වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




මට උන්හැටිතැන් අමතක වුණා

මට උන්හැටිතැන් අමතක වුණා

ඩිෂ්නි රාජපක්ෂ

ඩිෂ්නි රාජපක්ෂ සුදර්ශියට ආවේ අහම්බයෙනි. වටපිට බැලූ ඇයට දැකගන්නට ලැබුණේ සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන සරත් ධර්මසිරිවය. ඔහු චීන යුවතියන් කිහිප දෙනෙකු සමඟ කතාබහ කරමින් සිටියේය. ඩිෂ්නි, සරත් විසින් තිර රචනා කළ බෝගල සවුන්දිරිස් නාට්‍යයට ඉතාම ප්‍රිය කළාය. එමෙන්ම ඇත්කඳ ලිහිනියා ඇතුළු සරත්ගේ නාට්‍යයන් ඇය රස විඳ තිබිණි. තමන් අදරය කරන නිර්මාණකරු චීන තරුණියන් සමඟ කුමක් කතා කරන්නේදැයි කුතුහලයකින් යුතුව ඇය තමන් පැමිණි කාර්යය සඳහා යන්නට ගියේය. මොහොතකින් ඇය ළඟට පැමිණි තරුණයෙකි.

මං සරත් ධර්මසිරි මහත්තයගේ ඇසිස්ටන්. සරත් මහත්තයා ඔයාට පොඩ්ඩක් එන්න කිව්වා.

තරුණයා එලෙස පැවසූ වදනින් ඩිෂ්නි පුදුමයට පත් විය. ඇය ඒ මනසින් සරත්ව මුණගැසිණ.

ඩිෂ්නි සරත් ළඟට ගොස් කතාබහ කළේ තමන් පුංචි තිරයේ දුටු සරත්ගේ නිර්මාණ ගැන ද මතක් කරමිනි. කතාව එදා සාමාන්‍ය ලෙස නිමා වුවත් ඩිෂ්නි විශ්මයට පත් වන්නේ ඉන් දින දෙකකට පසුවය.

සරත් සර්ගෙන් මට දුරකතන ඇමතුමක් ලැබුණා.

'මං ඔයාව මගේ ඊළඟ නාට්‍යයේ ප්‍රධාන චරිතයට ගන්නවා.' එහෙම තමයි ඔහු කිව්වේ. මට උන්හැටිතැන් අමතක වුණා. මං වීරයෙක් වගේ සලකන කෙනෙක් මට නාට්‍යයකට කතා කළාම ආයේ ඉතින් තව දේවල් මොකටද.

මොකක්ද ඒ නිර්මාණය? ඔබ රඟපෑවේ එහි වෙනස්ම චරිතයක් නේද?

ඒ නාට්‍යයේ නම සුළඟ ඔබ ලුහුබඳියි. මට රඟපාන්න තිබුණේ සෙයින් නමැති තායිිලන්ත කුමාරියකගේ චරිතයක්. අර එදා සරත් සර් චීන ජාතික ගැහැනු ළමයි කිහිප දෙනෙකුව ඉන්ටර්වීව් කරලා තිබුණේ ඒකට තමයි. ඔහු මාව දැකලා එදා කතා කරලා තිබුණේ මාව ඒ චරිතයට ගන්න. චීන ළමයින්ගේ ඉංග්ලිෂ් භාවිතය ගැන ඔහුට ගැටළුවක් තිබිලා. ඒ අතරතුරදියි සරත් සර් මාව දැකලා තියෙන්නේ.

ඔබේ අවාසනාවට තවම ඒ නාට්‍ය විකාශය වූයේ නැහැ?

ඇත්තටම කිව්වොත් අයියේ ඒක හයිිබජට් වැඩක්. පුත්තලම ප්‍රදේශයේ බොහෝ දුෂ්කරතා මැද කලාත්මකව ඒ නාට්‍ය කළා. මොකක් හෝ අවාසනාවකට එය ටෙලිකාස්ට් වුණේ නැහැ. මං මේ නාට්‍ය එනකම් අවුරුදු දෙකක් විතර රඟපෑවෙත් නැහැ. රඟපාන්න ආරාධනා ගොඩක් ලැබුණා. මට හිතුණා මං මේ නාට්‍යයෙන්ම එළියට එනවා කියලා.

ඒත් ඔබ ඒ ප්‍රතිපත්තිය බිඳිනවා?

ඒක වුණේ පත්තිනි නාට්‍යයට මට ලැබුණු ඇරැයුමත් එක්ක. මං විශ්වාස කරනවා ඒකත් මගේ රංගන ජීවිතයේ ටර්නිං පොයින්ට් එකක්. පත්තිනි නාට්‍යහී අධ්‍යක්ෂ තුෂාරි අබේසේකර අක්කා මට එහි මාධවී චරිතයට කතා කළේ. ඒ වගේ නිර්මාණයක් කොහොම අත හරින්නද. මං ඉතින් ඒකෙ රඟපෑවා.

මේ දිනවල ඔබ ඉන්න නාට්‍ය තුනක් විකාශය වෙනවා නේද?

ඔව්. සඳපිනි වැස්ස, පිනි සහ හිතුවක්කාරයා.

ඒවාහි චරිත ගැනත් මතක් කළොත්?

සඳපිණි වැස්සේ මංජරී, පිනි නාට්‍යයේ ස්වේතා, හිතුවක්කාරයා මදාරා.

මේ චරිත ත්‍රිත්වයෙන් ඔබට වඩාත් සමීප?

ස්වේතා තමයි. ඒ චරිතය හරිම කරුණාවන්තයි. කලබල නැහැ. අනෙක් චරිත දෙක එහෙම නෙවෙයි.

රංගනයට අමතරව ඔබට ඇති වෙනත් හැකියා මොනවාද?

මට නර්තනය පුළුවන්. වසර එක හමාරක් මං චන්න විජේවර්ධන සර් යටතේ නර්ථනය හැදෑරුවා.

මෙගා නොවන නාට්‍යයකින් රංගන දිවිය ආරම්භ කොට ඔබ අද වන විට මෙගා නිළියක් බවට පත් වෙලා ඉන්නවා. මොකද කියන්න තියෙන්නේ?

නාට්‍ය මෙගා වුණත් මට දැනෙන්න රඟපාන්න පුළුවන් චරිතයක් තියෙනවා නම් මං බාර ගන්නවා. මොනවා වුණත් පිටපතක් නැතුව නම් රඟපාන්නේම නැහැ.

ඩිෂ්නි ගැන කෙටි තොරතුරු කිහිපයක්.

ගම - කුරුණෑගල.

ඉගෙන ගත් පාසල් - කුරුණෑගල මලියදේව විදුහල සහ

කොළඹ රෝයල් ජාත්‍යන්තර පාසල.

ඇය තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිධාරිනියකි.

උපන් දිනය - ජූලි 24.

පවුලේ විස්තර - මව පියා සහ නංගිලා දෙන්නා.

විවාහක අවිවාහක බව - අවිවාහකයි.