වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

මව වෙත සෙනෙහසින් - දියණිය පැමිණි විගසින්

ඉකුත් ඉරිදාව උදාවුණේ සිනමාවට ළැදි කොයි කාගේත් හදවත කම්පාකරන පුවතක්ද සමඟිනි. ඒ බොලිවුඩ් සුපිරි තාරකාවක වූ ශ්‍රී දේවියගේ අභාවය පිළිබඳ පුවතයි. ලොවක් සසල කරමින් නික්මගිය ඇය ඉකුත් වසරේ හිරු ගෝල්ඩන් ෆිල්ම්ස් සම්මාන උළෙල සඳහා මෙරටට පැමිණියාය. එහිදී ඇයට සුවිශේෂි තැනැත්තියක් හමුවිය. ඒ අප නිළි රැජින මාලිනි ෆොන්සේකාය. මේ ඔවුනගේ පළමු හමුවීම වුවත් 1978 වසරේ තිරගත වූ පයිලට් ප්‍රේමනාත් සිනමාපටයේ මේ නිළි රැජනියන් දෙදෙනාම රංගනයේ යෙදිණ. එහි මාලිනී යොවුන් ශ්‍රී දේවියගේ මව වූවාය. ශ්‍රී දේවිය අන්ධ දැරියක ලෙස රංගනයේ යෙදුණාය. ශිවාජි ගනේෂන් ඇතුළු ඉන්දියාවේ සුපිරි නළු නිළියන් රැසක් රඟපෑ පයිලට් ප්‍රේමනාත් හි මාලිනි සහ ශ්‍රී දේවිය රඟපා තිබුණත් දෙදෙනා එකට හමුවී තිබුණේ නැත. ඉන් දශක ගණනාවකට පසුව දෙදෙනා මෙලෙස එක වේදිකාවකට ගොඩවිය. එහිදී මෙසේ හමුවූයේ ප්‍රථමවතාවටය. ඒ අපුරු අවස්ථාව මෙලෙස සරසවිය කැමරා කාචයේ සටහන් විය.


කුසල් රටට

අර්ජුන කමලනාත් අධ්‍යක්ෂණය කළ කුසල් සිනමා පටයේ මංගල දර්ශනය පසුගියාද වැල්ලවත්ත නව සැවෝයි ප්‍රිමියර් (රොක්සි) සිනමා ශාලාවේදී පැවැත්විණි. එය ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි මේ දිනවල තිරගත වේ. උමා සිනමා පටයක් වන එහි අර්ජුන කමලනාත්, අමිෂා කාවින්දි ඇතුළු නළු නිළියන් රැසක් රංගනයේ යෙදෙති.


පතී වත එළිදුටුදා

පතීවත කෘතියේ පළමු පිටපත බෙනට් රත්නායක විසින් පතිරාජයන්ගේ පාසල් මිතුරු දයා තෙන්නකෝන්ට පිරිනමන ලද මොහොත

සමන් වීරමන්, උදයකාන්ත චිත්‍රපට සංස්ථා සභාපති සිතේන්ද්‍ර, බෙනට්, ලාල් හරින්ද්‍රනාත්

කෘතහස්ත සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් අගයමින් සංවිධානය කළ පතී වත උපහාර උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. මෙය පතිරාජයන් ජීවත්ව සිටියදී පැවැත්වීමට සූදානම් කළ උළෙලකි. අවාසනාවට ඔහු අප අතරින් සමුගත්තද පතී වත යොදාගත දිනටම පැවැත්වීමට සංවිධායක කමිටුව තීරණය කරන ලදී. මෙදින පතිරාජයන් අධ්‍යක්ෂණය කළ පාරදිගේ, මතුයම් දවස, ඉන් සර්ච් ඔෆ් රෝඩ් සහ ස්වරූප යන චිත්‍රපට නැරැඹීම සඳහා අතිවිශාල පිරිසක් පැමිණ සිටියහ. එදින ජනගත කළ පතී වත කෘතියේ සියලුම පිටපත් අලෙවි වීමද සුවිශේෂි කරුණකි. මෙම උපහාර උළෙල ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ විධායක කමිටුවේ සංවිධානයකි.


ජෝති චිත්‍රපට ගී ඩීවීඩී තැටිය

අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලගේ චිත්‍රපට ගීත 50 ක් ඇතුළත් ඩී. වී. ඩී. තැටියක් පසුගියදා නිකුත් විය. චිත්‍රපට දර්ශන සමඟම එම ගීත ඩී. වී. ඩී. තැටියට අන්තර්ගත කොට ඇති අතර සිනමා තිරය ජෝතිමත් කළ ගීත ඊට ඇතුළත් වේ. එම ගී තැටිය සමඟ ගීත 50 පදමාලා අඩංගු ග්‍රන්ථයක්ද හිමි වේ. මෙම ඩී. වී. ඩී. තැටිය සහ ග්‍රන්ථය ඩබ්ලිව්. ජයසේන ද අල්විස්ගේ නිෂ්පාදනයකි. ග්‍රන්ථයේ සැකසුම සිනමා ලේඛක රූපසේන සිල්වා විසිනි.