වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




ධනංජයගේ බිරිය ශෂිනිගේ  පළමු ගීතය

ධනංජයගේ බිරිය ශෂිනිගේ  පළමු ගීතය

* ශෂිනිට සින්දු කියන්න පුළුවන් කියලා මං දන්නවා
* ධනා නිෂ්පාදන ඉදිරිපත් කිරීමක්

වීඩියෝවේ නිෂ්පාදන කණ්ඩායම:
අධ්‍යක්ෂණය - චාමර කාලෝ
කැමරා අධ්‍යක්ෂණය - රංග එස්. බණ්ඩාර
අංග රචනය - ඉන්දික අල්විස්
කොණ්ඩ සැකසුම - අමිල ලියනගේ
ඇඳුම් නිර්මාණය - හිරාන් විජේසේකර, නිල්හාන්, කුෂාන් ජයසිංහ, නාමල් බාලචන්ද්‍ර
නර්තන වින්‍යාසය - ගයාන් ශ්‍රීමාල්
සංස්කරණය - හසිත ජයශංක
විශේෂ ස්තූතිය - සජිත් කොඩිකාර, රෆෙල්ලා ප්‍රනාන්දු, දිනුක ෆොන්සේකා, ශානිකා

‘ඇය ඔබට බාරයි' කියලා ඊයේ රාත්‍රියේ සිට ධනංජය සිරිවර්ධන තම බිරිය වූ ශෂිනිව ජනගත කළා. ඒ ගායිකාවක හැටියට. එතැන් පටන් ඇය කුමක් කරන්නේද යන වග ජනතාව තීරණය කරාවි කියලා ධනා කියනවා.

සමහර විට ශෂිනි රඟපාන්න එන්නත් පුළුවන්. නර්තන ශිල්පිණියක් හැටියට නිර්මාණවලට දායක වෙන්නත් පුළුවන්. ඒක තීරණය කරන්නේ රසික රසිකාවන් කියන දේවල් මත. ශෂිනි මගේ බිරිය වුණාට කලාකාරිණියක් විදිහට ඊයේ සිට ඇගේ භාරකාරිත්වය තියෙන්නේ රසික ජනතාවට.

ඇයි මේ හදිසියේම ඇයව ගායිකාවක් කරන්න හිතුණේ?

ශෂිනිට සින්දු කියන්න පුළුවන් කියලා මං දන්නවා. මම විතරක් නෙවෙයි අපේ පවුලේ අයට මෙන්ම සමීපතමයින්ට ඇගේ ගායන හැකියාව ආගන්තුක නැහැ. ඔය අතරේ අපේ මිත්‍රයකු වන ගායක උදය ශ්‍රී අපේ ගෙදරට ආව ගියා. අපි යෝජනාවක් දැම්මා උදයට ශෂිනිට ගීයක් හදලා දෙන්න කියලා. ඔහු දෙවතාවක් නොසිතා සින්දුව හැදුවා. විශේෂත්වය කියන්නේ පද රචනාවත් ඔහුගේ. ගීතයේ නම දෑසමානේ. උදය හදපු ගීතය ශෂිනිගේ ශෛලියේ නොවුණත් අප එය ශෂිනිට දුන්නා. ඇය මුමුණ මුමුණ ඉඳලා නොබෝ දිනකින් එය රෙකෝඩ් කළා. ඊටත් පසුවයි වීඩියෝව ගැන හිතුවේ.

එම වීඩියෝව ඔබගේ නිෂ්පාදනයක්?

ඔව්. කාලයක් තිස්සේ වීඩියෝ නිෂ්පාදනයක් කිරිමේ වුවමනාව තිබුණා. හැබැයි එම අදහසසේ පළමු පියවර මියුසික් වීඩියෝවක් වේවි කියලා හිතුවේ නැහැ. දවස් දෙකක් රූපගත කිරීම වෙනුවෙන් වැය වුණා. අති විශාල පිරිවැයක් දරමින් දලුගම සරසවි චිත්‍රාගාරය ඇතුළේ සෙට් එකක් හැදුවා. බොහොම මහන්සි වී කාලයක් තිස්සේ කැපවීමෙන් කළ නිර්මාණයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

වීඩියෝවේ කතාන්දරය දිග හැරෙන්නේ කොහොමද?

මමයි බිරියයි විශේෂ අවස්ථාවකදී රෙස්ටුරන්ට් එකකට යනවා. එතනදි මට ගීතයක් ගයන්නට ආරාධනාවක් ලැබෙනවා. මම ඊට එකතු නොවී මගේ බිරියව යවනවා. ඇය සිහින තාරකාවක් පරිද්දෙන් එතැන සෙනඟ මැද ගීතය ගයනවා. ගීතය ඉවර වුණ ගමන් ශෂිනි මා ගාවට එනවා. ඊට පසුව මං කියනවා දැන් මගේ වාරේ කියලා. එතැනින් මතු සම්බන්ධයි.

වීඩියෝව රූපගත කරද්දී වෙච්ච අමතක නොවන සිදුවීම් මොනවද තියෙන්නේ?

මෙහි නිෂ්පාදක මම නිසා හැම රාජකාරියක්ම කෙරුණේ මං හරහා. එහෙම වගකීම් රැසක් ඔළුවේ තියාගෙන මං වැඩ කළේ. එක දවසක් මං තුන් වේලටම කාලා නැහැ. පස්සෙයි මතක් වුණේ කෑවෙ නැහැ කියලා. ඒතරම්ම වැඩ.

දෑසමානේ ගීතයේ පදමාලාව

දෑස මානේ ඔබ ඇවිත් පෙම් හැඟුම් මවනා
මා හදේ දැන් මට හොරෙන් ආදරේ පිරෙනා
මගෙ සිහිනෙම වෙලා ඔබ ඇවිදින් සොයා
ඔය දෑතෙම තියා ගෙනි යන්නේ කවදා

ආකාස ගංගාව ඈතට ඇදී
ඔබ එක්ක යන්නම් වෙලී
රෑ තාරකාවන් සෙමින් අතුරමි
ඔබ එන්න ඒ තරු මඟේ දිගේ
මගෙ සැම දේම වෙලා ඔබ ඉන්නේද බලා
ඔය දෑතම තියා ගෙන යන්නේ කවදා

ඔය දෑස මා දකිනා හැම මොහොතේදී
මා උමතු වී යයි සැනින්
සංසාර සෙවනැල්ල සේ ආ බැඳී
පවසන්න දැන්වත් ඉතින්
මගෙ සෙනෙහේම වෙලා ඔබ එන්නේ ද සොයා
ඔය දෑතෙම තියා ගෙනි යන්නෙ කවදා