිය ගැන ඔබට කිවයුතු දෙය චිත්‍රපටයේ තේමාවේම ඇති කාරණයකි.එහි නියැවෙන වදන් පෙළකි .සරලයි හැබැයි ලොකු සැලැස්මක්. (Simple. but a master plan)
කෝමාලි කිංග් නිර්වචනය කළ හැක්කේ එහෙමය.එය දිගු කලකින් සිනමා කෘතියක නොදුටු ආකර්ෂණයකින් යුක්තය.සිනමාකරුවෙකු තම සිනමාකෘතියට අවංකවීමේ ප්‍රතිඵලය එහි විද්‍යාමාන වෙයි.ඔව්.ඔබ පූර්ණ සිනමා රසාස්වාදයක් අපේක්ෂා කරන්නේ නම් මේ ලංකික සිනමා කෘතිය නැරඹිය යුතුය.