වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




තෘප්තිමත් වුවත් බ්‍රෑන්ඩ් එකට අයිති නැහැ

තෘප්තිමත් වුවත් බ්‍රෑන්ඩ් එකට අයිති නැහැ

වයලට් ගේ බඩේ තිබු ගෙඩිය මොකක්දැයි ඇලිස් නෝනාට ගැටලුවක් වූයේ නැත. හැම ගැහැනියෙකුගේම කිල්ලොටේ හුණු කිලෝ ගණන් තිබුනත් පේන්නේ අනෙක් ගැහැනුන්ගේ හුණු චුට්ටය. ඇලිස් නෝනාද බැලු බැල්මට හොද හොද අඩව් ඇල්ලු ගැහැනියක් වන්නට ඇත. වයලට් ගේ බඩේ තිබුණේ ගෙඩියක්ද නැත්නම් වෙන හුටපටයක්ද කියා ඇලිස් නෝනා ටක්කෙටම කියන්නේ ඒ නිසාය. අඩව් ගැන හොදටම දන්නේ අඩව් ඇල්ලු ගැහැණියකටමය. කාට හැංගුවත් ,ඇලිස් නෝනාගෙන් වසන් කිරීම නම් බොරු බව වයලට් ට වැටහුණි. අවසානයේදී කථාව යන්නේ උන්හිටිගමන් උල්කාපාතයක් මෙන් නිවසට කඩා වැටුණු වික්ටර් මෙන්ඩිස් සමග වයලට් "ඩෙගා " නටා ඇති බවය. දීගතල ගිය දියණියෙකුත් , දීගතල යෑමට සිටින දියණියෙකුත් ඇති මැදිවියට එළෙඹුණු වයලට්ගේ නිවසට වික්ටර් පැමිණ පසු හැදුනු බඩේ ගෙඩිය ගැන අවට ගැහැනු කම්මුල් වලට අතතියාගෙන මහා නවනිංගිරියාවක් සිදුවුනා යැයි වික්ෂෝප වූයේ තම තමන්ගේ සෙලුවේ මදුරුවෙක් හෝ වසා නොතිබූ ගානටය.

ප්‍රසන්න විතානගේට හොද කථාන්තරයක් අසුවුණි. ඒ මැදිවියේ පසුවන දෙදෙනෙකුගේ ආදරයක් ගැනය . මා සිත එක්වරම රැචෙල් මැඩුක්ස් රචනා කෙරූ නවකථාවක් පදනම් කරගත් ගයි ග්‍රීන් නිපදවූ ඇන්තනි කුවීන්, ඉන්ග්රිඩ් බර්ගමන් රගපෑ 1970 වේ ප්‍රදර්ශනය වූ "එ වෝක් ඉන් ද ස්ප්‍රින්ග් රේන් " චිත්‍රපටයට කරා ගියේ,එයද මැදිවියේ පසුවන දෙදෙනෙකුගේ ආදරය ගැන කියවෙන අපූරූ කථාන්දරයක් නිසාය. එතැන තිබු ආදරය යළිත් මා දුටුවේ ප්‍රසන්න විතානගේ හරහාය. ඒ ඔහු 3 න්වෙනියට අධ්‍යක්ෂණය කළ " පවුරු වළලු" චිත්‍රපටය තුලිනි. ප්‍රසන්නගේ "පවුරු වළලුත් " ගයි ග්රීන් ගේ "එ වෝක් ඉන් ද ස්ප්‍රින්ග් රේන් " අතර බැලූ බැල්මට සම්බන්ධතාවයක් නැතත්,මැදිවියේ දෙදෙනෙකුගේ ආදරයක් තුල ඇතිවෙන හැගීම් චිත්‍රපට යුගලේම එක සමාන විය. "පවුරු වළලු" එනතෙක් ලංකාවේ මිනිසුන් සිතා සිටියේ ආදරය කළ හැක්කේ යොවුන් හා තරුණ අයට පමණක් කියාය. වැඩිහිටියන්ගේ ආදර නහර ක්‍රියා විරහිත වන බවකි ඔවුන් සිතුවේ. එහෙත් පව්රු වළලු තුළින් එම වැඩිහිටි ආදරයේ ගැඹුරත්වය පෙන්වීමට ප්‍රසන්න උත්සහා කර තිබුණද එය අර "වෝක් ඉන් ද ස්ප්‍රින්ග් රේන් " හී විල් සහ ලිබීගේ චරිත තරම් සිතට කා වැදුනේ නැත.

වික්ටර් වයලට් ට ආදරේ කිරීමට පටන්ගන්නේ තරුණ කාලයේදීය. එහෙත්, ඔවුනට එක් වීමට වරම් ලැබෙන්නේ නැත. සිත් තැවුලට පත් වික්ටර්, රට අත හැර නැව් රැකියාවට ගියේය. නැවත තම රටට පැමිණෙන්නේ අවුරුදු ගණනාවකට පසුවය. ඒවන විට වයලට්, විවාහ වී දරුවන් වදා ඔවුන් උස්මහත් කර එක දරුවෙක් විවාහ කර දී ඔවුනගේද දරු සුරතල් බලන අත්තම්මා කෙනෙකි. වික්ටර් නැවත මුණගැහෙනුයේ මෙම වකවානුවේදීය. හැම දේම සිදුවන්නේ අහම්බෙනි. මුණ ගැහුනා පමණක් නොව, ගෙදරට යාම් ඊම් කරන්නේද,ඉන්පසු යළි ආදරය කිරීමට පෙලඹෙන්නේද ,අහම්බෙනි.

 ඒ අතර තුර ඔවුන් ලිංගීකව එක්වෙන්නේද ඉතාමත් අහම්බෙනි. අවට ගැහැනුන්ට කම්මුල් වලට අතතියාගෙන මහා නවනිංගිරියාවක් සිදුවුනා යැයි වික්ෂෝප වන්නට තරමේ රාගීක උත්තේජනයක් වයලට්ටත් වික්ටර්ටත් තිබුණේ නැත. නමුත් තාරුණ්‍යයේ ඇතිවූ නොකැළැල් ආදරය, යලි මැදි වියේදී ඇතිවූවිට, ඒ සෙනෙහස් ගගුල ගලා යන අතර ඒ තුලින් ඇතිවූ සෙනෙහස් උත්තේජනය හරහා රාගය ඉස්මතු වීම ස්වාභාවිකය. අන් අතට වයලට්ගේ සැමියා දරුවන් කුඩා කාලයේදීම වයලට් ව අතහැර ගොස් ඇත. ඉන්පසු පුරා අවුරුදු ගණනාවක් වයලට් තම ලිංගීක රසය යටපත් කරගෙන සිටින්නට ඇතැයි සිතිය හැක.නැව් වල කරක් ගැසූ වික්ටර්ට නම් ලිංගීක ක්‍රියාකාරකම් නොඅඩුව තිබුණු බවක් අමුතුවෙන් කිවයුතු නොවේ. ඇතැම් විට වික්ටර්ගේ එම අත්දැකීම් වල රසය වයලට්ව පොලඹවා ගැන්මට හේතු වුවා වන්නට ඇත.

යුරෝපය, ඇමරිකාව, බ්‍රිතාන්‍යය තුළ තම මව පරණ පෙම්වතා සමග සිට දරුවෙක් ප්‍රසුත්ත කිරීමට යන්නේ නම් හෝ තම පියාට දාවා වෙනත් ගැහැනියක් දරුවෙක් ප්‍රසුත්ත කරන්නට යන්නේ නම් ඒවා සාමාන්‍ය සිදුවීම් ලෙස සලකන්නට එම දරුවෝ පුරුදු වී ඇත. එය අවට අසල් වැසියන්ට, නෑදෑ හිතවතුන්ටද විශාල ප්‍රශ්නයක් නම් නොවේ. එහෙත් ලංකාව වැනි තුන්වන ලෝකයේ රටකට එම සිදුවීමට මුහුණ දෙන අයට වඩා කුලප්පු වන්නේ වටා පිටාවේ ඉන්න අයය. එසේ කුලප්පු වන අය සිටින නිසා ප්‍රසන්නට මේ තේමාව ලංකාව තුල කුතුහල ජනකව කිරීමට හැකි විය. මා මෙය ලිවීමට පෙර, මා කාර්යාලයේ ගැහැනු ළමයෙක්ගෙන් ,ඔබේ මවට මෙවැනි දෙයක් සිදුවුවහොත් ඔබ ගන්නා පියවර කුමක්දැයි ඇසුවෙමි.

 ඇය එක්වරම කීවේ මා මගේ මවව ඒ මොහොතේම සදහටම අත් හරිනවා කියාය. ප්‍රසන්නට හොද කථාවක් ලැබුණා යයි මා මුලින් කීවේ මේ නිසාය. තුන්වෙනි ලෝකයේ රටකට මෙවන් තේමාවක් ලැබීම යනු බල්ලෙකුට හොදට මස් පිරුණු කුකුල් මස් ගාතයක් ලැබුනාක් මෙනි. ප්‍රසන්න මෙම තේමාව ඉදිරිපත් කිරීමේදී අමුතුම පසුබිමක් නිර්මාණය කෙරීය.එම කොලොනියල් පසුබිම තුළින් "පවුරු වළලු" චිත්‍රපටයට ආ ගැම්ම විශිෂ්ට විය. හැම චරිතයක්ම එම කොලොනියල් පසුබිම හා ගැටෙන විට චිත්‍රපටයට ලැබුණු චමත්කාරය සුළු පටු නොවේ. තමාට අහිමි වී ගිය සෙනෙහස ,යලි ලැබීම වූවද ,එය අවසන් වූයේ ලිංගීක සබදතාවයකිනි .වික්ටර්ට අවශ්‍ය වී තිබුනේ, අහිමි වී ගිය සෙනෙහස යලි ලබාගැන්මට වඩා තම කාන්සිය දුරු කර ගැන්මටදෝ ,නොඑසේ නම් තම ලිංගීක ආශාවන් තෘප්තිමත් කර ගැන්මටදෝ ද එසේ නැත්නම් වයලට් සමග සැමියා-බිරිඳ ලෙස ජීවත් වීමටදෝ යන කුකුස ප්‍රසන්න නිරාකරණය තිබුනා මදි යැයි මට සිතේ. එහෙත් ඔහු ප්‍රේක්ෂකයාට ඒ ගැන හෝඩු කීපයක්ම දී තිබුණි.

 අයෙකුට වික්ටර් යලි වයලට් කරා පැමිණියේ අහිමි වී ගිය සෙනෙහස යළි ලබාගැන්මට යැයි සිතුණද, මට නම් සිතුනේ ඔහු වයලට් හා දැවටුනේ තම ලිංගීක ආශාවන් තෘප්තිමත් කර ගැනීමට යැයි කියාය. එහෙත් බොහෝ දෙනා කීවේ වික්ටර් ට අවශ්‍යවී තිබුයේ වයලට් සමඟ සැමියා-බිරිඳ ලෙස ජීවත් වීමට ය. එතැනද හේතු දෙකක් තිබුණි එකක් වයලට් ගේ සැමියා ඇයව අතහැර ගොස් සැහෙන කාලයක් පසුවීම. අනිත් හේතුව වික්ටර් ගේ වයස් සීමාව උඩ ඔහුටත් කිසියම් හව්හරණයක් අවශ්‍යවීම. නමුත් මේ කිසිවකට ප්‍රසන්න ඍජු පිළිතුරක් නොදුන්නේ අපටම එය තීරණය කර ගැන්මට විය .හැක.

වයලට්ගේ කුසට දරුවෙකු ආ සැනින් එය නැති කරගැන්මට ඇයටත් වික්ටර්ටත් හැකි වුනිද, ඔවුන් එම සිදුවීම කෙතරම් පරිස්සමින් සගවා ගෙන සිටියද ,වයලට් ගේ දෙවන දියණිය ලිලී විවාහ ගිවිස ගත් තරුණයාගේ මව වූ ඇලිස් නෝනා ට නම් වසන් කිරීමට නොහැකි විය. සිද්ධිය පිටාරය ගියේ එලෙසය . ලිලි ගේ විවාහ ගිවිසුමද අවලංගු විය. වයලට්ට එය දරා ගැන්මට නොහැකි වූයේ මේ දෙය සිද්ධ වූයේ තමාගේම වරද නිසාය. වයලට් උමතු වූයේ ඒ නිසාමය. ඒ නිමාව සාධාරනය. ආසියනුතික ගතිගානු රටක මෙවන් සිදුවීම් වල අවසානය උමතු වීම හෝ සිය දිවි නසා ගැන්මය. එහෙත් බටහිර දියුණු රටවල නම් බොහෝවිට දරු ගැබ විනාස කරන්නේද නැත. සියල්ලෝම එම ආරංචියෙන් උද්දාමයට පත් වී සාදයක්ද පවත්වනු නියතය. එසේ නම් වයලට් උමතු වීමේ වරද, අපේ රටේ ගතිගානු බවය. හණ මිටි අදහස් වල එල්ලී සිටීමය.

ප්‍රසන්න "පව්රු වළලු" අධ්‍යක්ෂණයේදී ඉතාමත් සූක්ෂම වී තිබුණි. "සිසිල ගිනි ගනී" අධ්‍යක්ෂණයේදී සිදුවූ දෙයම "පවුරු වළලු " හී සිදු විය. මෙහිදීද නිෂ්පාදනයත්, ප්‍රධාන නිළි චරිතයත් සිදුවූයේ නීටා ප්‍රනාන්දු ගෙනි. මෙහි හැම රූප රාමුවකම සිටියේද නීටා ප්‍රනන්දුමය. ටෝනි රණසිංහගේ තිර රචනය තුල ඇයට ඉඩකඩක් දුන්නද, ප්‍රසන්න ප්‍රේක්ෂකයාට "බෝරින් " නොකර ඇයව හසුරවා තිබුණි. ටෝනි රණසිංහගේ තිර රචනය තුළ ප්‍රසන්නට,ක්‍රියාකාරීව බොහෝදේ කිරීමට නොතිබුණද ,හැගීම් හා කළ ගනු දෙනුව නම් ඉතාමත් විශිෂ්ටය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ට පසු, රංගන ශිල්පීන් හසුරවීමේ දක්ෂතාවය තිබුනේ ප්‍රසන්නටය. මොකක්දෝ කසිකබල් චිත්‍රපටයක "චුට්ටං චුට්ටං චුට්ටං චුටියා- අයි ලව් යූ " වැනි සිංදුවක් කියමින් මල්ගස්වටේ හැටට හැටේ දිවූ

සංගීතා වීරරත්න ව පවුරු වළලු තුලින් භාවමය රංගනයට හුරු කළේ ප්‍රසන්නය. නීටා ප්‍රනාන්දු ඇගේ රූප රාමු ඇතුලේ මොන තරම් "ස්කෝර්" කළද සංගීතා ඇතැම් තැන්වල නීටාටත් වඩා ඉස්මතු වූයේ ප්‍රසන්න ඇයව හැසිරවූ දක්ෂතාවය නිසා වන්නට ඇත. මෙහි මා වඩාත්ම දක්ෂම රංගනය දුටුවේ ඇලිස් නෝනගේ චරිතය රගපෑ චන්ද්‍රා කළුආරච්චි ගෙනි. වයලට් ගේ බඩේ ගෙඩිය ගැන ඇලිස් නෝනා අනුමාන කරගත් ආකාරය චන්ද්‍රා කළුආරච්චි තම මුහුණේ ඉරියව් තුළින් ඉදිරිපත් කරන විලාශයේ විශිෂ්ටත්වය නම් විශ්මිතය.

"පවුරු වළලු "තවත් කථාන්තරයක් නමුදු, ප්‍රසන්න එය කාව්‍යක් මෙන් ගොතා තිබුණි. සිත්තමක් මෙන් අලංකාර කර තිබුණි. ටෝනි රණසිංහ ප්‍රසන්නට උවමනා අන්දමටත්, නීටා ට උවමනා අන්දමටත් තිර නාටකය ලියා ඇති බවක් පෙනුණි . එහෙයින් ප්‍රසන්න නිෂ්පාදිකාව වූ නීටා ප්‍රනාන්දු වත් තෘප්තිමත් කර ,තමාවත් තෘප්තිමත් වන අන්දමට "පවුරු වළලු " නිර්මාණය කර ඇති බව පෙනුණද, මෙයද ප්‍රසන්නගේ "බ්‍රෑන්ඩ්" එකට අයත් වන චිත්‍රපටයක් නම් නොවන බවක් කිව යුතුමය. එසේ නොවුනද ඕ.සී.අයි.සී. සම්මාන උළෙලේදී සම්මාන 9 යක්ද, ජනාධිපති සම්මාන උළෙලදී සම්මාන 6ක්ද , සිංගප්පූරු සම්මාන උළෙලදී ලොව හොදම නිළිය සම්මානයද,ඇතුළු තවත් විවිධ සම්මාන රැසක්ම "පවුරු වළලු" දිනා ගත්තේය.

ශෝන් මැක්ස්මස් දිසානායක

(ලබන සතියේ තවත් කොටසක්)