වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




මට බැරිද මිස්  උඩ කාමරේ දෙන්න

මට බැරිද මිස්  උඩ කාමරේ දෙන්න

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි

අද එතැන් සිට...

ඩික්සන් අලුත් වැඩියා කරමින් සිටි නිවසේ උඩුමහල කාමරයක පදිංචියට ආවේය.එය සිද්ධ වුණේ ඩික්සන් හා බිනරි ටයිල් ගෙන එන්නට ගොස් සතියක් ගෙවෙන්නට මත්තෙනි.

‘අර මිනිහා ගෙයි වැඩ ඉවර කරන්නේ නැද්ද ?’

චිත්‍රා ඩික්සන් ගේ පදිංචිය ගැන විමසන්නට දින ගණනක් ඇඟිලි ගැන්නාය.ගින්දරයි පුළුණුයි එකට තියන්න එපා යැයි කියමනක් තිබේ.තමන් කර ඇත්තේ ඒ වැඩේයැයි ඇයට සිතෙන්නට පටන් ගෙන ඇත. ටයිල් ගේන්නට ගිය දවසේ තමන් ද ඒ ගමනට එක් වුණා නම් හොඳය.

‘ඒ මිනිහ කොයි පළාතෙද ?’

ඇය ඇසුවේ තමන් ඇසු පැනයට උත්තර නොදුන් බිනරි ගෙනි. ඩික්සන් ගෙයි කාමරයක් නිමා කරන්නටත් කලින් එහි නවාතැන් ගනිතියි චිත්‍රා සිතුවේ නැත.ඒ ගැන බිනරි ඇගෙන් විමසුවේ ද නැත.

‘අම්මා මාමාලා ගෙදර යන්ඩ ඕන කිව්ව නේද ?’

එක්වරම බිනරි ඇසුවාය.චිත්‍රා සිය දියනිය දෙස විමසිලිවත්ව බැලුවාය.

‘හැමදාම කියන්නේ ගිහින් එන්ඩ ඕන කියලා?’

බිනරි යළිත් කතා කළේ ඈත බලාගෙනය.දියණිය නොකියා කියන්නේ තමන්ට යන ලෙසදැයි චිත්‍රා කල්පනා කළාය. බිනරි යනු එහෙමත් නොකියන්ඩ බැරි ගෑනියක නොවේ.තමන් සිටින්නේ කතා කවුරුවත් නැති තැනකය.පසුගිය දවස් වල ගෙදර සියලු දේ කළේ දියණිය ගේ වුවමනා එපාකම් වලටය.

ඩික්සන් ඉහළ මාලයේ සිට පහළට ආවේය.ඔහු අත් දිග කමිසයක් ඇඳ ඔහු එහි අත් නවමින් උන්නේය.

ඔහු එන දුටු චිත්‍රා කතාව නතර කළාය.ඩික්සන් ගෙයින් එළියට බැස්සේ මද සිනහවක් පාමිනි.චිත්‍රා අහක බලා ගත්තාය.ඩික්සන් හින්දි සින්දුවක ඇසුරෙන් උරුහම් බාන්නට තැත් කරමින් සිටියේය.

‘මේව රට්ටු හිනස්සන වැඩ’

ඇය පැවසුවේ දියණියගේ මුහුණ දෙස බලමිනි.

‘මම යැ රට හිනස්සුවේ’.

බිනරි පැවසුවේ උස් හඩිනි.එයට චිත්‍රා පසුබැස්සාය.ඇයට සිය සැමියා සිහිපත් විය.මේ සියල්ලම සිදුවන්න් ඔහුගේ වරදින්ය.මේ පවුලේ සමගිය පැවැතියේ එතැනය.ඒ සියල්ලටම එක ලෙස සාපයක් වැදි ඇතිසේය.චිත්‍රා ඇස නැගුණ කඳුළු ගලන්නට ඉඩ හැරියාය.බිනරි උන් තැනින් නැගිට ගියාය.

ජිවිතය වෙනස් වු අන්දම ඇයට සිතා ගන්නට නොහැකිය.ඩික්සන් නිවසට ආයේ නිවස අලුත් වැඩියා කරන්නටය.ටයිල් ගෙන එන්නට නාවලට ගිය දවසේ ඩික්සන් තමා හා බොහෝ සමීප විය.

‘මිස්ට හොඳ ටේස්ට් එකක් තියෙනවා’

ටයිල් සාප්පුවකින් එළියට ආ බිනරිට ඩික්සන් පැවසුවේය.

‘ඇයි ඩික්සන් එහෙම කිව්වේ’

නැහැ.මිස් ටයිල් තෝරපු විත්තිය දැක්කම.කලර්ස් එහෙම මැච් කරපු විධිය දැක්කම මට හිතුනා.හැමෝටම එහෙම කරන්ඩ බෑ මිස්

බිනරි එබසට හිනා වුණාය.

‘ඩික්සන් ට මේ ටිකට එපා වෙන්ඩ ඇති එහෙනම් ටයිල් තෝරලා’

‘අපොයි නෑ මිස්.හොඳ දේ ඉක්මනින් හම්බ වෙන්නේ නෑ’

බිනරි ඩික්සන් දෙස බැලුවේය.ඔහු දෙස බලන්නනෙකුට කය වෙහෙසා වැඩ කරන බාස් වරයෙකුයැයි නිකමටවත් සිතෙන්නේ නැත.

‘මම මේ වැඩෙන් පස්සේ. අපේ පිටකොටුවේ කඩ කෑල්ලක් තියෙනවා .ඒකෙත් රෙපයාර් එකක් තියෙනවා ඒකත් බාර දෙන්ඩයි හිතන්නේ

බිනරි අලුත් ආරංචියක් පැවසුවාය. ඩික්සන් ගේ මුවගට සිනහවක් නැගිණ.

‘මිස් මම මේ දවස් වල බෝඩිමක් හොයනවා.මට බැරිද මිස් ලා හදන ගෙයි උඩ කාමරේ දෙන්න.’

බිනරි කිසිත් නොකියා නිහඩව සිටි දුටු ඩික්සන් යළිත් කතාව ඇරඹුවේය.තැළෙණ යකඩය මෙල්ල වන තුරු තැළිය යුතුයයැයි ඔහු ඉගෙන ගත්තේ ගමේ දිය.

‘නිකං නෙවේ.සාධාරණ ගාණකට’

ඩික්සන් යළිත් ඇසුවේය.ඔවුන් ඒ වන සිටියේ ටයිල් අලෙවි ශාලාවකය.එහි අලෙවි කරන තරුණයෙකු සිනහ මුසු මුහුණින් ඔවුන් හා කතාවට වැටිණ.

මේ ටයිල් විිවිධ ජාතින්ට අයත්ය විවිධ මිල ගණන්ය.තමන්ගේ අගේ ඇති මුදලට නොව නිවසකට බැවින් හොඳම දේ යොදන්නයැයි ඔහු උපදෙස් දෙන්නට පටන් ගත්තේය.

‘මේවා ඉතාලියෙන් අලුතින් ගෙන්නුවේ’

ඔහු පැවසුවේ බිනරි ගේ සිත යොමු වන තැනක් දෙස ඇස ගසා සිටිමිනි. එය නිල් පැහැතිය.ඉතා සියුම් අන්දමින් ඕකිඩ් මලක හැඩයක් එයට කාවද්දා ඇත.

දැනටමත් දහවල් වෙලාය.ඩික්සන්ට බඩගින්නක් දැනුනත් ඔහු කතා නොකර සිටියේය.

‘ඩික්සන් මොකද මේ ගැන හිතන්නේ’

ඔහු හිස වැනුවේ ඇයගේ වචනය අනුමත කරන්නටය.

‘ඔය ගාණ වැඩියි මල්ලි.අඩු කරන්ඩ’

ඩික්සන් පැවසුවේය.ඩික්සන් ගේ ස්වරූපයේ වූවේ තර්ජනාත්මක ස්වරූපයකි.ඔහු දුටු තරුණයා මඳක් පසුබා ගියේය.

‘මොකද ඔයිට වඩා අඩු ගාණට බජාර් එකේ තියෙනවා’

ඔහු කැල්කියුලේටරයක් ගෙන ගණනක් සාදමින් සිට සිය ස්වාමියා හමුවට ගියේය.ටික වේලාවකින් ඔහු ආපසු ආවේය.

‘කියන ගණං වලට අහුවෙන්ඩ එපා.මේකේ හැමතැනම බඩු තියෙනවා’

ඩික්සන් දැනමුතු කමක් දුන්නේය.බිනරි ඔහු වෙත හෙළුවේ කෘතවේදි බැලිමකි. ඔවුන් ආපසු එන විට දහවල් වී තිබිණ.ඔවුන් එනතුරු අම්මා පෙර මග බලා සිටයාය.

‘මිස් මම මෙහෙ එන්ඩද’

එදින රෑ වනතුරු කාමරයේ වැඩ කළ ඩික්සන් යළිත් ඇසුවේය.බිනරි ඔහු දෙස බැලුවාය.

‘හොඳයි’

ඩික්සන් පසුවදා වනතුරු නොසිට රෑ රාත්තිරියේම සිය ඇඳුම් කුඩුම් ගෙන ආවේය.