වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




ජැක්සන් - පියුමි එක් කළ කේරළයේ තැනෙන ලක්නව් සිංහල බසිනුත් එයි

ජැක්සන් - පියුමි එක් කළ කේරළයේ තැනෙන ලක්නව් සිංහල බසිනුත් එයි

ඉන්දියානු චිත්‍රපටයක චරිතය සඳහා අපේ ජැක්සන් ඇන්තනි තෝරා ගත් පුවත පසුගියදා සරසවිය අනාවරණය කළේය. එහි ප්‍රධාන නිළිය තෝරා ගත්තේත් ලංකාවෙනි. ඇය පියුමි හංසමාලා. චිත්‍රපටය කේරළයේ ජනප්‍රිය සිනමාකරු අනිල් කුමාර් අධ්‍යක්ෂණය කරන ලක්නව්ය. එහි අලුත්ම ප්‍රවෘත්තිය ඉන්දියානු බහු භාෂිත චිත්‍රපට ගොන්නට ලක්නව් අයත්විමයි. එය මලයාලම්, දෙමළ භාෂාවන්ට අමතරව සිංහල බසින් ද නිර්මාණයවීමයි. මෙම චිත්‍රපටයේ ශ්‍රී ලාංකික නිෂ්පාදකයා අනුර ජසෙන්තු ලියනගේයි. ඔහු මෙරට ලිබර්ටි ලයිට්, ඇමිටි ලයිට් ඇතුළු සිනමාශාලා රාශියක්ම හිමි මූවි වර්ක්ස් ආයතනයේ හිමිකරුයි. ඉන්දියාවේ මෙම චිත්‍රපටය නිපදවන්නේ බීනා උන්නික්‍රිෂ්නන්ය. මේ පිළිබඳ ඉන්දියාවේ පැවැත් වූ මාධ්‍ය හමුවෙන් පසු ලංකාවේදී ද මාධ්‍ය හමුවක් පැවැත්විණි.

එක් තරුණයකු අද්භූත සිහින සැබෑ කර ගැනීමට අසිමිත ආශාවන් පසුපස හඹා යන කතාවක් පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය වේ. ඔහු තම හස්තය යොදා විවිධ තරුණ තරුණියන් ඔහුගේ මායාව තුළට ඇද ගැනීම මෙයින් සිදු වේ. ඒ තුළ බොහෝ අහිංසක චරිත ඔහුගේ ගොදුරු බවට මෙහිදී පත්වේ. ඔහු නිදිවර්ජිතව කරන සටනක ප්‍රතිඵලයක් ලෙස මෙය දිග හැරේ. ඒ කෙසේ වෙතත් තරුණයා අවසානයේ සිතන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය හා ආදරය පමණක් අවසානයේ ඉතිරි වන බවත් ඉන් එහාට යමක් ඉතිරි නොවන බවයි. මෙම චිත්‍රපටයේ අනිකුත් චරිත මවන රංගන ශිල්පීන් අතර ඉන්දියාව සහ මලයාසියානු ශිල්පීන් රැසකි. ඉස්වාක් සිං, මිථිලි රාමක්‍රිෂ්ණන්, අනිල් මුරලි, ශාන්තිනි තේවා මෙහි රඟන ශිල්පීන් වේ.

මෙම චිත්‍රපටය රූගත කිරීම් මාර්තු මස 10 වන දිනෙන් පසුව කේරළයේ සහ ලක්නව් නගරයේ සිදු කරනු ලබයි.