වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




වැඩමුළුවට යන්න වත්තේ පොල්වලවල් කැපුවා

වැඩමුළුවට යන්න වත්තේ පොල්වලවල් කැපුවා

ආනන්ද කුමාර උන්නැහේ

අද බොහෝ අයත් සමඟ වැඩ කිරීම පහසු නැහැ
රඟපෑමට පහසුවක් සැලසුණේ ගැමි ජීවිතයේදි ලැබූ පන්නරයයි

ආනන්ද කුමාර උන්නැහේ කියන නාමය ඔබට නිතරම නොඇසුණත් ඔහුගේ රූපය දුටුමනතින් නම් ඔහුගේ රඟපෑම සිතේ ඇදෙනවාට කිසිම සැකයක් නැහැ. පසුගිය කාලයේ ස්වර්ණවාහිනියේ විකාශය වුණු ප්‍රවීණ අධ්‍යක්ෂ ආනන්ද අබේනායකගේ ‘බැද්දේ කුලවමිය’ ටෙලි නාට්‍යයෙත්, මේ දවස්වල විකාශය වන ‘සහෝදරයා’ ටෙලි නාට්‍යයෙත් ඔහුව දකින්නට ලැබුණු බව අමුතුවෙන් කිව යුතු නැහැ. රංගනයට දක්ෂයකු වූ ඔහු බොහෝවිට ඔබට දකින්නට ලැබුණේ ආනන්ද අබේනායකගේ නිර්මාණවලදියි. සෑම නිර්මාණයකටම රංගනයෙන් සහභාගි නොවන ඔහුගේ ජීවිතයේ වගේ ම කලා ජීවිතයේත් තොරතුරු දැන ගැනීමේ අටියෙන් අප ඔහුව මුණ ගැසුණා. මේ ලිපිය සැකසෙන්නේ ඒ ඇසුරෙන්.

ඔබගේ පවුලේ කිසිවකුත් රංගනයට සම්බන්ධ නැහැ

මා ඉපදුණේ පොල්ගස්ඕවිට හෙරළියාවල කියන ග්‍රාමයේ. මගේ පියා නියැළුණේ ව්‍යාපාරයකයි. මගේ පියාගේ පියා වන අත්තා ගොවියෙක්. මා නිතරම ඔහුගේ පසුපසින් ගොවිතැන් කරන්න ගිය විදිය මට තවම මතකයි. කුඹුරුවල ගොයම් කපලා අවසන් වුණා ට පස්සේ ඒවා පෑගීමේ කටයුතුවලට සම්බන්ධ වී ලැබුව අත්දැකීම් බොහොම අපූරුයි. ඒ වගේ ම ගොයම් කපලා අවසන් වුණු කුඹුරේ, වැහලා වතුර පිරුණාට පස්සේ අපට පෙනෙන්නේ මහ මුහුද වගෙයි. ඒ වතුරේ ඔරු හදාගෙන පදින අපි ගඟට පැනලා පීනන්නත් අමතක කළේ නැහැ. ඒ දවස්වල අද වගේ පිහිනන්න පුරුදු කරන පන්ති තිබුණේ නැහැ. ඒත් අපි පිහිනන්න ඉගෙන ගත්තේ ගඟට පැනලයි. ඒ වගේ අතීතයක් හා බැඳුණු අත්දැකීම් දැන් ඉන්න ළමයින්ට ලබන්න නොහැකි වීම කනගාටුවට කාරණයක්.

ඒ විදියට ගම් පෙදෙස් ජීවත්වීම නිසා ලද අත්දැකීම්ද ඔබ යම් යම් චරිත රඟපෑමට යොදා ගත්තේ?

එදා පටන් ගැමි ජීවිතය හරහා මා ලද අත්දැකීම් ඇසුරෙනුයි එවැනි චරිතයක් ලැබුණොත් රඟපෑවේ. එවැනි චරිතයක් රඟපෑමට අපට පහසුවක් සැලසුණේ ගැමි ජීවිතයේදි අප ලැබූ පන්නරයයි. ඒ දුටු චරිතයි.

ඔබව චිත්‍රපට ශාලාවලට රැගෙන යන්නේ මේ ගම්බඳ පරිසරයේ ඉපදීම නිසා සිතට නැඟුණු අසිරියත්, චිත්‍රපට නැරැඹීමට තිබෙන ආශාවත්ද?

ඇත්තටම අප කුඩා කාලයේ පටන් ගමෙන් ලද අසිරියයි චිත්‍රපට නැරැඹීමට අපව යොමු කරන ලද්දේ. ගමේ මල්ගස් වටේ නොදිව්වත් ඒ හා බැඳුණු සොඳුරු සිදුවීම් රැසක් ගම අරක්ගෙන තිබුණා.

ඔබගේ සිතේ සිනමාව පිළිබඳ විශේෂ ආශාවක් ලියලන්නට හේතු වන්නේ කුඩා කාලයේ තාත්තා සමඟ ගිය ඒ ගමනද?

මගේ සිතේ සිනමාව ගැන ලොකු ආසාවක් ඇතිවීමට හේතුව වන්නේ ඒ කුඩා කාලයේ මා තාත්තා සමඟ චිත්‍රපට නැරැඹීමට ගිය ගමනයි. එලෙස පළමුවෙන්ම මා ඔහු සමඟ ගොස් නැරැඹූ චිත්‍රපටය නම් ‘හාරලක්ෂය’යි. අවුරුදු එකොළහක පමණ කොලුගැටයකු වූ මා ඒ චිත්‍රපටය නැරැඹුවේ වෑතර වැලන්ටයින් හෝල් එකේදී. ඒ හරහා වෙනදා නොවුණු අපූර්ව හැඟීමක් මගේ සිතේ ඇතිවෙනවා. ඒත් සමඟ ම රංගනයට පිවිසීමට කැමැත්ත වඩාත් සිතේ ලියලනවා.

පාසල් යන කාලයේදිත් ඔබ රංගනයට බොහොම උනන්දුවක් දැක්වූ අයෙක්ද?

මා පළමුව පාසල් ගියේ පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ කනිෂ්ඨ විද්‍යාලටයි. ඊට පසුව පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වී ඉගෙන ගත්තා. එහිදි වාර අවසානයේ සිදු කළ විවිධ ප්‍රසංගවලදී ඉදිරිපත් කළ නාට්‍යවල රඟපෑවා. ඒ හරහාත් රංගන ශිල්පියකු වීමේ ආශාව තවත් වර්ධනය වුණා.

කුඩා කාලයේ පටන් ම ඔබගේ සිතේ ඉපදෙන්නේ කවදා හරි රංගන ශිල්පියකු වනවා යන අදහසද?

රංගන ශිල්පියකු වීමටයි මා කුඩා කාලයේ පටන් ම අධිෂ්ඨාන කරගෙන සිටියේ. ඒ සඳහා අනුපාන සැපයූ තවත් බොහෝ දේ ගමේ නිර්මාණය වී තිබුණා. ඒ ගමේ නිතර සිදු වූ තොවිල් කටයුතුයි. ගමේ තොවිලයක් තිබුණේ යම් තැනකද මමත් ඒවා නැරැඹීමට යන්නට අමතක කළේ නැහැ. ඒ හරහා අපූරු අත්දැකීම් රැසක් ලැබීමට මට හැකියාව ලැබෙනවා.

රංගනයට පිවිසීමේ මුල්පියවරක් විදියටයි ඔබ එකල වූ වැඩමුළුවලට සහභාගි වීමට සිතන්නේ

ඔව්. ඒ දවස්වල තිස්ස ඩයස් කියන මහත්තයා පිටකොටුවේ බෞද්ධ මන්දිරයේ නාට්‍ය වැඩමුළුවක් කළා. එහිදි ඔහු ඇතුළු පිරිස සුමඟ කලා පීඨය කියලා පීඨයකුත් හදාගෙන සිටියා. ඊට පස්සේ වත්තල පල්ලියේ නාට්‍ය වැඩමුළුවකටයි මා සම්බන්ධ වුණේ. එහිදි ජයලාල් රෝහණ, ලාල් ප්‍රේමරත්න, ලුවිස්ටන් ජූඩ්, ඇතුළු අපි කට්ටියගේ එකමුතුවෙනුයි ඒ කටයුත්ත සිදුවුණේ. මේ විදියට වැඩමුළු රැසකටම සහභාගි වෙමින් සිටින විටදියි මට මගේ රඟපෑම ඉදිරිපත් කිරීමට පළමු ටෙලි නාට්‍යය ලැබෙන්නේ.

ඊට පෙර ඔබ වැඩමුළුවලට යන්න මුදල් එකතු කර ගන්නේ වෙනස් ම විදියකට නේද?

ඒ දවස්වල වැඩමුළුවකට යන්නට මගේ අතේ මුදල් නැහැ. ඒ සඳහා තාත්තාගෙන් මුදල් ඉල්ලූ පසුව, මගෙන් මොකක් හෝ වැඩක් කර ගැනීමෙන් පසුවයි ඔහු මට මුදල් ලබාදෙන්නේ. සමහර විට මා මුදල් ගැනීම සඳහා පොල්වලක් කැපිය යුතුයි. නැත්නම් පොල්ගසක් වටේ කෙටිය යුතුයි. වැඩමුළුවට යන්න තිබෙන ආසාව නිසාම මා තාත්තා දෙන ඒ කටයුත්තේ නියැළුණේ බොහොම කැමැත්තෙන්.

ඔබගේ මෑණියන් ඒ සඳහා සහයෝගය ලබාදුන්නේ නැද්ද?

තාත්තාගෙන් පසුව මා මුදල් ඉල්ලා ගන්නේ අම්මාගෙන්. ඇගෙන් මුදල් ඉල්ලා ගැනීමේදී තාත්තාගෙන් මෙන් විවිධ වැඩකටයුතු ඈ මගෙන් ගන්නේ නැහැ. වයස අසූ ගණනක් වන ඈ අදටත් මගේ රංගන කටයුතුවලදි සපයන්නේ දිරියක්.

මේ සියලු කැප කිරීම් අතරයි ඔබට ඔබගේ පළමු රංගනය සඳහා ඉඩකඩ සැලසෙන්නේ

මා මුලින්ම ටෙලි නාට්‍යයකට රංගනයෙන් සහභාගි වුණේ 1987 සුගත් සේනාරත්න මහත්තයාගේ ‘මවකගේ ගීතය’ ටෙලි නාට්‍යය සඳහායි. එතුමා මේ වනවිට ජීවතුන් අතර නැතිවුණත් ගෞරව පූර්වකව සිහිපත් කළ යුතු කෙනෙකු විදියටයි මා ඔහුව දකින්නේ. එතැනින් පසුව දිගින් දිගටම මට ටෙලි නාට්‍යවල රඟපෑමට අවස්ථාව හිමි වෙනවා. ඒ අතර තක්සලාව, අප්පච්චි, මේ වසන්ත කාලයයි ඇතුළු ටෙලි නාට්‍ය රැසක් ම ඊට අයත්. මේ වනවිට ටෙලි නාට්‍ය තිහකට වඩා වැඩි සංඛ්‍යාවකට මගේ රංගන දායකත්වය ලබාදී තිබෙන බවත් පැවසිය යුතුයි.

ඔබගේ ගමේ අවට සිටි හිතමිතුරන් අද වනවිට ක්ෂේත්‍රයේ නමක් ඇති කර ගත්ත පිරිසක් බවට පත් වී තිබෙනවා නේද?

ඒ පිරිස අතර සරත් කොතලාවල, ධර්මප්‍රිය ඩයස්, චාමික හත්ලහවත්ත, කළණ ගුණසේකර, මලික් පීරිස්, රුවන් මදනායක, රංග සමරකෝන්, ඉන්ද්‍රපි‍්‍රය, බනුර මලික් ආදී අය සිටියා. ඔවුන් සමඟ මා වේදිකා නිර්මාණවලට පවා දායක වුණා. අප අතර නාට්‍ය ගැන, චිත්‍රපට ගැන විවිධ කතාබහ ඇතිවුණා. අප සියලුදෙනාම ඒ නිර්මාණ නැරැඹුවා.

ඔබ වැඩිපුරම රඟපාන්නේ ආනන්ද අබේනායක අධ්‍යක්ෂවරයාගේ නිර්මාණවලද?

ඇත්තටම ඔව්. මේ වනවිට මා ඔහුගේ පෝය නාට්‍ය පහළොවක පමණත්, දිගු නාට්‍ය සියල්ලගේ ම වගේ රඟපෑවා.

ඊට අමතරව රංගනයෙන් සහභාගි වූ නිර්මාණ රැගත් අධ්‍යක්ෂවරුන් කවුද?

ලක්ෂමන් විජේසේකර, අජිත් ලොකුගේ, දී.ග සෝමපාල, සමීර හසුන් යන නිර්මාණකරුවන්ගේ ටෙලි නාට්‍යවලට මට රංගනයෙන් සම්බන්ධ වීමට අවස්ථාව හිමිවුණා. ඒ වගේ ම සුනිල් කොස්තා, ජයලත් මනෝරත්න, ක්‍රිෂ්ටි ෂේලටන් ප්‍රනාන්දු යන මහත්වරුත් ඒ අතර ඉන්නවා. නාමල් ජයසිංහත් මට එලෙස රංගන කටයුතුවලදි උදවු කළ අධ්‍යක්ෂවරයෙක්.

ඔබ වේදිකාව, පුංචි තිරය, සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයේම සැරිසැරූ රංගන ශිල්පියෙක්. ලැබූ සම්මාන මොනවාද?

2005 රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම සහය නළුවා විදියට මට සම්මාන ලැබුණේ ‘දාස මල්ලිගේ බංගලාව’ වේදිකා නාට්‍යයටයි. රයිගම් සම්මාන උලෙළේදී ජූරියේ කුසලතා සම්මානයක් හිමිකර ගැනීමටත් මා සමත් වුණා.

සිනමාවේදී රංගනයෙන් දායකත්වය දක්වන නිර්මාණ මොනවාද?

ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපට කිහිපයකටම මා රංගනයෙන් දායක වුණා. ඒ අතර පාලිත පෙරේරා කියන්නේ කුඩා කාලයේ පටන් ම එකට සිටි ගමේ යහළුවෙක්. ඔහුගේ චිත්‍රපටයේ රඟපෑවා. ඒ වගේ ම ඉන්දික පර්ඩිනැන්ඩු, ප්‍රදීප් ධර්මදාස, ජගත් මනුවර්ණ, ගාමින්ද හා සුනෙත්, මලිත් හෑගොඩගේ ඇතුළු නිර්මාණකරුවන්ගේ චිත්‍රපට රැසක රඟපෑමෙන් සහභාගි වුණා.

ඔබගේ රුව රසිකයන්ට ඉඳහිට දකින්නට ලැබෙන්නේ තෝරාබේරාගෙන නිර්මාණවලට දායක වන නිසා ද?

අද බොහෝ අයත් සමඟ වැඩ කිරීම පහසු නැහැ. ඒ වගේ ම මෙගා නාට්‍යවල රඟපෑමට මගේ කිසිම කැමැත්තක් නැහැ. මා ඉහතින් සඳහන් කළ නිර්මාණකරුවන් සමඟ වැඩ කටයුතු කිරීමට පහසුයි. අනෙක් කාරණය නම් ඔවුන් නිර්මාණයක් කළොත් ඒවා යම් දෙයක් ගත යුතු නිර්මාණයි. ඒ නිසා ඒ නිර්මාණවල තිබෙන චරිත රඟපෑමේදී යම් දෙයක් කළ හැකි චරිත ලැබීමත් විශේෂත්වයක්.

ඔබ දිගටම රංගන ශිල්පියකු විදියට අපට දකින්නට ලැබේවිද?

රංගනයට අමතරව මා වෙනස්ම වෘත්තියක් කරගෙන යනවා. ඒ මගේ දක්ෂතාවක් වුණු චිත්‍ර - මූර්ති ඇඹීමේ හැකියාව හරහායි. රංගනය නිසා ඒ හැකියාව වර්ධනය කර ගැනීමට අවස්ථාව නොලැබුණත් නිවෙස්වලට අවශ්‍ය විසිතුරු බඩු ආදී විවිධ දේ නිර්මාණය කිරීමයි මේ හරහා මා කරගෙන යන්නේ. සඳකඩපහන්, මුරගල් ආදී දේ නිර්මාණය කරන වැඩපොළක් මා සතුයි. එහි සිදුවන කටයුතුවලිනුයි මා ජීවිතය රැගෙන යන්නේ.

පවුලේ සිටින අනෙක් අයගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?

මට සිටින්නේ සහෝදරයකු හා හෝදරියකුයි. ඔවුන් කිසිවකුත් කලාව පැත්තට සම්බන්ධ නැහැ. මා විවාහකයි. බිරිය මානෙල්. ඇගෙන් ලැබෙන සහයෝගය අනුවයි මගේ රංගන කටයුතු හා ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ. මට දියණියක් පමණයි සිටින්නේ. ඈ නෙළුම්. ජත්‍යන්තර පාසලක ඉගෙන ගන්නා ඈ මෙවරයි සාමාන්‍ය පෙළ විභාගය ලිව්වේ.