වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




සිරි දේවිය සමුගත්තාය

සිරි දේවිය සමුගත්තාය

පසුගිය කාලයේ බොක්ස් ඔෆිස් වාර්තා තබන චිත්‍රපට ගැන කතා කළ බොලිවුඩයෙන් එක්වරම ගෙන ආවේ සිනමා රසික සිත් කම්පනයට පත් කළ පුවතක්. පසුගිය පෙබරවාරි 24 වැනිදා ගෙවී යන විට සැල වූයේ, ඉන්දීය සිනමාවෙන් ලොවක් වසඟයට ගත් ශ්‍රීදේවිගේ හදිසි වියෝ වීමයි. ඥාති පුත්‍රයකු වන මොහිත් මර්වාගේ මංගලෝත්සවයකට සහභාගිවෙමින් සිටි අතර ඩුබායිහිදී ඇය මෙලොවින් සමු ගත්තේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන්. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 54ක්.

හින්දි සිනමාවේ පළමු කාන්තා සුපිරි තරුව ලෙසින් කිරුළු පැලඳී ශ්‍රීදේවි සිනමාවට විසෙන්නේ ළමා නිළියක ලෙසින්. ඇය සිය පළමු සිනමා නිර්මාණය ලෙසින් Thunaivan හි රංගනයේ යෙදුණේ වයස අවුරුදු හතරක්ව තිබියදීය. අනතුරුව Nam Naadu,Penn Deivam, En Annan,Kumara Sambhavam { වැනි චිත්‍රපටවලටත් ළමා නිළියක ලෙසින් දායක වුණා. ශ්‍රීදේවි හින්දි සිනමාවට සම්බන්ධ වුණෙත් ළමා නිළියක ලෙසින්. ඒ 1975 වසරේ තිරගත කෙරුණු Julie චිත්‍රපටයෙන්. ඇය දෙමළ සිනමාවේ වැඩිහිටි චරිතයකට පණ පෙව්වේ 1976 වසරේදී Moondru Mudichu චිත්‍රපටයෙන්. ඒ වන විටත් ඇයගේ වයස අවුරුදු 13ක්. එහිදී ඇය පණ පෙව්වේ පසුකලෙක දකුණු ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත්ගේ කුඩම්මාගේ චරිතයට වීම එහි තවත් විශේෂත්වයක්.

හින්දි සිනමාවේදී ශ්‍රී මුලින්ම ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ 1979 වසරේ තිරගත කෙරුණු Solva Sawanචිත්‍රපටයෙන්. 1983 වසරේ දී Himmatwala චිත්‍රපටය සමඟින් ඉහළ රසික ආකර්ෂණයක් දිනා ගන්නත් ඇය සමත් වුණා. Mawaali (1983),Tohfa (1984), Naya Kadam (1984), Maqsad(1984), Masterji(1985), Nazrana (1987),Mr. India (1987),Waqt Ki Awaz (1988)) වැනි චිත්‍රපට ඇයගේ දායකත්වය ලද ඉහළ වාණිජ සාර්ථකත්වයට පැමිණි චිත්‍රපට අතරින් කිහිපයක්.

අසූව දශකයේ කාගේත් සිත් වසඟ කළ Nagina චිත්‍රපටයේ නාග කන්‍යාවක ලෙසින් කළ රංගනය සහ නර්තනය යුග යුග ගණනාවක් රසික ආකර්ෂණය සමඟින් පුරා කතා බහට ලක් වූවක්. බොහෝ දෙනාගේ අදහස නම් මේ දක්වා නාග කන්‍යාවන් ගැන කියන මොන තරම් චිත්‍රපට හැදුණත් ඒ කිසිවෙකුට Nagina වෙත ළංවීමටවත් නොහැකි බවයි. Sadma(1983),ChaalBaaz(1989),Lamhe (1991),Khuda Gawah(1992), Gumrah(1993), Laadla(1994) Judaai(1997) වැනි චිත්‍රපටවල රංගනයන් ද යුග යුග ගණනාවකට හොඳ රංගන පාඩම් වගේ. Mr.India චිත්‍රපටයේ චාලි චැප්ලින් ලෙසින් කළ රංගනයත් විශේෂයි.Meendum Kokila,Kshana Kshanam,ChaalBaaz,Lamhe චිත්‍රපටවල රංගනයන් වෙනුවෙන් ශ්‍රීදේවි ෆිල්ම්ෆෙයාර් හොඳම නිළියට හිමි සම්මාන ලබන්න සමත් වුණා. Mr India චිත්‍රපටයේ“Hawa Hawai”,Chandni චිත්‍රපටයේ “Mere Haathon Mein”, Nagina චිත්‍රපටයේ “Main TeriDushman”, Lamhe  චිත්‍රපටයේ “MorniBaga Mein”, Chaalbaaz  චිත්‍රපටයේ “NaJane Kahan Se Aayi Hai”වැනි ගීත ද ඉහළ ජනප්‍රියත්වයක් ලද ගීත බවට පත් වුණා.

Lamhe චිත්‍රපටය වෙනුවෙන් ඇය ෆිල්ම්ෆෙයාර් හොඳම නිළිය ලෙසින් සම්මාන ලැබුවද එය පිටුපස තවත් කතාවක් ඇති බව එකල දැන සිටියේ කිහිප දෙනෙකු පමණි. ශ්‍රී දේවිහට තම පියාගේ වියෝව සැල වී තිබුණේ ද එංගලන්තයේ මැන්චෙස්ටර්හිදි Lamhe චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදීයි. එනිසා ශ්‍රී දේවි හට යළින් ඉන්දියාවට පැමිණීමට සිදු වූයෙන් අධ්‍යක්ෂ යෂ් චොප්රා පවසා තිබුණේ එම කටයුතු නිම කර ඕනෑ තරම් කාලයක් ගෙන යළිත් රූගත කිරීම් වෙනුවෙන් පැමිණෙන ලෙසයි. ඒ වෙනුවෙන් රූගත කිරීම් කල් දැමීමට යෂ් චොප්රා අදහස් කළ ද ශ්‍රී දේවි පවසා තිබුණේ තමන්හට දින 16ක් පමණක් අවැසි බවයි. 17 වැනි දිනයේ යළිත් රූගත කිරීම් වෙනුවෙන් පැමිණි ඇයට වහීදා රහ්මන් සමඟින් තිබූ හාස්‍ය රංගනය කිරීමට තරම් මානසික තත්ත්වයක් ඇති දැයි යෂ් චොප්රා විමසූ විට ඇය පවසා තිබුණේ, තමන් මෙහි පැමිණියේ එම කටයුත්ත ඉටු කිරීමට බවයි. රංගනයේදී ඇය හැමවිටම තමන්ගේ වගකීම මැනවින් ඉටු කළ රංගන ශිල්පිනියක බව පෙන්වා දෙමින් යෂ් චොප්රා පසු කලෙක කළ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව පවසා තිබුණා.

80 - 90 දශකවල ශ්‍රී දේවි සහ අනිල් කපූර් බොලිවුඩ් රිදී තිරයේ ජනප්‍රියම පෙම් යුවල බවට පත් වුණා. Mr India, Lamhe, Laadla, Judaaiඇතුළුව චිත්‍රපට 13ට පමණ ඔවුන් දෙදෙනා රංගනයෙන් දායක වුණා. ඇය ජනප්‍රිය නළු ජිතේන්ද්‍ර සමඟින් චිත්‍රපට 16ට එක්ව රංගනයෙන් දායක වුවා. දෙමළ සිනමාවේ කමල හසන් සමඟින් දායක වූ චිත්‍රපට ගණන 16ක්. ලැබෙන ඕනෑම චරිතයක් භාර ගැනීම ඇයගේ පුරුද්දක් නොවන වගත් ඇය පෙන්වා දුන් දෙයක්. 1992 වසරේදී Beta චිත්‍රපටය ඇය ප්‍රතික්ෂේප කළේ අනිල් සමඟින් චිත්‍රපට බොහොමයකට දායක වී ඇති බව කියමින්. පසුව එම චරිතය හිමි වුණේ මධුරි ඩික්සිත්හට යි. ශාරුක් ඛාන් සහ ජුහි චව්ලා රංගනයෙන් දායක වූ Darr චිත්‍රපටය වෙනුවෙන් පළමුව ශ්‍රී වෙත කළ ආරාධනාව ඇය ප්‍රතික්ෂේප කර තිබුණේ Chandni සහ Lamhe චිත්‍රපටවලට පසු සාමාන්‍ය චරිතයක් අනවශ්‍ය බව පවසමිනි. එපමණක් නොව 1993 වසරේදී සුප්‍රකට හොලිවුඩ් සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග් Jurassic Park චිත්‍රපටය වෙනුවෙන් කළ ආරාධනාව ද ප්‍රතික්ෂේප කර සිටියේ හොලිවුඩයේ එම කුඩා චරිතය බොලිවුඩයේ තමන්ට හිමි ස්ථානයට කරන්නා වූ අගෞරවයක් බව පෙන්වා දෙමින්.

දෙමළ සහ හින්දි සිනමාව පමණක් නොව තෙළිඟු, මලයාලම් සහ කණ්ණඩ චිත්‍රපටවලටත් ඇයගේ දායකත්වය සුවිශේෂි වුණා. මිය යන විට ඇය දායක වී තිබු චිත්‍රපට සංඛ්‍යාව 300ක්. 1996 වසරේදී චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් සමඟින් විවාහ වී සිනමාවෙන් දුරස් වුවත් වසර පහළොවකට පමණ පසු ඇය සැමියා සහ දරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට වෙහෙසෙන බිරිඳකගේ චරිතය නිරූපණය කළේ English Vinglish (2012) චිත්‍රපටයෙන්. වයස අවුරුදු හතරේදී සිනමාවට පිවිස වසර ගණනාවක් සිනමාවෙන් දුරස් වී සිටියද පනස් වසරක් පුරාවට තම තරු ගුණය මඳක්වත් අඩු නොවී ඇති බව ඇය පෙන්වා දුන්නේ English Vinglish චිත්‍රපටයෙන්. එය බොක්ස් ඔෆිස් වාර්තා තබන්නට සමත් වූ චිත්‍රපටයක්. 2015 වසරේදී ඇය Puli දෙමළ චිත්‍රපටයේදී නපුරු යාවනරාණි රැජන බවට පත් වුණා. ඇයගේ අවසන් රංගනය දැක් වුණේ පසුගිය වසරේ තිරගත කෙරුණු ර්ධථ චිත්‍රපටයෙන්. එය නිෂ්පාදනය කළේ බොනි කපූර්. 1978 වසරේ තිරගත කෙරුණු Pilot Premnathචිත්‍රපටයේ ඇයගේ රංගනයත් විශේෂයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම නිෂ්පාදනයක් ලෙසින් නිර්මාණය කළ එහි සිවාජි ගනේෂන් සහ අපේ නිළි රැජන මාලිනි ෆොන්සේකාගේ (ප්‍රේම්නාත් යුවළ) දියණියගේ චරිතයට පණ දුන්නෙත් ශ්‍රීදේවි.

එහි රඟපෑම සඳහා ඇය ශ්‍රී ලංකාවටත් පැමිණියාය. එමෙන්ම ඇය රඟපෑ ගුරු, වාල්වේ මායම්, නාගීනා වැනි චිත්‍රපට මෙරට වසරකටත් වැඩි කලක් තිරගත විය.

රිදී තිරයේ ශ්‍රීදේවි ලෙසින් ජනප්‍රිය වුවත් ඇයගේ සැබෑ නම ශ්‍රී අම්මා යන්ගෙර් අයියප්පන්. ඇයගේ පියා අයියප්පන්, වෘත්තියෙන් නීතිඥවරයෙක්. මව රාජේෂ්වරී. බොනී කපුර් සමඟින් විවාහයට පෙර ඇය මිතුන් චක්‍රබෝර්ති සමඟින් විවාහ වී සිටි බවත් කියවෙනවා. බොනී ශ්‍රී දේවි කැදැල්ලේ ජාන්වි සහ කුෂි නම් දියණියන් දෙදෙනෙකු සිටිනවා.

ශ්‍රී දේවි ඉන්දීය සිනමාවේ සංකේතයක් බඳු වූ නිළියක්. ඉන්දීය සිනමාව වෙනුවෙන් කළ සේවය උදෙසා ඉන්දීය රජය විසින් 2013 ව‍සරේදී ඇය පද්ම ශ්‍රී සම්මානයෙන් පුදනු ලැබුවා. ඇයගේ වියෝව අසා නළු නිළියන් රැසක් සිය සංවේගය පළ කළ අතර බොනී කපූර්ගේ පෙර විවාහයේ පුතු අර්ජුන් කපූර් ද වහාම රූගත කිරීම් සියල්ල නවතා කපූර් නිවෙසට පැමිණියා. ඇය අවසන් වරට රඟපෑවේ ෂාරුක් ඛාන් සමඟය. ඒ ආනන්ද් එල්. රායිගේ සීරෝ චිත්‍රපටයේය. එය ආරාධිත රංගනයකි.

ශ්‍රී දේවිගේ Nagina චිත්‍රපටය සේම 1983 වසරේදී තිරගත කෙරුණු Sadma චිත්‍රපටයත් කිසිවෙකුටත් අමතක නොවන සංවේදී චිත්‍රපටයක්. එදා සද්මා (මූන්ද්‍රම් පිරෙයි) චිත්‍රපටයේ ශ්‍රී දේවි සමඟින් රංගනයෙන් එක් වූ දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්තයකු වන කමලහසන් ඇයගේ වියෝව අසා තම ට්විටර් පිටුවේ සඳහන් කළේ මෙවැන්නක්. “මම ශ්‍රී දේවිගේ යෞවන කාලයේ පටන් දක්ෂ කාන්තාවක වන තෙක්ම එකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඇය සතු ජනප්‍රියත්වය ඇය ලැබිය යුතුම වූ දෙයක්. සිනමාවේදී මම ඇය සමඟින් ගත කළ කාලය මට මැවී පෙනෙනවා. ඇය මට අවසන් වරට කතා කළ දිනයත් හොඳීන් මතකයි. ඒ සියල්ලටම වඩා සද්මා මුන්දුම් පිරෙයි චිත්‍රපටයේ දරු නැළවිලි ගීතය සදහටම මගේ මතකයේ රැව් පිළි රැව් දේවි.”