වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




මේ අග්‍රගණ්‍ය සම්මානය මෙවර දිනන  තරුණ සිනමාකරු කවුද?

මේ අග්‍රගණ්‍ය සම්මානය මෙවර දිනන  තරුණ සිනමාකරු කවුද?

හෙළ සිනමාවේ මහා කලා මංගල්‍යය 'සරසවිය සිනමා සම්මාන උළෙල' නවක සිනමාකරුවන් දිරිගැන්වීම උදෙසා 2016 සම්මාන උළෙලින් හඳුන්වාදුන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සඳහා තරුණ සිනමාකරුවන්ගේ චිත්‍රපට ඉදිරිපත් කරන ලෙස සරසවිය දන්වා සිටී. එම සම්මානය පිදෙනුයේ අධ්‍යක්ෂවරුන්ගේ කුලුඳුල් සිනමා පටය සඳහාය. ඒ අනුව 2016 වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා ද, 2017 ජනවාරි පළමුවැනිදා සිට දෙසැම්බර් 31 දා දක්වා කාලය ඇතුළත ප්‍රසිද්ධ රැගුම්පාලක මණ්ඩලයේ සහතිකය ලැබූ අධ්‍යක්ෂවරයකුගේ ප්‍රථම සිනමා පටයන් ඒ සඳහා ඉදිරිපත් කළ හැකිය. සම්මානයට අයැදුම්කරන නිර්මාණකරුවන් තම සිනමාපටය පිළිබඳ මූලික විස්තර (චිත්‍රපටයේ නම, නිෂ්පාදක, අධ්‍යක්ෂ සහ දුරකතන අංකය, චිත්‍රපටයේ කාලය...) අන්තර්ගත කොට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සහතිකයේ පිටපතක් සමඟ සතියේ දිනවල කාර්යාල වේලාවන් තුළදී සරසවිය කර්තෘ මණ්ඩලයට ගෙනවිත් බාරදිය හැක. එසේත් නැත්නම් අදාළ ඉල්ලුම්පත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය යනුවෙන් ලියුම්කවරයේ සටහන් කොට සරසවිය ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමටද පුළුවන. 2016 හා 2017 වසර ද්විත්වය සඳහා වෙන වෙනම සම්මාන ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මඟින් පිදෙනු ඇත. ඔවුන් හමුවේ ප්‍රදර්ශනය කිරීමට ඩී. සී. පී. පිටපතක් අවශ්‍ය විට ඉදිරිපත් කළ යුතුය.

අයදුම්පත් මාර්තු 31ට කලින් එවන්න
 

සිනමාවේ කිවිඳීය කාන්තා දිනයේදී ඇගැයේ

ජාත්‍යන්තර කාන්තා දිනයේදී සිනමාවේ කිවිඳීය සුමිත්‍රා පීරිස්ව ඇගයීමට ලක් කෙරෙයි. ඒ මේ මස 07 වැනිදා පස්වරු 4.30ට අංක 58, ධර්මාරාම පාර, කොළඹ 08 පිහිටි කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදීයි. එලෙස ඇයව ඇගයීමට ලක් කරන්නේ සම්ප්‍රදායික නොවන වෘත්තිය ක්ෂේත්‍රයක ප්‍රවීණයකු විදියට කාන්තාවක ලෙස ඉහළම දායකත්වයක් දැක්වූ කාන්තාවක ලෙසයි. එමෙන්ම

ඒ ක්ෂේත්‍රයේ මූලිකත්වය ගෙන කටයුතු කිරීම හා නව පරපුර දක්වා ආදර්ශ භූමිකාවක් සැපයූ කාන්තාවක ලෙසද සිනමාවේ කිවිඳීය මෙහිදි ඇගයීමට ලක්වෙයි. - තිලානි

එම්. පී. අයි. මණ්ඩලයට අරෝෂ හා සදේශ් පත්වෙති

මෙරට චිත්‍රපට ප්‍රදර්ශක මණ්ඩලයක් වූ එම්. පී. අයි. ප්‍රදර්ශක මණ්ඩලයේ අධ්‍යක්ෂ ධුරයට ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරුන් දෙදෙනෙක් පත් වූහ.

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු සහ ආර්. සදේශ් කුමාර් එම නිෂ්පාදකවරුන් දෙපොළ වේ. සිනමා ශාලා තිස් හතරකින් සමන්විත එම්. පී. අයි. මණ්ඩලය මෙම වසර අග වන විට වඩාත් ඉහළ තැනකට ගෙන ඒමට එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් සමඟ මේ වන විට සාකච්ඡා කරන බව ආචාර්ය අරෝෂ සරසවිය හා පැවසීය.

ජීවන විල මැද අනුරාධපුර පිපේ

සිංහල සිනමාව ස්වකීය මධුර මනෝහර කටහඬින් ඔපවත් කළ විශාරද සුජාතා අත්තනායක ගීතවත්වන මියුරු ප්‍රසංගයක් 'ජීවන විල මැද' එළඹෙන මාර්තු මස 03 වැනිදා අනුරාධපුර යොවුන් නිකේතනයේදී පැවැත්වෙනු ඇත. විශාරද ජගත් වික්‍රමසිංහ සංගීතය මෙහෙයවනු ලබන මෙහිදී සුජාතාවන්ගේ පුතු හේලී මුනුපුරු අයෝධි සහ මිනිපිරි රන්දේශා යුග ගායනයෙන් එකතුවනු ඇත. ඇගේ සුමියුරු ගීත 22 කින්ද ප්‍රසංගය සමන්විත වන අතර නර්ථනයෙන් කුලසිරි බුදවත්ත රංග ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ප්‍රසංගය වර්ණවත් කරනු ඇත.

තලේ වෙනුවෙන් උපකාරයක්

දශක ගණනාවක් තිස්සේ කැමරාවෙන් පෙළහර පෑ වී. හේමපාල (තලේ) දැඩි ලෙස අසනීපව මේ දිනවල කාලය ගත කරයි. ඔහුට බයිපාස් සැත්කමක් කිරීමට අවශ්‍ය යැයි වෛද්‍යවරුන් පවසා සිටින බව හේමපාල සරසවිය හා ප්‍රකාශ කර සිටියේය. දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජීවිතය ගත කරන ඔහුට මේ මොහොතේ සැත්කම සඳහා කිසියම් කෙනකු උපකාරයක් කරනවා නම් බෙහෙවින් කෘතඥ වන බව ඔහු සඳහන් කළේය. 0779262766 මේ ඔහුගේ දුරකතන අංකයයි.

යසෝදරා සමඟ පිළියන්දලට අලුත් ශාලාවක්

සුරංග ද අල්විස් සහ අර්ජුන කමලනාත් මෙරට සිනමා හල් නව්‍යකරණය කිරීමේ පියවර යටතේ ඊළගට විවෘත වනුයේ පිළියන්දල දයාසෙවන සිනමාශාලාවයි. එය මේ දිනවලදී ඩිජිටල් තාක්ෂණයෙන් යුතුව නව්‍යකරණය වෙමින් පවතියි. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ යශෝධරා සිනමා පටය සමඟින් පිළියන්දල දයාසෙවන යළි විවෘත වනු ඇත.

දොලොස්මහේ සිනමාව 2016 එළිදකී

සිනමා ලේඛක බර්නාඩ් ශ්‍රීකාන්ත විසින් රචනා කළ දොළොස් මහේ සිනමාව - 2016 ග්‍රන්ථය පසුගියදා නිකුත් විය. 2016 වසරේ තිරගත වූ සියලුම චිත්‍රපටවල නළු නිලියන්, කාර්මික ශිල්පීන් ඇතුළු සියලු විස්තර මේ සඳහා ඇතුළත් වේ. එමෙන්ම එම පැවැත්වූ සිනමා සම්මාන පිළිබඳද මීට ඇතුළත්ය. විශේෂයෙන් සිනමාව ගැන අධ්‍යයනය කරන අයකුට මෙම ග්‍රන්ථය බොහෝසෙයින් වැදගත්වන අතර එය කර්තෘ ප්‍රකාශනයක් ලෙසින් එළිදැක්වී තිබේ.