වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




බර්ලින් චිත්‍රපට උලෙළේ ර්.ධ්.ඒ ගැන චිත්‍රපටයක්

බර්ලින් චිත්‍රපට උලෙළේ M.I.A ගැන චිත්‍රපටයක්

රන්වලසා රුමේනියාවට...
රටවල් 40ක් නියෝජනයක්
ප්‍රවේශ පත්‍ර ලක්ෂ තුනකට අධික සංඛ්‍යාව විකිණෙති
හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් රිදි වලසා සම්මානය - වෙස් ඇන්ඩර්සන්
චිත්‍රපට 400ක් ප්‍රදර්ශනය කෙරේ

බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙළ ලොව පැවැත්වෙන උත්කර්ෂවත් සිනමා උලෙළ අතරේ ප්‍රධානතම එකක් ලෙස පිළිගැනේ. ජර්මනියේ බර්ලින්හි වාර්ෂිකව පැවැත්වෙන මෙම සිනමා උලෙළ 1951 වසරේ බටහිර බර්ලිනයේදී ආරම්භ වූ අතර 1978 වසරේ සිට එය සෑම වසරකම පෙබරවාරි මාසයේදී පැවැත්වේ. ප්‍රවේශ පත්‍ර ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් විකිණි අවසන් වන මෙම සිනමා උලෙළ ලොව වැඩිම පිරිසකගේ සහභාගීත්වය ලබන සිනමා උලෙළක් ලෙස ද විශේෂ වේ. එහිදී සාමාන්‍යයෙන් චිත්‍රපට 400ක් පමණ ප්‍රදර්ශනය කෙරෙන අතර සිනමා උලෙළ ප්‍රධාන අංශ හතරකින් සමන්විත වේ.

මෙවර එහි 68 වැන්න පසුගිය පෙබරවාරි 15 වැනිදා සිට 25 වැනිදා දක්වා බර්ලින්හිදී පැවැත්විණි. මෙවර සිනමා උලෙළේ ජුරියේ සභාපති ලෙසින් කටයුතු කළේ Run Lola Run, Heaven, Perfume: The Story of a Murderer  වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ටොම් ටයික්වර් විසිනි. සිනමා උලෙළේ ආරම්භ කෙරුණේ වෙස් ඇන්ඩර්සන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන Isle of Dogs සමඟිනි.

මෙවර පැනොරාමා අංශයට රටවල් 40ක් නියෝජනය කරමින් චිත්‍රපට 47ක් ඇතුළත් වූ අතර එයින් චිත්‍රපට 37ක මංගල දර්ශනයන් සහ චිත්‍රපට 16ක් කුළුඳුල් අධ්‍යක්ෂණයන් විය. තරඟකාරි අංශය වෙනුවෙන් චිත්‍රපට 24ක් අතරින් චිත්‍රපට 19ක් තරඟ කළ අතර එයින් ඇඩීනා පින්ටිල් විසින් අධ්‍යක්ෂණය කළ රුමේනියානු චිත්‍රපටයක් වන Touch Me Not චිත්‍රපටය රන් වලසා සම්මානය දිනා ගන්නා ලදී.

ජූරියේ ගෝන්ෆ්‍රී සම්මානය (රිදී වලසා) - Mug (මාගොර්සාටා සුමොව්ස්කා - පෝලන්තය)
ඇල්ෆ්‍රඩ් බියුර සම්මානය (රිදී වලසා) - The Heiresses(මර්සෙලෝ මාර්ටිනෙසි - පැරගුවේ)
හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් රිදි වලසා සම්මානය - වෙස් ඇන්ඩර්සන් (Isle of Dogs)
හොඳම නිළිය වෙන්වෙන් රිදී වලසා සම්මානය - ඇනා බෘන් (The Heiresses)
හොඳම නළුවා වෙනුවෙන් රිදී වලසා සම්මානය - ඇන්තනි බේජන් (The Prayer)
හොඳම තිරරචනය වෙනුවෙන් රිදී වලසා සම්මානය - අලොන්සො රුස්පලාසියස් සහ මැනුවෙල් අල්කලා (Museum)
හොඳම කෙටි චිත්‍රපටය වෙනුවෙන් රන් වලසා සම්මානය - The Men Behind the Wall

මෙවර සිනමා උලෙළෙට අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකා නිර්මාණයක් වූ Matangi/Maya/M.I.A. වාර්තා චිත්‍රපටය පැනොරාමා වාර්තා චිත්‍රපට අංශයට ද ඉන්දියාව නියෝජනය කරමින් කෞෂික් මුඛර්ජි අධ්‍යක්ෂණය කළ Garbage  චිත්‍රපටය ද පැනොරාමා අංශයට ඇතුළත් වී තිබුණා. බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය පොප් ගායිකාවක වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මාතාංගි අරුල්ප්‍රසාගම් හෙවත් M.I.A පිළිබඳ වූ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය වූ අතර එය Matangi/Maya/M.I.A. ලෙසින් බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙළෙදී තිරගත කෙරුණා. සංගීත වේදිකාවේ M.I.A.නමින් හැඳීන්වෙන 42 හැවිරිදි මාතාංගි හෙවත් මායා 2000 වසරේ සිට ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ නිරත වී සිටින අතර මේ වන විට ඇකඩමි සම්මානයක් සඳහා නාමයෝජනා අතරට ද ඇතුළත් වී ඇත. ග්‍රැමි සම්මාන ත්‍රිත්වයක් හිමි ඇයගේ ගීත සුප්‍රකට බිල්බෝඩ් ගීත දර්ශකයේ ප්‍රමුඛ ස්ථාන දිනා ගැනීමට සමත් වී තිබේ.

68 වැනි බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙළට ඉන්දියාව නියෝජනය කරමින් කරන් ජොහාර් සහ Toilet: Ek Prem Katha චිත්‍රපටය සමඟින් ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත් නිළි භූමි පෙඩ්නෙකර් ආරාධනා ලබා තිබුණා. කරන් ජොහාර්ට මෙවර බර්ලින් සිනමා උලෙළ බෙහෙවින් සුවිශේෂි එකක් බවට පත් වුණේ ඔහු විසින් අධ්‍යක්ෂණය කර 1998 වසරේදී තිරගත කළ Kuch Kuch Hota Hai චිත්‍රපටය නිසා. එනම් විසි වසරකට පසු 68 වැනි බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙළේදී උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ ජර්මානු සංගීත කණ්ඩායමක් විසින් එහි එන "Kuch Kuch Hota Hai" ගීතය වාදනය කිරීමයි. Twilight චිත්‍රපට මාලාව ඔස්සේ ඉහළ ජනප්‍රියත්වයක් ලද රොබට් පැටින්සන් ද මෙවර සිය නවතම චිත්‍රපටය Damsel  හි ප්‍රචාරක කටයුතු සමඟින් බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙළ සමඟ එක් වුණා. සිනමා කර්මාන්තයේ සියල්ලන්ගේ ගෞරවය වෙනුවෙන් වූ රතු පලසේ මෝස්තර සේම සිනමා උලෙළේ සමාරම්භක දිනයේදී Isle of Dogs අධ්‍යක්ෂ වෙස් ඇන්ඩර්සන් සහ බිල් මුරේ බෙර වාදනයකට එක් වූ අවස්ථාව ද කාටත් විනෝදජනක වූ බවත් ආරංචියි.