වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




සෙත් කවියක් වැනි ගීතයක්

සෙත් කවියක් වැනි ගීතයක්

ගීතයකින් කොතරම් දේවල් කළ හැකිද? විඩාපත් මනසකට සුභාවිත ගීතය හොඳ ඖෂධයක් බව මනෝ විද්‍යාඥයන් පෙන්වා දී තිබෙනවා. ජීවිතේ දහසකුත් රාජකාරිත් මැද බොහෝ දෙනෙක් ගීතයක් දෙකක් අහන්නේ ඒ හින්දයි. මේ කියන්නට සැරසෙන්නේ ගීතයකින් කළ හාස්කමක් ගැනයි. ඒ අත්දැකීම බුද්ධික ජයරත්නගේ. මේ සිදුවීම වුණේ ඔහගේ පුංචි පුතු ඉපදුණ දවසේ. නියමිත කාලයට පෙර බුද්ධිකගේ සිඟිත්තා මෙලොව එළිය දුටුවා. ඔන්න දවසක් සිඟිති පුතු අඬන්න පටන් ගත්තලු. බුද්ධික අතට අරගෙන බලපුවාම හේතුව හොයා ගන්නවා. බඩගින්නට පුතු හඬලා තියෙන්නේ. ඔහුගේ බිරිය සිසේරියන් සැත්කමකට මුහුණ දීපු නිසා ටිකක් අමාරුවෙන් ඒ මොහොතෙ බබාට කිරි දෙන්න හැදුවලු.

වේදනාව නිසා ඒ කාර්යය සුළු මොහොතකට පමා කරන්නට සිදු වෙලා. බුද්ධික දැන් කෑගගහා අඬන බබාව නළවන්න හදනවලු. කොච්චර ට්‍රයි කළත් නළවගන්න බැරිවෙලා. මේ මොහොතේ බුද්ධිකට එකපාරටම ගීතයක් මතක් වෙලා. ඒ සිසිර සේනාරත්න ගයන මාගෙ පුතුට මල් යහන සදන්නේ තමයි ඒ ගීය. බුද්ධික බබාව තුරුලු කරගෙන ඒ සින්දුව කියන්න පටන් ගත්තලු. ඒක හරියට සෙත් කවියක් වගේ බබාට දැණිලා. ගීතය අහගෙන හිටපු පුතු පැටියා ඇඬිල්ල නවත්වලා බුද්ධිකගේ උණුසුමට තුරුලු වෙලා නිදා ගත්තලු. ඔන්න බලන්න ඒ ගීතයේ ඇති විශ්්මයජනක බව. ධර්මසිරි ගමගේ මහත්තයා ලියපු ඒ ගීතය ඇත්තටම සෙත් කවියක් වගේ.