වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ඇරැයුම් ලැබුණොත් රඟපානවා

ඇරැයුම් ලැබුණොත් රඟපානවා

මධුසංඛ ඉරෝෂන්

* දෙරණට ආ පළමු දවසේම අපූරු දඬුවමක්
* ප්‍රවෘත්ති නිවේදනය මගේ ඇඟේ තියෙනවා
* ලොරි රථය වගේ වචන තමයි කියන්නට අමාරු

මම පළමුවෙන්ම සම්බන්ධ වන්නේ හිරු ගුවන් විදුලියට. පසුව ශ්‍රී ටී. වී. ආතනයට එක්වන්නට වාසනාව උදාවනවා. 2014 ජූලි මස 07 වැනිදා ඉඳලා මං දෙරණෙ. එතැන් පටන් මේ දක්වා අඛණ්ඩව එහි මා සේවය කරනවා. විශේෂම කාරණය වන්නේ ප්‍රවෘත්ති නිවේදකයකු විදිහට මාව දැන හඳුනා ගත්තට මං දෙරණට එන්නේ නිෂ්පාදකවරයකු ලෙසට. ඒ තනතුරට අමතරවයි මං නිවුස් කියන්නේ.

එලෙස කතාවට එක් වුණේ මධුසංඛ ඉරෝෂන්. සෙනසුරාදා දහවල් 12.30 ප්‍රවෘත්ති විකාශය සහ දිනපතා පැයෙන් පැය ප්‍රවෘත්ති ඔස්සේ ඔහු ඔබ හමුවට එනවා.

ප්‍රවෘත්ති නිවේදනය කියන දේ මගේ ඇඟේ තියෙනවා. ඒ හැකියාව අපතේ යයි කියන බයටයි මං ප්‍රවෘත්ති කියන්නේ. නිෂ්පාදකවරයකු හැටියට උරුමය සොයා, විනිවිද, පුරවරුණ ආදී වැඩසටහන් ගෙන එනවා. ඒවායේ නිවේදනය කරන්නෙත් මම.

මධුසංඛ දෙරණට ආ පළමු දවසේම අපූරු දඬුවමකට මුහුණ දෙනවා. ඒ එකම ඇඳුම පිටින් දවස් තුනක් ඉන්නට සිදුවීම.

මං දෙරණට ඇවිත් සුපුරුදු රාජකාරි ටික නිම කරද්දීම මට කිව්වා මනුසත් දෙරණ වැඩ සටහන වෙනුවෙන් දෙහිඅත්තකණ්ඩියේ යන්න කියලා. ආව පළමු දවස හින්දා මං මුකුත් කියන්නෙම නැතුව වාහනයට නැංගා. කෙළින්ම දෙහිඅත්තකණ්ඩියේ. පහුවෙනිදා වැඩසටහන කරලා තෙවැනි දවසේ කොළඹ ආවා. එකම ඇඳුම ඇඳගෙන වැඩසටහන කරන්නට වුණේ.

ප්‍රවෘත්ති කියද්දි වැරැදිච්ච අවස්ථා නැතිද? අප ඊළඟට එහෙම ඇහැව්වා.

අපොයි තියෙනවා. ඒ වගේ වෙලාවල්වලදී ගාණට බැලන්ස් කරගෙන මුකුත් නොවුණා වගේ ඉදිරියට යනවා. ඔය ලොරි රථය වගේ වචන තමයි කියන්නට අමාරු.

ළමා වියේදී මධුසංඛ රංගනයේ නියැළිලා තිබෙනවා. ඒ ගැනත් ඔහු මෙලෙස සඳහනක් කළා.

ගිරිකුළු කියලා නාටකයේ රඟපෑවේ. ඒකේ බුද්ධදාස විතානාරච්චි මහත්මයත් හිටියා. මං එහි ළමා චරිතයක් කළේ. වර්තමානයේදී නම් රංගනයට ඇරැයුම් ලැබිලා නැහැ. නමුත් එවන් වූ ආරාධනාවක් ලැබුණොත් නොසලකා හරින්නෙත් නැහැ.

මධුසංඛ ප්‍රවෘත්ති කියන්නට පටන් ගත් මුල් කාලයේදී ඔහුගේ මිත්‍රයින් විස්මයට පත් වුණාලු.

මං පොඩි කාලේ ඉඳලා වැඩිය කලඑළියට එන්නේ නැති ළමයෙක්. උසස් පෙළ හැදෑරුවෙත් වාණිජ විෂයන්. එහෙම හිටපු මම ප්‍රවෘත්ති කියන්නට ඒවි කියලා කවුරුවත් හීනෙකින්වත් හිතුවේ නැහැ. ඇතැම් අය මාව බයිට් කරන්නටත් ගත්තා. ඒ වුණාට දැන් මගේ හැකියාව ඔවුන් දැකලා තියෙන නිසා ගැටලුවක් නැහැ.

මධුසංඛගේ ගම කඩුවෙල. ඉගෙන ගෙන තිබෙන්නේ කෝට්ටේ ජනාධිපති විදුහලෙන්. නිෂ්පාදකවරයකු ලෙසට ඉදිරිය දකින්නයි ඔහුගේ එකම අපේක්ෂාව.

හරියට බැලුවොත් අපි දින හතේම වැඩ. මගේ රාජකාරිය මං උපරිමයෙන් ඉටු කරනවා. නිෂ්පාදකවරයකු ලෙසට ගුණවත් දේ ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්නටයි මගේ එකම බලාපොරොත්තුව. කාර්ය බහුලකම මැද මං මේ වසරේ විවාහ වන්නටත් හිතාගෙන ඉන්නවා. එහෙයින් සතුටින් කාලය ගත කරනවා.