වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




රූපණයේ විද්‍යාවත් දේශීය ටෙලි නළු කලාවත් අපට පසක් කර දුන් අමරණීය ධම්ම

රූපණයේ විද්‍යාවත් දේශීය ටෙලි නළු කලාවත් අපට පසක් කර දුන් අමරණීය ධම්ම

ධම්ම ජාගොඩ සූරීන් වියෝ වී 30 වසරක් සපිරීම නිමිත්තෙනි

ඒ 1986 වසරේ මැයි මාසයේ දිනයකි. එවකට අප පදිංචි වී සිටියේ දෙමටගොඩ ඩැනිස්ටර් ද සිල්වා මහල් නිවාසයට අයත් එක් නිවසකය. ධම්ම ජාගොඩ මහතා සහ තිරනාටක රචක සෝමවීර සේනානායකයන් හදිසියේ අප නිවසට පැමිණියහ. ධම්මගේ නවතම ටෙලි නාට්‍යය වූ ‘මිහිකතගේ දරුවෝ’ උදෙසා මහල් නිවාසයක දර්ශන තලයක් ඔවුන්ට අවැසි වී තිබිණි. ඒ සඳහා අපගේ නිවසත් යාබද නිවසත් තෝරාගත් ධම්ම ජාගොඩ මහතා එවකට යන්තම් දස හැවිරිදි වියේ පසු වූ මා දුටු කල්හි එහි එකම ළමා චරිතයට අහඹු ලෙස මා තෝරා ගත්තේය. එමතුද නොව, ඒ චරිතය මගේ නමින්ම නම් කළේය. කිසිදු බරපතළක් නොමැතිව ‘ධම්ම අන්කල්’ නමින් ඔහු ඇමතූ මම එහි රඟපෑවෙමි. පසුව මා රංගන කාර්යයෙහි නියැළුණේ නැති බව සත්‍යයකි. එහෙත්, දස හැවිරිදි වියේදීම මේ විසල්, සොඳුරු කලා ලොවට මා හඳුන්වා දුන් මුල් ගුරුතුමා ධම්ම ජාගොඩ මහතාය. මා වයසෙන් මුහුකුරා යද්දී ඔහු මෙරට කලා ලෝකයේ පතාක යෝධයකු බව මට වැටහිණ. එහෙත්, ඒ වනවිට ජාගොඩ මහතා අකාලයේ අපෙන් සමුගෙන හමාරය. මේ මහා කලාකරුවා පිළිබඳ මතකාවර්ජනා කොළඹ ආනන්දයේ ගත කළ පාසල් සමය පුරා සිහිපත් කිරීමට මිත්‍රයෙක් එකම පන්තියේ අප සමඟ ඉගෙනුම ලැබුවේය. ඒ ධම්ම මහතාගේ දෙටු පුත් රංග ජාගොඩය. මේ කෘතහස්ත කලාකරුවා තව කාලයක් ජීවත් වූයේ නම් මෙරට ටෙලි නළු කලාව මීට වඩා සරුසාර කෙතක් වන්නට ඉඩ තිබිණ. කවුරුන්ද මේ ධම්ම ජාගොඩ? දුහුනන් ඔහු ගැන දත යුතුමය.

ඔහු ජීවත් වූයේ වසර 47 ක් තරම් කෙටි කාලයකි. ඉන් වසර 27 ක් කලාව වෙනුවෙන් කැප කළේය. නළුවකු, වේදිකා නාට්‍ය රචකයකු, නිෂ්පාදකවරයකු, නාට්‍ය ආචාර්යවරයකු, නාට්‍ය පාඨමාලා අධ්‍යක්ෂවරයකු, නාට්‍ය සංවිධායකවරයකු, නාට්‍ය සංරක්ෂකයකු, රූපවාහිනී මාධ්‍යවේදියකු, ටෙලි නිර්මාණකරුවකු, ගායන ශිල්පියකු, මද්දල වාද්‍ය ශිල්පියකු, ලේඛකයකු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයකු, ගුවන් විදුලි ශිල්පියකු යනාදී භූමිකා, දක්ෂතා රැසක් මේ එක් මිනිසා තුළ පිහිටා තිබුණි.

1941 ජනවාරි 28 වැනිදා හික්කඩුවේ උපත ලැබූ ධර්මසේන කලහේ ජාගොඩ, හික්කඩුවේ රජයේ පාසලෙන් හා ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් අකුරු කළේය. කුඩා කල පටන්ම ගමේ ගැමි නාටකවලට ආසක්තව සිටි ඔහු පාසල් අධ්‍යාපනය නිමාකොට, මිනුම් දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පියකු ලෙස පත්වීම ලැබ කොළඹට පැමිණියේය. විවේක කාලයේ චිත්‍රපට, නාට්‍ය නැරඹීමෙන් ද පොතපත කියවීමෙන් ද කලා පරිචය ලැබූ ධම්ම, ජී. ඩී. එල්. පෙරේරාගේ කලා පෙළ හා එක් වූයේය. මිනුම් දෙපාර්තමේන්තුවේ නාට්‍ය සංගමය මඟින් ‘තම්මැන්නා - සැලගී’, ‘කැකිල්ලේ රජ්ජුරුවෝ’ (හෙක්ටර් රූපසිංහ සමඟ) යන නාට්‍ය නිෂ්පාදනය කිරීමෙන් ඔහු නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේය. ‘කැකිල්ලේ රජ්ජුරුවෝ’ (1961) නාට්‍යයේ රජුගේ චරිතය ඔහු විසින්ම රඟන ලදි.

හෙන්රි ජයසේනයන්ගේ ‘කුවේණි’ (1963) නාට්‍යයේ ‘විජය’ හා ‘පළමුවැනි නීතිඥයා’ ලෙස රඟපාමින් ධම්ම ප්‍රසිද්ධ වේදිකාවට පිවිසිණ. ජී. ඩී. එල්. පෙරේරාගේ ‘සක්කරවට්ටං’, ‘රතුරෝස’, ‘මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’, ‘කදා වළලු’, ‘එලොව ගිහින් මෙලොව ආවා’, පේ‍්‍රමරංජිත් තිලකරත්නගේ ‘කෝන්තරේ’, ගුණසේන ගලප්පත්තිගේ ‘සඳකිඳුරු’, ‘දේවතා එළි‘, ‘මහ හේනේ රීරි යකා’, සුගතපාල ද සිල්වාගේ ‘දෑවැද්දෝ’ යනාදී නාට්‍ය ඔස්සේ ඔහු ස්වකීය භූමිකා රූපණ පෙළහර විදහාපෑවේය. විශේෂයෙන් ‘මනමේ’ නාට්‍යයේ වැදි රජුගේ භූමිකාවට ධම්ම ලබා දුන් නිර්මාණශීලී රූපණ අර්ථකථනය ප්‍රේක්ෂක - විචාරක උභය පාර්ශ්වයෙහි ඇගැයීමට ලක් වූහ. එපමණකුදු නොව, හේ අර්නස්ට් මැකින්ටයර්ගේ ‘Death of a Soloman’,’, රසල් බෝර්ඩන්ගේ  ‘A Passage to India’ යන ඉංග්‍රීසි නාට්‍යවලත් එක ලෙස රඟපෑවේය. ගීත ගායනයටත් කුසලතා පළ කළ ධම්ම ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ‘ඒ’ ශ්‍රේණියේ නාඩගම් ගී ගායන ශිල්පියෙකි.

‘Green Emeralds’  ඉංග්‍රීසි චිත්‍රපටයෙන් සිනමා රංගනයට ප්‍රවිෂ්ට වූ ඔහු ‘දැවෙන පිපාස’ (1971) චිත්‍රපටයේ රැඟුවේ සුළු චරිතයකි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘මඩොල් දූව‘ (1976) චිත්‍රපටයේ බාලප්පු ලෙස කළ රංගනය එකල කැපී පෙනිණ. තිස්ස අබේසේකරයන්ගේ ‘මහ ගෙදර’ (1982) චිත්‍රපටයේ තරුණ කැරැලි නායක ප්‍රේමසිරිගේ චරිතය ඔහු රූපණය කළ ආකාරය පිළිබඳ බොහෝ විචාරක මතවාද පළ විය. ‘තන්කම්’ නමැති දෙමළ විත්ති කථා චිත්‍රපටයෙහි ද අතරමඟ නිෂ්පාදනය අඩාළ වූ ‘තිසාහාමි’ චිත්‍රපටයෙහි ද ඔහු රඟපෑ බව මට සිහිපත් වේ. ධම්මගේ හොඳම රංගනය ඇතුළත් වූ තිස්ස අබේසේකරගේ ‘මංමුළාවැල්’ චිත්‍රපටයෙහි වැඩ කටයුතු අතරමඟ ඇනහිටීම සහෘද අපගේ අභාග්‍යයකි. ආචාර්ය ලෙස්ටර්ගේ God King’ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවලදී ධම්මගෙන් විශාල සහායක් ලැබිණ.

තත්විධ රංග න්‍යාය (Theory of Method Acting)  හඳුන්වා දෙමින් ලොව රූපණ කලාව උඩු යටිකුරු කළ කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලව්ස්කිගේ ආභාසය සෘජුවම ලැබූ දේශීය නාට්‍යවේදීන් අතර ධම්ම ජාගොඩ ප්‍රමුඛ වේ. ඔහු 1966 දී නිෂ්පාදනය කළ ‘වෙස් මුහුණු’ මෙහි පළමුවැන්න යැයි මම සිතමි. මේ වූ කලී ටෙනිසි විලියම්ස්ගේ ‘A Street Car Named Desire’ නාට්‍යයෙහි අනුවර්තනයකි. මේ බටහිර නාට්‍යය ඇසුරෙන් එලියා කසාන් අධ්‍යක්ෂණය කළ ‘Streetcar Named Desire’ (1951) චිත්‍රපටයේ ශ්‍රේෂ්ඨ නළු මාලන් බ්‍රැන්ඩෝගේ සුවිශිෂ්ට චරිත නිරූපණයෙන් තත්විධ රංග න්‍යාය ලෝක සිනමාවට ප්‍රවිෂ්ට විය. ‘වෙස් මුහුණු’ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වූ සැම්සන් සිල්වාගේ චරිතය නිරූපණයේදී ධම්ම මෙහි ආභාසය ලැබුවේය. එමතු නොව, රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නළුවාට හා හොඳම නාට්‍ය නිෂ්පාදනයට හිමි සම්මාන ඔහුට හිමි විය. මෙහි කුමාරි උඩුවෙලගේ චරිතය පළමුවෙන් රෝමා ද සොයිසාත්, දෙවනුව අයිරාංගණී සේරසිංහත්, තුන්වැනිව රුක්මණී දේ්වියත් රඟපෑ බව අප අමතක නොකළ යුතුය. තත්විධ රූපණවේදය අනුදත් මෙරට ප්‍රථම වේදිකා හා සිනමා නිළිය අයිරාංගණී සේරසිංහ යැයි මම සිතමි. බ්‍රිතාන්‍යයේදී ඇය ලැබූ රූපණ පුහුණුවත් මහාචාර්ය ඊ. එෆ්. සී.ලුඩොවයික් වැනි නාට්‍යවේදීන් යටතේ රඟපෑමෙන් ලැබුණු පරිචයත් ඊට හේතු විය. යථාර්ථවාදී රංග රීතිය ආත්මය කොටගත් අයිරාංගණී සේරසිංහ, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර වැනි විශිෂ්ටයන්ට වේදිකාවේ රූපණ කුසලතා විදාරණය කිරීමට ධම්මගේ ‘වෙස් මුහුණු’ කදිම තෝතැන්නක්මැ විය. රුක්මණී දේවියගේ ප්‍රශස්තම චරිත නිරූපණය ඇතුළත් වුයේ ද මේ නාට්‍යයේ බව දන්මෝ දනිති.

තත්විධ රූපණ න්‍යාය ඔස්සේ යථාර්ථවාදී විද්‍යාත්මක රූපණය විධිමත්ව මෙරට ඉගැන්වූ පුරෝගාමියා ධම්ම ජාගොඩය. එහිලා පසුබිම සැලසුණේ මෙලෙසිනි. නාට්‍යකරණය වැඩිදුරටත් හදාරනු පිණිස 1969 දී ධම්ම හට ශිෂ්‍යත්වයක් ලැබිණ. ඒ අනුව බ්‍රිටිෂ් ඩ්‍රාමාලීග් මණ්ඩලයේ ආධාර ඇතිව ‘නොටිංහැම්’ නාට්‍ය ඇකඩමියට ඇතුළත් වී නාට්‍ය නිෂ්පාදනය හා ඉගැන්වීම ඔහු පුහුණු වුයේය. ඉක්බිති ජර්මනිය, ප්‍රංශය, පෝලන්තය, හංගේරියාව, රුසියාව, ඇමරිකාව වැනි රටවල් 10 ක පමණ මාස 6 ක කාලයක් පුරා නාට්‍යකරණය හදාරා විශිෂ්ට ගණයේ නාට්‍ය නරඹා හේ ලංකාවට පැමිණියේ තමා ලැබූ ඥාන දායාදය නව පරපුරට නොමසුරුව බෙදාදීමේ ඊප්සිතාර්ථයෙනි. 1970 දී ධම්ම ‘රංග ශිල්ප ශාලිකාව‘ ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍රයේදී ආරම්භ කිරීමෙන් එකී සිහිනයේ මල් පිපිණ. ඇමරිකාවේ ලී ස්ට්‍රැස්බර්ගේ ‘Actor’s Studio’ හි ආභාසය මෙහිදී ඔහුට ලැබිණ. ‘Studio’  යන ඉංග්‍රීසි යෙදුමට ධම්ම ‘ශාලිකා’ යන සිංහල වචනය ව්‍යවහාර කළේය.

 ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ පිටපතකට අනුව ඔහු 1970 දී ‘කොරා සහ අන්ධයා’ නාට්‍යය නිෂ්පාදනය කරමින් අභිනව නාට්‍ය ශිල්ප ක්‍රම අත්හදා බැලුවේය. විනාඩි 45 ක කාලයක් නළුවන් දෙදෙනකු (විමල් කුමාර ද කොස්තා හා දයා තෙන්නකෝන්) පමණක් රංගනයට යොදා ගනිමින් ආලෝක උපාංග ඔස්සේ ප්‍රේක්ෂක අවධානය අඛණ්ඩව රඳවා ගැනීමට ඔහු දැරූ ප්‍රයත්නය විචාරකයෝ අගය කළහ. ‘වෙස්්මුහුණු’ නාට්‍යය රංග ශිල්ප ශාලිකාව මඟින් ධම්ම යළිත් වරක් නිෂ්පාදනය කළේ 1973 වසරේදීය. ඔහුගේ ගුරුහරුකම් යටතේ රංග ශිල්ප ශාලිකාවෙන් දොරට වැඩි ප්‍රතිභාපූර්ණ ශිල්පීන් අතර රවීන්ද්‍ර රන්දෙණිය, බුද්ධදාස විතානආරච්චි, සුමින්ද සිරිසේන, මැණිකේ අත්තනායක යන සිවුදෙනා සුවිශේෂ වෙති. 1970 සිට 1980 දක්වා දශකයක කාලයක් පුරා රංග ශිල්ප ශාලිකාවෙන් බිහි වූ නවකයෝ අද විවිධ කලා ක්ෂේත්‍රවල ප්‍රවීණයන් බවට පත්ව සිටිති.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති, නාමෙල් වීරමුනි, චන්ද්‍රසේන දසනායක වැනි නාට්‍යවේදීන් ද, මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය තිස්ස කාරියවසම්, මහාචාර්ය ජේ. බී. දිසානායක, ආචාර්ය ගාමිණී හත්තොටුවෙගම, මහාචාර්ය අනුර වික්‍රමසිංහ වැනි විද්වතුන් ද මෙහි දෙසුම් පැවැත්වූහ. ඒ හැරුණු විට මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන, බන්දුල ජයවර්ධන, මහගමසේකර, ඩබ්ලිව්. ඩී. අමරදේව, චිත්‍රසේන, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ජෝ අබේවික්‍රම, ජයසුමන දිසානායක යනාදීහු ආරාධිත දේශනවලට සහභාගි වූහ. ජයන්ත අරවින්ද, දයා අල්විස් සංගීතය ද, බැසිල් මිහිරිපැන්න, මිරැන්ඩා හේමලතා නර්තනය ද, අයිරාංගණී සේරසිංහ හඬ පුහුණුව ද, මහින්ද ඩයස් රංගාලෝකකරණය ද කැරන් බ්‍රෙකන්රිජ්, පර්සි කොලොන්තෝමේ, අර්නස්ට් මැකින්ටයර් ඉංග්‍රීසි නාට්‍ය කලාව ද මෙහි ඉගැන්වූහ. මෙය කෙතරම් නම් සාරගර්භ පාඨමාලාවක්දැයි ඔබට නොපෙනේද? එහි මුළු ගෞරවය ධම්මට හිමිවේ. 1979 දී ඔහු ගුණසේන ගලප්පත්තිගේ ‘මූදු පුත්තු’ නාට්‍යයට නව නිර්මාණශීලී අර්ථකථනයක් එක් කළේය. සම්මත ප්‍රොසීනියම් වේදිකාවක එය රඟදැක්වීම වෙනුවට වට රවුම් ((Arena Theatre) වේදිකාවක එය අත්හදා බලමින් ‘මුහුද’ සංකේතවත් කිරීමට හේ ආලෝකකරණය ශූර ලෙස භාවිත කළේය.

ඇන්ටන් චෙකොෆ්ගේ ‘The Proposal’ නාට්‍යය ඇසුරෙන් මහාචාර්ය තිස්ස කාරියවසම් පරිවර්තනය කළ ‘පරස්තාව‘ නාට්‍යය හා චෙකොෆ්ගේම ‘The Bear’  ඇසුරෙන් මහාචාර්ය කාරියවසම් පරිවර්තනය කළ ‘පෝරිසාදයා’ නාට්‍යය ධම්ම 1967 දී නිෂ්පාදනය කළේය. 1973 දී ඔහු ආන්දෝලනාත්මක නාට්‍යයක් තැනුවේය. මේ වූ කලී 1971 කැරැල්ල පාදක කොට ගත් නාට්‍යයකි. කොළඹ විශ්වවිද්‍යාලයේ කලා සංගමයේ හා රංග ශිල්ප ශාලිකාවේ ශිෂ්‍ය පරපුර ද එක්කොට ගත් මේ නාට්‍යය ‘මළවුන් නැඟිටියි’ නම් විය. මෙය සම්මත වේදිකාවෙන් බැහැර වී ප්‍රේක්ෂකයන් අතරම ඔවුන් වටකොට ගෙන රඟ දැක්වීය. ප්‍රධාන චරිතය ධම්ම නිරූපණය කළේය. මෙය ඇති කළ ආන්දෝලනය කොතෙක් ද යත් ප්‍රසිද්ධ වේදිකාවේ තහනම් කෙරිණ. අවසානයේ මෙය රඟදැක්වූයේ පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය හා කොළඹ යන විශ්වවිද්‍යාලවල පමණි. මහාචාර්ය සරච්චන්ද්‍රයන් ප්‍රංශයේ තානාපති සේවයේ නියැළෙද්දී ‘මනමේ’, ‘සිංහබාහු’, ‘මහාසාර’ යන නාට්‍ය ඔහු යළිත් නිෂ්පාදනය කළේය. ‘මොස්කව් ගිනි ගනී’ නාට්‍යයෙන් පසුව ධම්ම අවසන් වරට නිර්මාණය කළ නාට්‍යය වූයේ ‘සකලජන’ (1987)ය. මෙය රඟදැක්වීමට ධම්මට අවස්ථාවක් ලැබුණේ එක් වරක් පමණි. මා යාන්තම් එකොළොස් හැවිරිදි වියේදී ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී නැරඹූ මේ නාට්‍යය තවමත් මතකයේ රැඳී තිබේ. බෞද්ධ දර්ශනයෙන් ඔහු ලැබූ පෝෂණය ‘සකලජන’ට කැටි වූ හයි මම සිතමි. සෑම නාට්‍යයක්ම අවසානයේ ඊට දායක වූ ශිල්පීන් පේ‍්‍රක්ෂකයන් වෙතට පැමිණ ඔවුන්ගේ උණුසුම් ප්‍රතිචාරයට ලක්වීම සම්මත සිරිතකි. මෙහිදී ධම්ම සිදු කළ වෙනස නම් පාත්‍ර වර්ගයා ලවා ගැයුණු මනරම් කවි ගායනයකින් ඒ ඒ ශිල්පීන් ප්‍රේක්ෂකයාට හඳුන්වා දීමය.

ධම්ම මුල්වරට විවාහ වූයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ දියණියක වන ප්‍රවීණ නිළි සුනේත්‍රා සරච්චන්ද්‍ර සමඟිනි. අකාලයේ අපෙන් සමුගත් සම්මානනීය ගායිකාවක වූ නිපුණිකා ජාගොඩ ඔහුගේ ප්‍රථම විවාහයේ දියණිය වේ. පසුව හේ නාට්‍ය ශිල්පිනී මනෙල් ජයවර්ධන සමඟ දෙවැනිවරට විවාහ වූ අතර, රංග, දර්ශන හා දිනිඳු මේ විවාහයෙන් ධම්මට ලැබුණු පුතුන් තිදෙනාය. ඉන් දිනිඳු ජාගොඩ නව පරපුරේ ප්‍රකට ටෙලි නාට්‍ය, චිත්‍රපට නළුවෙකි. එමෙන්ම වර්තමානයේ චිත්‍රපට වර්ණ සංයෝජනයේ ප්‍රවීණයෙකි.

නාට්‍ය හා රංග කලාව පාසල් විෂයක් බවට පත්කිරීමට ලක්ෂ්මන් ජයකොඩි අමාත්‍යවරයා, මහාචාර්ය සරච්චන්ද්‍ර හා ධම්ම ජාගොඩ පුරෝගාමී වූහ. කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස පත් වූ ධම්ම, ඒ ඔස්සේ නාට්‍ය හා රංග කලාව විෂයට අමූල්‍ය මෙහෙවරක් ඉටු කළේය. 1982 වසරේ ජපන් උපදේශකවරුන් යටතේ පුහුණුව ලැබූ ඔහු ජාතික රූපවාහිනියට ප්‍රවිෂ්ට වීම මේ නව මාධ්‍යයට දැවැන්ත ආලෝක ධාරාවක් පතිතවීමකි. ‘මූදුපුත්තු’ නාට්‍යයේ අවසන් ජවනිකාව ඇසුරෙන් ‘සසර’ නමැති කෙටි නාට්‍යය රූපවාහිනී මැදිරියක රූගත කරමින් ධම්ම පළමු අත්හදාබැලීම සිදු කළේය.

මෙරට සුවිශිෂ්ට වේදිකා නාට්‍ය රූපවාහිනී මාධ්‍යයට නඟා සංරක්ෂණය කිරීමට පුරෝගාමී වූයේ හෙන්රි ජයසේන හා ධම්ම ජාගොඩය. රූපවාහිනී නාට්‍ය අංශයෙන් ඊට මුල පිරුණි. මේ අනුව සරච්චන්ද්‍රයන්ගේ ‘එලොව ගිහින් මෙලොව ආවා’, ‘රත්තරන්’, ‘වෙල්ලවැහුම්’, ‘වෙස්සන්තර’ හෙන්රි ජයසේනගේ ‘හුණුවටයේ කතාව‘, ‘කුවේණි’, ගුණසේන ගලප්පත්තිගේ ‘සඳකිඳුරු’, ප්‍රේමරංජිත් තිලකරත්නගේ ‘වහලක් නැති ගෙයක්’ ධම්මගේ ‘පරස්තාව, ‘පෝරිසාදයා’ ආර්. ආර්. සමරකෝන්ගේ ‘කැලණි පාලම’ ඇතුළු නාට්‍ය රාශියක් රූපවාහිනියෙන් විකාශය කෙරිණ. ධම්මගේ අභාවයත් සමඟ ඒ සත්කාර්යය අඩාළ විය. රූපවාහිනී මාධ්‍යයට වේදිකා නාට්‍ය ශිල්පීන් මුල්වරට කැඳවාගෙන එන ලද්දේ ධම්ම විසිනි.

ලංකාවේ ප්‍රථම ප්‍රාසංගික ටෙලි නළුව ලෙස ඉතිහාස ගත වූයේ ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් තැනූ ‘දිමුතුමුතු’ (1983) ය. ටෙලි නාට්‍ය මාධ්‍යය සිනමාවෙන් සුපෝෂණය කළ ඔහු ‘ටෙලි වෘත්තාන්ත’ ලෙස මේ නව මාධ්‍යය හඳුන්වා දුන්නේය. ධම්ම එහි නාටකීය ගුණය වර්ධනය කරමින් වේදිකා නාට්‍ය ප්‍රමුඛව ඇසුරු කොට ටෙලි නාට්‍ය මාධ්‍යය ස්ථාපිත කළේය. ‘Television Drama’  යන ඉංග්‍රීසි යෙදුම Tele Drama  ලෙස කැටිකොට ගත් ඔහු මේ නව මාධ්‍යය ‘ටෙලි නාට්‍යය’ ලෙස නම් කළේය. සැබැවින්ම අද දක්වාම සම්භාවිත වී ඇත්තේ ධම්ම හඳුන්වා දුන් ‘ටෙලි නාට්‍ය’ යන වදන බව සත්‍යයකි. අයර්ලන්තයේ හැරුණු විට ‘Tele Drama’යන වදන අවශේෂ රටවල භාවිත නොකෙරේ. ඒ වෙනුවට සෙසු රටවල මේ මාධ්‍යය ‘Soap Opera’, ‘Tele Film’, ‘Tele Series’  ලෙස හඳුන්වන බැව් පෙනේ. අයර්ලන්තයේ වේදිකා නාට්‍ය ටෙලි මාධ්‍යයට නැඟු අවස්ථාවේ ‘Tele Drama’  යන යෙදුම ඊට මුල්වරට ව්‍යවහාර කෙරිණ. ධම්ම ‘ටෙලි නාට්‍ය’ යන යෙදුම නිර්මාණය සඳහා මෙය ආභාසය කොට ගත්තේ යැයි මම සිතමි.

ටෙලි නාට්‍ය කලාව දේශීයකරණයට ලක් කළ පුරෝගාමියා ධම්ම ජාගොඩය. 1983 ‘සඳක කතාවක්’ ඒකාංගික ටෙලි නාට්‍යය ඔහු මුල්වරට අධ්‍යක්ෂණය කළේය. එහිදී ද ධම්ම තම කාර්ය නාමාවලියෙහි දැක්වූයේ ‘අධ්‍යක්ෂණය’ ලෙස නොව, වේදිකාවේ ආභාසයෙන් ‘නිෂ්පාදනය’ යනුවෙනි. තිර රචක සෝමවීර සේනානායක සුසංයෝගීව ධම්ම නිර්මාණය කළ ‘පළිඟු මැණිකේ’ (1985) ප්‍රාසංගික ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැලඳ ගත්හ. විවෘත ආර්ථිකයෙන් හැඩගැසුණු නාගරීකරණයේ අයහපත් ඵල අහිතකර ලෙස ග්‍රාමීය සංස්කෘතියට බලපාන බව මේ ටෙලි නාට්‍යයෙන් විදාරණය විය. ‘පට් පට් ගාලා සම්තිං එක’ වැනි එහි සූරසේනගේ (ශ්‍රියන්ත මෙන්ඩිස්) දෙබස් අදත් පොදුජන විඥානයට කාවැදී තිබේ. එදා පළිඟු මැණිකේ ටුවර්ස් නමින් බස් සේවයක් ද තිබුණි. වෙනත් මාධ්‍යවල ඉන් පෙර දැක තිබුණත් ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනී වැනි කුසලතාපූර්ණ රූපණවේදීන් මුළු රටම හඳුනාගත්තේ ‘පළිඟු මැණිකේ’ හී සූරසේන හා විජේපාල ලෙසිනි. ධම්මගේ අවසන් ටෙලි නිර්මාණය වූ ‘මිහිකතගේ දරුවෝ’ (1986) තමාගේ ජීවිත කතාවෙහිම ඇසුර ලබමින් තැනීම දෛවෝපගත සිදුවීමකි. එහි මෛත්‍රී මුතුගොඩගේ (රංජිත් සුරංග රැඟූ) භූමිකාව ඇතුළත ජීවත් වුුයේ ධම්ම නොවේද ? ග්‍රේස් ස්කෝමන් නමැති නව යොවුන් බර්ගර් ජාතික නිළිය ඔහු ‘අචලා අලස්’ ලෙස නම්කොට මේ ටෙලි නාට්‍යයෙන් හඳුන්වා දුන්නේය. එසේම ඉංග්‍රීසි වේදිකාවේ රඟපෑ අති දක්ෂ නළු පීටර් ද අල්මේදා ද තම ශිෂ්‍යයන් වූ සුමින්ද සිරිසේන ද, බුද්ධදාස විතානආරච්චි ද ඔහු මෙමඟින් පුංචි තිරයට එක් කළේය.

නැසීගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුසිල් ගුණරත්නයන් ‘ධම්ම ජාගොඩ රූපවාහිනී සංකල්ප’ මැයෙන් ඔහු පිළිබඳ හස්තසාර ග්‍රන්ථයක් රචනා කළ බව අප අමතක නොකළ යුතුය.

1988 පෙබරවාරි 4 වැනිදා මෙරට 40 වැනි නිදහස් දිනය සමරද්දී මේ මහා කලාකරුවා හෘදයාබාධයකින් අකාලයේ කීර්තිශේෂභාවෝපගත විය. ඉන්දියාවේ දූර්දර්ශන් රූපවාහිනිය සමඟ එක්ව කාලිදාසයන්ගේ ‘ශාකුන්තලය’ රූපවාහිනී නාට්‍යයක් ලෙස නිර්මාණය කිරීමට ඔහු සැලසුම් කරමින් සිටියේය. ධම්ම ජාගොඩගේ හදිසි වියෝවෙන් සියලු කලාවන්හි ද ඔහු සේවය කළ ජාතික රූපවාහිනී සංස්ථාවෙහි ද ඇති වූ රික්තය අදටත් පිර වී නැත. එදත් අපට ඔහු අවැසි විය. අදත් එසේමය. එතුමා සමඟ තිබූ මගේ ඇසුර අද සිහිපත් වෙත්ම විටෙක සොම්නසක් දැනේ. වරෙක දැනෙනුයේ දොම්නසකි. එතුමා වැනි මහා කලාකරුවකුගේ ගුරුහරුකම් යටතේ කලා ලොවට පිවිසීමට ලැබීම මා ලැබු මහත් භාග්‍යයකි. මා දුක් වන්නේ එතුමාගේ අවසන් ශිෂ්‍යයා වීම ගැනය. තවත් පරම්පරා ගණනාවකට ඒ යෝධ ගුරු සෙවණැල්ල ලැබුණා නම් . . . මා ගුරුදේව ඔබට නිවන් සුව.