වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




ආරාධනා ලැබුණොත් යළිත් ළහිරු සමඟ වැඩසටහන් කරනවා

ආරාධනා ලැබුණොත් යළිත් ළහිරු සමඟ වැඩසටහන් කරනවා

මුදිත විජේසුන්දර

වෙනත් වැඩසටහන් මෙහෙයවමින් සිටිය මුදිත විජේසුන්දරව අද වන විට ප්‍රවෘත්ති නිවේදකයකු ලෙසින් අපට හමුවෙයි. ස්වර්ණවාහිනිය ඔස්සේ ස්වකීය නාමය මෙන්ම රුව ජනගත කළ ඔහු රංගනයෙන් ද සිය හැකියාව ප්‍රකට කළේය.

වසර පහළොවකට ආසන්න කාලයක් කලා ජීවිතය තුළ භුමිකා කිහිපයකට පණ පෙවූ මුදිත ඒ පරිච්ඡේදයන් තුළ ස්වර්ණවාහිනිය අත නොහැරීමට ද වග බලා ගත්තේය.

මුදිත, වත්මනහි ඔබව දැකිය හැකි වන්නේ ප්‍රවෘත්ති විකාශය තුළදී පමණයි. ඇයි මේ කොටුවීමක්?

ඒක කොටුවීමක් හැටියට මං දකින්නේ නැහැ. ලැබෙන වගකීම උපරිමයෙන් මං ඉටු කරනවා. මම හිතනවා මට වෙනමම නමක් හැදුණා කියලා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම තුළින්. බොහොම සතුටිනුයි මං ප්‍රවෘත්ති නිවේදනයේ යෙදෙන්නේ.

මේ වන විට ඔබ වෙනත් වැඩ සටහන් කරන්නේම නැති තරම්?

ඔව්. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම පමණයි සිදු කරන්නේ.

කොහොමද ඒ වෙනස දැනෙන්නේ?

මම ළැදි වැඩි දෙනෙක් මාව ප්‍රවෘත්ති නිවේදකයකු හැටියට දකින්නට බලාපොරොත්තු වුණේ නැහැ. ඔවුන් වඩාත් ප්‍රිය කළේ මං රිලැක්ස් එකේ ඉදිරිපත් කරන වැඩසටහන්වලට. මගේ ස්ටයිල් එකට ඔවුන් ප්‍රිය කළා. මං ප්‍රවෘත්ති නිවේදනයට ආවට පස්සේ ඇතැම් අය පුදුමත් වුණා. මේ වන විට මට වෙනමම ප්‍රතිචාර ලැබෙනවා ප්‍රවෘත්ති නිවේදනය සඳහා.

මං අහලා තියෙනවා ඔබ හා හා පුරා කියලා ස්වර්ණවාහිනියට එන්නේ ප්‍රවෘත්ති නිවේදනය උදෙසා කියලා?

ඔව්. මට ඒ සඳහා ඉඩ ප්‍රස්තාව ලැබුණේ නැහැ. කාලයක් ඉඳලා හැදිලා නිවුස් කියන්න කිව්ව. ඒ කාලය අතරතුරදී මං වෙනත් වැඩසටහන් ඉදිරිපත් කරන්න පෙළඹුණා.

ඔබට ඉන් හරි ගියා?

ඒ කාලේ වැඩසටහන් ගොඩක් තිබුණනෙ. මං ඉතින් ප්‍රවෘත්ති හැර අනෙක් සේරම අංශවල වැඩසටහන්වල නිවේදනයෙන් මෙහෙයවලා තියෙනවා. ඒවා නිසා මං හුඟක් ජනප්‍රියතාවයට ද පත් වුණා.

අද වන විට ඒ ජනප්‍රියතාවය ගැන මොකද කියන්නට තියෙන්නේ?

ජනප්‍රියත්වය කාලෙන් කාලෙට සාපේක්ෂයි. එදා මට ඉහළ ප්‍රතිචාර ලැබුණා. දවසට ලියුම් ගණනාවක් අපේ ගෙදරට ආවා. සතියකට ලියුම් දහසක් විතර තියෙනවා. ඒ ලියුම් සංස්කෘතිය තිබුණු කාලේ. අද වන විටත් මගේ ජනප්‍රියත්වය යම් මට්ටමක තියෙනවා කියලා විශ්වාසයි. කටහඬින් නම් මාව ගොඩක් දෙනෙක් හඳුනනවා.

ඔබේ නිවේදක සගයා වූ ළහිරුත් එක්ක ආයෙත් වැඩසටහනක් කරන්න අදහසක් නැතිද?

අපි දෙන්නා කාලයක් එකට වැඩ සටහන් කළා. කොෆී විත් ලහිරු ඇන්ඩ් මුදිත ඉන් ගොඩක් ජනප්‍රිය වුණා. අපි එය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙද්දියි නැවැත්වුවේ. එහෙම කළ නිසයි අදටත් ඒක ජනප්‍රිය. ආරාධනාවක් ලැබුණොත් ළහිරුත් එක්ක වැඩ සටහනක් කරනවා.

ඔබේ සමකාලීනයින් අදවන විට මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔබට වඩා ඉහළ තැන්වල ඉන්නවා. ඔබ ඇයි තරමක් පසුගාමී වුණේ?

ඇත්ත, මගේ සමාකාලීනයෝ අද මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ පුටුවල. මං තවම පහළ ඉන්නවා කියලා නෙවෙයි මං කියන්නේ. මං අද යම් තැනක ඉන්නවා. ඒ තැන මට ඕකේ. එතැනින් එහාට යන්න මට ලොකු අදහසක් නැහැ.

ස්වර්ණවාහිනිය අත හරින්නේ නැත්තේ ඇයි?

ස්වර්ණවාහිනිය මට ගෙදර වගේ. අවුරුදු පහළොවකට ආසන්න කාලයක් මං මෙහෙ ඉන්නවා. වෙනත් නාලිකාවලට ඇරයුම් ලැබුණත් ස්වර්ණවාහිනිය දාලා යන්නේ නැත්තේ මං මෙතැනට ගොඩක් ආදරේ නිසා.

කාලයක් ඔබ ගවේෂණාත්මක වැඩසටහනක් කළා නේද?

ඔව්. ඒකෙ නම දුටු නුදුටු. සංචාරයේ යෙදෙමින් ගවේෂණය කරමින් වෙනස් මානයන් සොයා මං ප්‍රේක්ෂකයාට ගෙන ආවා. මට ඒ අන්දමේ වැඩසටහන්වලට කැමැත්තක් ඇති වුණේ ධර්මසිරි ගමගේ සර් නිසා. එතුමාණන් සමඟ මං කාලයක් ශනිදා සාදය කියලා වැඩසටහනක් කළා. ගමගේ සර් සංචාරයේ යෙදුණ ස්ථාන ගැනයි ඉන් කතාබහ වුණේ. මටත් හිතුණා එහෙම ඇවිදලා කරලා වැඩ සටහනක් කරන්න. ඒ ඔස්සේ තමයි දුටු නුදුටු බිහි වුණේ. එය කාලයක් මගේ සිතේ තිබුණු බලාපොරොත්තුවක ඉටුවීමක් කියලා කියන්නට පුළුවන්.

මාධ්‍ය ජීවිතයේ අමතක නොවන මතකයක් ගැන මං ඇහැව්වොත්?

දුටු නුදුටු කරන කාලේ මං රාජ්‍ය නායකයකු යන්න හිිටපු චොපර් එකක් ෂූට් කරලා පොලීසි යන්නත් වුණා. එතකොට රටේ යුදමය වාතාවරණයක් තිබුණේ. මං එච්චර නොහිතා ෂූට් කළා. අන්තිමේ පොලීසි ගිහින් නතර වුණේ.

කොහොමද ඔබේ රංගන කටයුතු?

අන්තිමයට රඟපෑවේ සීරජ නාට්‍යයේ. දස්කොන් නාට්‍යයත් මහ රජ ගැමුණු චිත්‍රපටයෙත් මං රඟපෑවා. සීමා සහිතවයි මං රංගනයේ යෙදෙන්නේ.