වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




බ්‍රැන්ඩෝ ගේ ජීවිතය වෙන පොත්වල නැහැ...

බ්‍රැන්ඩෝ ගේ ජීවිතය වෙන පොත්වල නැහැ...

මාලන් බ්‍රැන්ඩෝ අපදානය සිංහලට ලියූ එම්.ඩී මහින්දපාල සමඟ කරන ලද සාකච්ඡාව

බ්‍රැන්ඩෝ ගැන ඔබේ මතකය කළු සුදු එකක් විය හැකිය. එක්කෝ තරුණ කම ගිලිහුණු එකක් විය හැකිය. ලංකාවේ තරුණයන් නොවන ඕනෑම කෙනෙක්ගේ මනස ඉහත ආකාර දෙකෙන් එකක් හෝ දෙකම හෝ විය හැකිය. අදට පරම්පරා කිහිපයකට පෙර තරුණයන් සෙලියුලොයිඩ් පට වලින් බ්‍රැන්ඩෝගේ විවිධ වේශයන් අඳුර තුල සූත්‍රිකා එළියෙන් බලද්දී අද පරම්පරාවට ඔහු ආගන්තුක පැවැත්මක් සහිත ජිවිතයක් බවට පත්විය. නමුත් ඔහුගේ පැවැත්ම හා බැඳුණු කාරණයන් ලෝකයේ හෝ ලංකාවේ චූල සිද්ධි මාලාවක් වූයේ නැත. බ්‍රැන්ඩෝ ගැන සොයන්නන් වඩ වඩා උනන්දු වූයේ ඔහුගේ රඟපෑමේ ජිවිතයට වඩා ඉන් එළියට ගොස් කරන ලද බරපතළ සමාජ මැදිහත්වීම්ය.

එදත් අද දවසේත් බ්‍රැන්ඩෝ රඟපෑ ගෝඩ්ෆාදර් පළමු චිත්‍රපටයේ දොන් කොර්ලියෝන් චරිතය ලංකාවේ වැඩියෙන්ම කතාබහ වුණු බ්‍රැන්ඩෝ චරිතය බවට විවාදයක් නැත. බ්‍රැන්ඩෝ ගේ චරිතය ගැන ලංකාවේ කෙස් පැහුණු හා නොපැහුණු පරම්පරා දෙක යම් අදහසක් පළ කරනවානම් ඒ පළ කරන්නේ ගෝඩ්ෆාදර් 1 චිත්‍රපටයේ දොන් කොර්ලියෝන් ගේ චරිතය ගැනය. ලේඛක කොපෝලාගේ පූසෝගේ සහ මාලන් ගේ සුසංයෝගය ඒ තරමටම බලවත් එකකි.

එනමුත් පරම්පරා භේදයකින් තොරව වඩ වඩා කුතුහලයකින් කරුණු සෙවීමකට භාජනය වූවෙකි බ්‍රැන්ඩෝ. විටෙක ඔහු තමන්ට ලැබෙන ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කරයි. එසේ රසික සමාජ කලඹන ඔහු තවත් විටෙක කතා කරන්නේ ළමා අයිතිවාසිකම් ගැනය. තම ජීවිතය තුළ රාමුවක් හෝ නිෂ්චිත හැඩයක් හෝ රාමුවක් පවත්වාගෙන නොගිය මහා තරුවක් ලෙස බ්‍රැන්ඩෝට චිර ප්‍රසිද්දියක් ඇත.

ඒ කෙසේවුවද බ්‍රැන්ඩෝ ගැන කියවන්නට ඕනෑ තරම් මූලාශ්‍ර ඇත. නමුත් බොහෝ මූලාශ්‍ර වලට බ්‍රැන්ඩෝ පුද්ගලිකවම තම අප්‍රසාදය පළ කර තිබීමත් සැලකිය යුතු කරුණකි. හෙතෙම එම මූලාශ්‍ර වලට එරෙහිව තමන්ගේ මතය ප්‍රකාශ කළේ ඒවා පළවී බොහෝ කලකටත් පසුවය. එහි එක් සුවිශේෂයක් වූයේ ඔහුගේ මහා බලවත් තරු ගුණය නිසා ඔහු හා බැඳුණු බොහෝ කට කතා එමගින් ඔහු ප්‍රතික්ෂේප කිරීමට යෙදුණු නිසයි. ඔහු ඒවාට කීවේ මිත්‍යාව කියාය.

මේ මහා ඇමරිකන් සම්ප්‍රදාය, පෞරුෂය ගැන සිංහලයෙන් කියවන්නට දැන් මහඟු අවස්ථාවක් ඇත. 1990 දශකයේ රොබට් ලින්ඩ්සේ සමඟ මාලන් බ්‍රැන්ඩෝ ලියා පළ කළ ඔහුගේ අපදාන ග්‍රන්ථය ‘SONGS MY MOTHER TAUGHT ME’ සිංහලයට පරිවර්තනය වන්නේ ‘අම්මා මට කියා දුන් ගී’ යනුවෙනි. සේරී ප්‍රකාශනයක් ලෙස එළිදැක්වුණු මෙම අපදාන පරිවර්තනය පිටු 584 කින් සමන්විත වේ.

පරිවර්තකයා සිනමාවේ හොඳීන්ම දන්නා එම්. ඩී. මහින්දපාලයන් ය. සම්මානලාභී විශිෂ්ට කැමරා අධ්‍යක්ෂවරයෙක් මෙන්ම සිනමාව පිළිබඳ ගුරුවරයෙක්ද වන මහින්දපාලයන් විශිෂ්ට සිනමා පරිවර්තකයෙක්ද වේ. ඔහුගේ ග්‍රන්තකරණ නාමාවලියේ බ්‍රැන්ඩෝ අපදානය 8 වැන්නයි. සිනමාව ගැන බහුල අත්දැකීම් ඇති මහින්දපාලයන් සමඟ අප සංවාදයකට එළඹුණේ බ්‍රැන්ඩෝ චරිතය ඔහුට බලපෑ අන්දම ගැන යම් අදහසක් ගන්නටය. එය සිංහල අපදානයක් වීමට බලපෑ හේතුකාරක ඉන් මතු වනු ඇත.

මා හිතන විදිහට ඔබටත් බ්‍රැන්ඩෝ ව සමීප වන්නට ඇත්තේ ගෝඩ්ෆාදර් චිත්‍රපටයෙන් වන්නට ඇති?

1970 දශකයේ අපි තරුණයෝ. ගෝඩ්ෆාදර් චිත්‍රපටය අපට ඒ කාලෙදිම අපට බලන්න ලැබුණා. ඇත්තෙන්ම බ්‍රැන්ඩෝ ගේ චිත්‍රපට වලින් මම කැමතිම රංගනය තිබුණේ ගෝඩ්ෆාදර් චිත්‍රපටයේ. ඒ වගේම ‘ඔන් ද වෝටර් ෆ්රන්ට්’ වගේ චිත්‍රපටවල ඔහු කරන ලද රංගනයටත් මම කැමතියි.

ඔබේ පරම්පරාව ඇතුලේ ‘ගෝඩ්ෆාදර්’ කියන්නේ බොහොම වික්‍රමාන්විත එකක් වෙන්න ඇති නේද?

ඇත්තටම කිව්වොත් හොලිවුඩයේ තරු ගුණය කියන දේ නේ විශාල. සිනමාව පැත්තෙන් බැලුවොත් වඩාත් දක්ෂ මොන සිනමාකරුවන්ද කියලා ඒ යුරෝපීය සිනමාකරුවන් සහ ඒ සිනමාව තමයි. ඉතින් අපේ පරම්පරාවට ගොඩක් පරිශීලනය කරන්න ලැබුණා ඒ සිනමාව. ඒ මොනවා තිබුණත් ගෝඩ්ෆාදර් චිත්‍රපටය අපේ පරම්පරාවට ලොකුවටම අල්ලලා ගිය චිත්‍රපටයක්.

කෙනෙක් බ්‍රැන්ඩෝ දිහා උවමනාවෙන් බලං ඉන්නට තරම් ඔහුගේ තිබුණ විශේෂත්වය මොකක් කියලද ඔබ හිතන්නේ?

මම නම් හිතන්නේ ඔහුට තිබුණා ඉතා බලගතු කැරිස්මාවක්. එහෙමත් නැත්නම් අනුහසක්. ඒ දේට මම හිතන විදිහට ඔහුගේ මුහුණ බලපෑවා. ඒක හරි විශේෂයි. ගෝඩ්ෆාදර් චිත්‍රපටය ගන්නකො. ඒ චිත්‍රපටයේ ඔහු රඟපාද්දී ඔහුට වයස අවුරුදු හතළිස් ගණනක්. නමුත් ඔහු කරන චරිතය වයසක කෙනෙක්ගේ එකක්. එතැනදී අපට කියන්න බැහැ ඒ චරිතයේ අප දැකපු බ්‍රැන්ඩෝ ඉන්නවා කියලා. ඒ තරමටම ඔහු විශේෂයි. ඔහුගේ පෞරුෂය සහ කරපු කියපු දේ ගොඩක් පසුකාලීනව ගොඩක් බලපෑවා ඔහුව අවධානයට පාත්‍ර වෙන්න.

හොඳයි. මේ ඉංග්‍රීසි අපදාන ග්‍රන්ථය ඔබට ලැබෙන්නේ කොහොමද?

මීට අවුරුදු එකහමාරකට කලින් අපේ සිනමාකරුවෙක් වන සත්‍යජිත් මාඉටිපේ මුණගැහුණු වෙලාවක ඔහු මට මේ පොත දුන්නා. ඔහුට ඒ පොතේ ඔරිජිනල් එකක් තිබුණා. ඒකෙන් ඡායා පිටපත් කරලා බයින්ඩ් කරලා පිටපතක් ඔහු මට තෑගි කළා. ඒ පොත කියවන යද්දී මට තේරුණා මම ඉතාමත්ම තෘප්තිමත් බව. ඒ නිසා එක හුස්මට මම පොත කියෙව්වා. පස්සේ මම තීරණය කළා මේක පරිවර්තනය කරන්න. කැත්ලින් ජයවර්ධන කියන ලේඛිකාව තමයි මේ පොතේ ප්‍රකාශන වගකීම බාරගත්තේ.

ඔබ පොත පරිශීලනය කරද්දී ඔබට හෙළිවෙච්ච ඔහුගේ ඇතුළාන්තය මොකක්ද?

මට දැනිච්ච දේ තමයි ඔහු දිගින් දිගටම උත්සහ කරනවා ජීවිතය කියන්නේ මොකක්ද කියන දේ විග්‍රහ කරන්න. ඔහු කිසි තැනක කියන්නේ නැහැ ජිවත් වෙන විදිහ මේකයි, මේක තමයි ජිවිතේ කියලා කියන්න. ඒ කතාව කියවීමේදී පුද්ගලයා ගැන කුතුහලයක් ඇති වෙනවා. නමුත් මම හිතන්නේ එතන පහන් සංවේගයත් තියෙනවා. බ්‍රැන්ඩෝ වුණත් මේ පොත එක වරම ලියලා ඉවර කළේ නැහැ. ලින්ඩ්සේ විසින් ලියපු දේවල් වරෙක ඔහු සංස්කරණය කළා. කිහිප වතාවක්ම ඔහුගේ අදහස් ඔහුම සංස්කරණය කරලා තමයි මේක පොතක් හැටියට එළියට ආවේ.

ඇත්තටම බ්‍රැන්ඩෝ ගැන ලියපු බොහෝ පොත් ගැන ඔහුට තිබුණේ විශාල ගැටලුවක්?

ඒ ගැටලු හින්දම තමයි ඔහු තීරණය කරන්නේ ඔහුගේ කතාව ඔහුම ලියන්න. ඒ බොහෝ පොත් වල ඔහුගේ ජීවිතය ගැන තිබුණේ නෑ කියලා තමයි ඔහු චෝදනා කළේ. සමහර ග්‍රන්ථ වල තිබුණේ බොරුව සහ ඕපදූප බවත් කුණු රසයක් ඇති ඒවා බවත් කියලා තමයි ඔහු කිව්වේ. නමුත් මම නම් හිතන්නේ අපි අනෙක් අපදාන ග්‍රන්ථ කියෙව්වට අවුලක් නැහැ. මොකද එක පොතක් හෝ එක වාර්තා චිත්‍රපටයක් බලලා අපිට මිනිහෙක් ගැන නිශ්චිත අදහසක් ගන්න බෑනේ. පොදුවේ නොදන්නා දෙයක් තව කෙනෙක් දැනගෙන ඉන්න පුළුවන්. ඒවා පරිශීලනය කරලා සමස්ත අදහසක් ගන්න පුළුවන්.

මාලන් බ්‍රැන්ඩෝ තමන්ගේ ජිවිතයේ යම් කාලයක් ගෙව්වේ මානසිකව රෝගී වෙලා නේද?

ඔහුගේ ජිවිතයේ වෙච්ච යම් යම් සිද්ධීන් ඔහුගේ මනසට දැඩිව බලපෑවා. අනික ඔහු කවදාවත් රංගන ජීවිතය පෞද්ගලික ජිවිතයට ගෙනාවේ නැහැ. ඒ දෙක ඔහුට දෙකක්. ඒ නිසා ඒ දේවල් ලෝකෙට පෙනුණා.

ඔහුගේ චරිතය විශ්ලේෂණය කළාම අපට හිතෙනවා මේ මහා රංගන පෞරුෂයට සිනමාව එපා වුණාද කියලා?

ඔහු සිනමාව වෙනුවෙන් අසීමාන්තික කැප කිරීම් කළා. වරක් ඔහු චරිතයක් වෙනුවෙන් කෙට්ටු වෙන්න දෙහි යුෂ වැඩියෙන් පානය කරලා ලේ වමනය තත්වයක් ඇති වුණා. ඒ වගේ කරපු කැප කිරීම් විශාලයි. නමුත් ඔහු මොකද කියන්නේ? ඔහු කියන්නේ ඔහු රඟපෑවේ සල්ලි හම්බකරන්න තියෙන උවමනාවට කියලා. ඔහු කියනවා එක තැනක ඔහුට පාර අතුගාල ඒ මුදල හොයන්න පුළුවන් නම් ඔහු කිසිසේත් රඟනොපාන බව. ඒ වගේම ඔහු වියදම් ගොඩක් කළා. කාලයක් දූපතක් වෙනුවෙන් කැපවුණා. සමාජ ව්‍යාපාරවල හිටියා.

බ්‍රැන්ඩෝ කියන චරිතයම අහඹු ගොඩක් කියලයි මට හිතෙන්නේ?

ඔහු නිතරම කියන දෙයක් තමයි ඔහු කලාකාරයෙක් නෙවෙයි කියන එක. කොහොමත් ඉතින් කලාකාරයෝ කියන අය අහම්බෙන් බිහිවෙන අයනේ. ඔහුත් ඒ මතයේ හිටියා. ඔහු වුණත් හොඳ කලාවන් අගය කරපු කෙනෙක්. ඔහු හොලිවුඩය නියෝජනය කළත් යුරෝපියානු සිනමාව ඉතා ඉහළින් අගය කළ කෙනෙක්.

බ්‍රැන්ඩෝ ගේ දේශපාලන සංවේදීතාව ගැන සමස්ත ඇමරිකාවම කලඹවන්න ඇති නේද? මොකද ඔහුගේ දේශපාලන ආස්ථානය දැඩියි.

මේ සමාජයේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම් නැහැයි කියලයි ඔහු කියන්නේ. ඔහු රතු ඉන්දියන් ආදී වාසීන් ගැන කතා කළා. ඔවුන්ට වෙන කෙනහිලිකම් වලට විරුද්ද වුණා. කළු ඇමරිකන් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු පෙනී සිටියා. එමෙන්ම වතාවක් ඔහු ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළා. ඒ අතරේ යුනිසෙෆ් සංවිධානයේ විවිධ කටයුතු වලට සම්බන්ධ වුණා. ඉන් පස්සේ එතනින් ඉවත් වුණේ යම් ප්‍රතිපත්තිමය හේතුවක් මත. මොකද ඔහු දුටුවා රටවල් වල දූෂිත පාලකයින් ඔහුගේ අභිමතාර්ථ වළක්වන බව. වතාවක ඔහු සත්‍යජිත් රේ ව මුණගැහෙන්න කල්කටාවට යනවා.

ඔවුන් දෙදෙනා දවසක් වීදියක් දිගේ ඇවිද යද්දී කුඩා දුප්පත් ළමයින් පිරිසක් ඔවුන් දෙදෙනාව වටකොට ගන්නවා යමක් ඉල්ලගන්න. නමුත් සත්‍යජිත් රේ හැකි විගස ළමයින් මග හැර ඉවත් වෙනවා. මේ හැසිරීම බ්‍රැන්ඩෝව පුදුම කරනවා. ඔහු අහනවා සත්‍යජිත් ගෙන් ඇයි ඔබ එසේ කළේ කියලා. එතකොට සත්‍යජිත් රේ කියනවා. මගේ මුළු සේසතම මේ ළමයින් අතර සමානව බෙදුවොත් එක් අයෙක්ට ලැබෙන්නේ සත ගණනක්. ඒ බෙදලත් ආයෙත් මේ ළමයි හෙටත් මේ විදිහටම හිඟා කනවා. මේ ප්‍රශ්නවල අවසානයක් නැහැ කියලයි ඔහු බ්‍රැන්ඩෝට කියන්නේ.

බ්‍රැන්ඩෝ තමන්ගේ අපදානය තමන්ම ලියාගන්න තීරණය කරන්නේ වයස සමඟ එන විඩාපත් ගතිය නිසාද?

එහෙම නිශ්චිත එක හේතුවක් නැහැ. නමුත් ඔහුට වයස අවුරුදු 70ක් වුණාම තමයි ඔහු තීරණය කරන්නේ ඔහුගේ කතාව ලිවිය යුතුයි කියලා. එකට හේතු වුණේ ඔහුගේ සැබෑ ජීවිතය අනෙක් පොත් වල නොමැති වීම. ඔහු ඔහුගේ මිතුරියකට කියනවා මේ අදහස. ඇය තමයි රොබට් ලින්ඩ්සේ කියන ලේඛකයව හඳුන්වා දෙන්නේ. ඔහු තමයි එවකට රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාගේ අපදානයත් රචනා කළේ.

‘.......ග්‍රන්ථයේ ආකෘතිය සකස් කිරීමේදී හා එහි එන වචන, සිදුවීම් හා රූපක ප්‍රබන්ධ කිරීමේදී මාලන්ගේ ජීවිතය මගේ පරිකල්පන ප්‍රිස්මය, අත්දැකීම් හා සිතුවිලි හරහා සියුම් ආකාරයෙන් පෙරා බේරා ගැනීමට මට සිදු විය. මූලික දළ පිටපත හෙතෙම සංස්කරණය කොට නිරවද්‍ය භාවය සහතික කළේය. ඉන් අනතුරුව මතකයට ආ තවත් තොරතුරු, නිරීක්ෂණ හා සංකල්පනා එක් කළේය. පොතේ ඇතුළත් විය යුතු දේ මෙන්ම එසේ නොවිය යුතු දේ ද තීරණය කළේ ඔහුයි...’

රොබට් ලින්ඩ්සේ

‘.... මගේ ජීවිතය යනු පුද්ගලික කාරණාවක් බවත්, ඒ ගැන දැන ගැනීම මගේ පවුලේ හා මා ආදරය කළ අය හැරුණු විට අන් කිසිවකුගේත් රාජකාරියක් නොවන බවත් මම සැමවිටම සිතුවෙමි...’

මාලන් බ්‍රැන්ඩෝ (1924 – 2004)