වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

වර්තමානයේ නිර්මාණය වන චිත්‍රපට හා ටෙලි නාට්‍ය පිළිබඳ ඔබගේ අදහස් විශේෂයෙන් ලියා එවන්න.

පූජා කෝ හපන්කම්

හැඩකාර, කටකාර, දඟකාර චරිත නිරූපණය කරන්නට උපන් හපන්කම් දක්වන පුජා උමාශංකර් 'සරිගම' චිත්‍රපටයෙන් පසු දක්නට නොලැබුණි. ඉදිරියේදී ඇයට ඉතාමත් හොඳ චරිත ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.

කෙනත් පෙරේරා
වැලිගම්පිටිය
ජාඇල


බැප්ටිස් කිසිදා අමතක නොවේ

සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පීන් අතර ඔහුට හිමි වන්නේ සුවිශේෂී තැනකි. ඔහු මිය ගොස් මේ වන විට (පෙබ: 02) වසරකි. පෙරකදෝරු බෑණා තුළින් සිනමාවට පිවිසි බැප්ටිස්ට් ප්‍රනාන්දු සත පනහ ඔහොම හොඳද, සහනය, තුෂාරා, ප්‍රදීපේ මා වේවා, හොඳට හොඳයි චිත්‍රපට තුළ ප්‍රධාන දුෂ්ටයා විය. පසුව සෙවන් ආට්ස් සමාගම පිහිටුවා දුෂ්ටයාගෙන් මිදී දුප්පතාගේ හිතවතා, ටිකිරා, සුදු අයියා, ඒක දිග කතාවක් චිත්‍රපට තුළින් වීරයා, කතා නායකයා චරිතවලට ජීවය දුන්හ. අංගුලිමාල ඔහු තුළින් බිහි වූ අවසන් චිත්‍රපටයයි. ඔහු මිය ගියත් එම රංගන පෞරුෂයන් කිසිදා මිය නොයයි. බැප්ටිස්ට් යනු අපට කිසිදා අමතක කළ නොහැකි චරිතයකි.

ආනන්ද වික්‍රමආරච්චි
ඉහළ තල්දූව


නොමියන සිහිනය කාලෝචිතයි

17 බදාදා ස්වාධීන රූපවාහිනි සේවයේ රාත්‍රී 9.45 සිට විකාශය කළ නොමියන සිහිනය වැඩසටහන ඉතා උචිත වැඩ සටහනකි. එහිදී මියගිය සංගීතවේදී මොහොමඩ් සාලි මාස්ටර් පිළිබඳ අතීත තොරතුරු රැසක් අපට ශ්‍රවණය කිරීමට හැකියාව ලැබුණි. තමාට ගී ලියූ අයට උපකාර වශයෙන් මුදල් දුන් ගායක මිල්ටන් මල්ලවාරච්චි පිළිබඳ අප නොදන්නා තොරතුරු එහිදී හෙළි විය. ඔරුවක පාවෙන ගීතයේ සංගීතය නිර්මාණය කළ සාලි මාස්ටර් හට එම ගීතයේ කැසට්පටයෙන් ලැබුණු ආදායමෙන් කොටසක් දුන් මිල්ටන් මල්ලවාරච්චි ගායකයා පිළිබඳ එහිදී සිහිපත් කෙරිණි.

දිනේෂ් ගුණසේකර
නුපේ, මාතර


වෙළඳ සේවයට මල් මිටක්!

උගත්, බුද්ධිමත්, දක්ෂ ගායන ශිල්පීන්, සංගීත ශිල්පීන්, වාදන ශිල්පීන්, ගීත රචකයින් සහ නිවේදක නිවේදිකාවන් රැසක් බිහි කළ ඒ වාගේම අර්ථවත් ගුණාත්මක ගීත රැසක් නිෂ්පාදනය කොට එය ප්‍රමිතිගතව ප්‍රචාරය කිරීමේ ගෞරවය ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවයට හිමි වේ. වෙළඳ සේවය සැමදා වැජඹේවා.

ජයන්ත අමරතුංග
චන්දන පොකුණ
පොලොන්නරුව


උපාලි ගැන අසන්න ලැබේවා!

අතුරුදන් වූ රංගන ශිල්පී උපාලි කීර්තිසේන ගැන හරි තොරතුරක් මේ නව වසරේවත් අපට අසන්නට ලැබේවා.

ගාමිණී මහබාලගේ
පිළියන්දල


රංගාභිෂේකයේ පහන්සිළුව වූ ස්වර්ණාට

සිංහල සිනමාව ස්වර්ණාලෝකයෙන් මුසපත් කළ රංගාභිෂේකයේ පහන් සිල ස්වර්ණා මල්ලවආරච්චියි. අද්විතීය රූපනවේදිණියක් වූ ස්වර්ණා ඇයගේ රංගන අභ්‍යාසයන් තුළින් ලත් පන්නරයෙන් සුද්දිලාගේ කතාව,කැඩපතක ඡායා, මී හරකා, හංස විලක්, සත් සමුදුර යන සිනමාපට තුළින් කලාත්මක සිනමාව තුළ නව ප්‍රවණතාවයක් ඇති කළ රූපණවේදිනියකි. දඩයම චිත්‍රපටය වෙනුවෙන් උත්කෘෂ්ඨ රංගනයක නිරත වූ ස්වර්ණා සිනමාවේ නව පිබිදීමක් ඇති කළ ශිල්පිනියක් වූවාය. සිංහල සිනමාවේ මිණි පහනක් බඳු ස්වර්ණා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති දක්ෂ රංගන ශිල්පිනියකි. එතුමියගේ කලා දිවියට රසික අපි හදවතින්ම සුබපතමු.

එම්. ඉන්ද්‍රපාල
ශ්‍රී සංඝමිත්තා මාවත
මුංහේන


දෙයියන්ගේ රටේ පෙන්නන්නකෝ දෙයියෝ

මේ ශ්‍රීපාද වන්දනා සමයයි. ප්‍රවීණ නළු නිළියන් රැසක් රඟපාමින් සිරිපා අඩවියේ රූගත කළ 'දෙයියන්ගේ රටේ' චිත්‍රපටය ස්වාධීන රූපවාහිනිය ඔස්සේ නැරැඹීමට සලස්වනවා නම් අගේ කොට සලකමි. පුණ්‍යා හීන්දෙනිය, සේනාධීර රූපසිංහ මෙහි ප්‍රධාන චරිත රඟපෑවේය.

ජී. එම්. කරුණා මාලිනී
තැපැල් කා: අසල
කිතුල්ගල


ජෝති රැක ගන්නට සැලසුමක් හදමු

35 වසරක් පුරා ගීත ගැයූ එච්. ආර්. ජෝතිපාල ගායනා කළ ගීත අද ඇතැම් සංගීත කණ්ඩායම් ඔවුන්ගේ ගීත මෙන් හිතු හිතූ ආකාරයට පද හා ගායන ශෛලිය වෙනස් කරමින් ජෝතිගේ ගීත විකෘති කරන බවක් පෙනෙන්නට තිබේ. මෙයට වගකිව යුත්තන්ගේ අවධානය යොමු වේවා.

කොලොන්නාවේ විජේසිරි
බදුල්ලේ කිත්සිරි ගුණසේන


සුජාතාට නිවන් සුව

එදා රිදි තිරය රංගනයෙන් ඔපවත් කළ මතකයන් ඉතිරි කර ජීවිත රඟමඬලෙන් සමුගෙන ගිය සුජාතා විජේසේකර රංගවේදිනියනි, ඔබට නිවන් සුව පතමි.

අතුල රම්‍යසිරි
පානදුර


තිලකා අම්මටයි සාරංග පුතාටයි ආසිරි

සෑම බදාදා දිනකම ජාතික රූපවාහිනියේ වැඩ සටහන් මෙහෙයවන ආදරණීය අම්මා තිලකා රණසිංහත් දයාබර පුතා සාරංග දිසාසේකරත් ඔබ දෙදෙනාගේ දස්කම් රටට පෙන්වන තවත් අනගි අවස්ථාවකි. මේ පෙම්බර අම්මාගෙත් ඒ ආදර පුතාගේත් මේ ආදර සුසංයෝගය ඒ ආදර බැඳීම අප හදවත් ද සුන්දර හැඟුමින් පුබුදුවාලයි. මේ සෙනෙහස මේ ආත්මික බැඳීම සදාකල්ම පවතීවා.

සුසිලා පතිරාජ
324 ජී 47/5
47 පටුමග
පුබුදුගම
උස්වැටකෙයියාව


එකම චිත‍්‍රපටය කීප වරක් එපා

ස්වර්ණවාහිනි නාළිකාව තුළින් සතියේ දිනවල දවල් 12.30 ත් සවස 3.30 ත් ඇතුළත විකාශය කරන සිංහල චිත්‍රපට කීප වරක් විකාශය වූ පසු නැවත වරින්වර එය විකාශය කරයි.
ඒ හේතුවෙන් අපට ඒවා නැරඹීමට අපහසුතාවයක් ඇතිවේ. මේ වෙනුවෙන් කඩිනමින් වෙනස් ආකාරයේ වැඩ සටහනක් විකාශය කරන ලෙස ස්වර්ණවාහිනි ආයතනයේ කාර්ය මඩුල්ලේ නිලධාරීන්ගෙන් මා බලකොට ඉල්ලා සිටිමි.

පාලක සමන් පෙරේරා
71/9, මිල්ලගහවත්ත පාර,
අල්විස් ටවුම,
හැඳල, වත්තල


යූත් විත් ටැලන්ට් විශ්මිතයි

'අධිෂ්ඨානය ජයග්‍රහනය නම් හැකියාව විශ්මිත විය යුතුයි' යන තේමා පාඨයෙන් මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන 'යූත් විත් ටැලන්ට්' රියැලිටි වැඩ සටහන වෙනත් රූපවාහිනී නාළිකාවල ඇති රියැලිටි වැඩසටහන්වලට වඩා වෙනස්ම ආකාරයේ අභියෝගාත්මක රියැලිටි වැඩ සටහනකි. ත්‍රාසය, භීතිය, කුතුහලය පිරි මෙම වැඩ සටහනේ අපේ රටේ කොල්ලන් හා කෙල්ලන්ගේ හැමෝටම කළ නොහැකි ඉතා අසීරු බිය උපදවන සුළු දස්කම් දැකිය හැක. ස්වාධීන රූපවාහිනි සේවයේ කාර්ය මණ්ඩලය ද ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට අවශ්‍ය සියලු පහසුකම් තම දක්ෂතා පෙන්වීමට ලබා දෙන ආකාරය ඉතා අගනේය. හතු පිපෙන්නාක් මෙන් බිහිවෙන රියලිටි වැඩසටහන්වලට යූත් විත් ටැලන්ට් අභියෝගයකි.

ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
මීරිගම පාර
පස්යාල


කෝපි කඩේ ඇත්තෝ සිහිපත් කරමු

ස්වාධීන රූපවාහිනියේ දීර්ඝතම නාට්‍ය මාලාවක් වන කෝපි කඩේ තුළින් අපගේ සිත් පිනා අපෙන් සමුගත් ලාල් සේනාධීර, රාජා සුමනපාල, මාටින් ගුණදාස, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, දමිතා සලුවඩන, සුසිලා කූරගම, ප්‍රේමදාස වැනි ශිල්පීන් සදා මතකයේ රැඳෙනු ඇත.

එස්. ජේ. ලයනල්
වරකගොඩ
මොදරවාන


රංජිත් කුමාරගේ මෙහෙවර අගයමු

පැරැණි සිනමාපට ගැන දිගු විස්තර ඉදිරිපත් කරමින් සරසවිය ප්‍රමුඛ පුවත්වලට ලිපි සපයන මාධ්‍යවේදී ඒ. ඩි. රංජිත් කුමාරගේ එම කාර්ය අගේ කළ යුතුය.

සුනිල් චන්ද්‍රසේකර
යාගොඩමුල්ල
කොටුගොඩ


ජෙනිටා සමරවීර රංගනවේදිනියට

රිදී තිරයේ රන් තරුවක් ලෙස කාලයක් පුරාවට පායා වසරින් වසරට එන සෑම චිත්‍රපටයකින්ම ප්‍රේක්ෂක සිත් සතන් සැනසූ ඔබ කිසිදු මාධ්‍යයකට තොරතුරක් නොදෙන්නේ ඇයි?
රංගන දිවියට වඩා යුග දිවිය වැදගත් විය හැකි වුව ද ඔබ කළ රංගනයන් තවමත් අප මතකයේ ඇත. කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකිව නිල් මැණිකක්ව සැඟව සිටිය ද කුමන හෝ මාධ්‍යයකින් රසික සිත් අමතන ලෙස ඉල්ලා සිටිමි.

සමන් ගාල්ලගේ
කැටපල, ගණේගොඩ


සුභාෂිනීට සුබපැතුම්

සුභාෂිනී උප්පලවන්නා ලියනගේ ඔබ ගුවන් විදුලියේ අංක එකේ නිවේදිකාවක්. ප්‍රවෘත්ති ප්‍රකාශනයෙනුත් ඔබ අංක එක. අසන්නන් අතරත් ඔබ අංක එක. හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව වශයෙන් සම්මාන හිමිකර ගත් ඔබට මගේ සුබපැතුම්.

ජයන්ත අමරතුංග
චන්දන පොකුණ
පොලොන්නරුව


අමතක නොවන චරිත තුන

ඇනස්ලි බර්ටි සැමුවෙල් බර්ටි ද ඉන්නා
විනෝද වැඩසටහන් නැවතත් පෙන්නා
නොදැකපු අයට එහි අගය ද දැක ගන්නා
ලෙසට මෙවන් දේ මතුවට රැක ගන්නා

බර්ටි ගුණතිලක අසනීපව සිටින
දස්කම් දැක සිටිතියි සිනා වීගෙන
රස සාගරයෙ ගිල් වූ රටේ සැම දෙන
සිහි කර තැවෙයි මේ සැමගේම රුව ගුණ

ගුවන් විදුලියෙත් රස ගඟුලක් වූවා
රූපවාහිනිය සතුටින් බැබලූවා
මේ සැම දෙනාගෙන් අපි රසවත් වූවා
මොවුනගෙ විහිළු දැකගන්නට ලැබේවා!

ආර්. ඒ. සෝමා රණසිංහ


රංගන ශිල්පි පාලිත සිල්වාගේ මවගේ වියෝව වෙනුවෙන් ගෙත්තම් කළ පැදි පෙළකි

'නිවන් දක්නා ජාති දක්වා'
පාලිත
දනිමි ඔබෙ හදවත
සසල වන බව
දැඩි ලෙස

හැර ගියත් එතුමිය
අද
බලාගෙන ඇති
සුර ලොව සිට

අඩ සිය වස
අඩක සිට
දනිමි මම
එතුමිය ගැන
තිර පිටපත්
අනුමත කළ බව
හොඳ නරක දෙක
කියා දුන් බව

'අඬන්නෙපා පාලිත'
කෙලෙස කියමි මම
දෑසෙ කඳුළු පුරෝගෙන
මට දනුණු දුක
කෙසේ දැනෙනවා ඇද්ද ඔබට
එයයි මට දුක

පිං දෙමු අපි
එතුමියට

- ශ්‍රියා -
ඊ. ඩී. ශ්‍රියාපාල