වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්

සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්

අධ්‍යක්ෂ නීරජ් පාණ්ඩේ නවතම සිනමා නිර්මාණය

ගෙවී ගිය පසුගිය වසරේදී බොලිවුඩයේ බොහොමයක් අධ්‍යක්ෂවරුන් දේශප්‍රේමි කතා තේමා රැගත් සිනමා නිර්මාණය කිරීමට උනන්දුවක් දක්වා තිබූ බව පෙනුණා. චිත්‍රපට අධ්‍යක්ෂ නීරජ් පාණ්ඩේ ද එවැනිම වූ තවත් සිනමා නිර්මාණයක් ගෙන එන්න සූදානම්. A Wednesday','Special 26', 'Baby' සහ MS Dhoni -The Untold Story' වැනි බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටවලින් අනතුරුව නීරජ් විසින් අධ්‍යක්ෂණය කෙරුණු නවතම සිනමා නිර්මාණය 'Aiyaary' හින්දි චිත්‍රපටය යි.

1971 වසරේදී තම මව්බිම වෙනුවෙන් දිවි පිදූ ඉන්දීය රණ ශූරයන් වෙනුවෙන් ඔවුන්ට ගෞරවයක් පිණිස මෙම චිත්‍රපටය නිර්මාණය වූ බවයි පැවසෙන්නේ. 1971 වසරේදී ඉන්දියාව, පකිස්තානය සමඟින් වූ සටනේදී ඉන්දියාව ජය ගත් අතර නැගෙනහිර පකිස්තානය බංග්ලාදේශය නමින් නව රාජ්‍යයක් බිහි විය. මෙම යුද්ධය සමඟින් වූ සත්‍ය සිදුවීම් අලළා Aiyaary තිරරචනය ලියවී ඇති බවත් බොලිවුඩ් ආරංචි මාර්ග ගෙන එනවා.

මේජර් ජායි භක්ෂි සහ කර්නල් අභේ සිං බෙහෙවින් දැඩි වූ හිත් ඇති එකිනෙකට වෙනස් වූ දැක්මෙන් යුතු නිලධාරින් දෙදෙනෙක්. පවත්නා පද්ධතියේ වැරදි සහගත තැන් අවබෝධ කරගත් බොහොම කාර්යක්ෂම සේම අවංක නිලධාරියකු වන ජායි භක්ෂි තම ප්‍රධානියා වන කර්නල් අභේ සිං සමඟින් ගැටුම් ඇතිකර ගනී. එහි ප්‍රතිඵලයක් ලෙසින් තම හමුදා සේවයට තිත තබන ඔහු, රට වෙනුවෙන් සේවය කරන්නන්හට විරුද්ධව කටයුතු කිරීමට සූදානම් වේ. කර්නල් අභේ සිං, ජායි භක්ෂි නැවැත්වීමට උත්සාහ කරන්නේ, ඔහු වැරදි මඟක ගොස් රටට ද්‍රෝහිවීම වළක්වා ගැනීමේ අරමුණැතිවයි.

Aiyaary හි මේජර් ජායි භක්ෂි ලෙසින් සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ කර්නල් අභේ සිං ලෙසින් මනෝජ් බජ්පායි චරිත නිරූපණය කරන අතර සිද්ධාර්ත් සහ මනෝජ් බජ්පායි රිදී තිරයේ මුල්වරට හමුවන සිනමා නිර්මාණය ද මෙය වේ. දේශපාලන - ත්‍රාසජනක ගණයට අයත් Aiyaary චිත්‍රපටයේ සිද්ධාර්ත්, මනෝජ් බජ්පායි සමඟින් රඛුල් ප්‍රීත් සං, පූජා චොප්රා, නසරුදීන් ෂා, අනුපම් ඛේර්, කුමුද් මිශ්‍රා ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වී සිටිනවා. Aiyaary තිරරචනය කර තිබෙන්නේ අධ්‍යක්ෂ නීරජ් පාණ්ඩේ විසිනි. රෝචක් කෝලි සහ අන්කිත් තිවාරි සංගීත අධ්‍යක්ෂණය කර ඇති අතර සුනිධී චෞහාන්, පලක් මච්චාල්, අන්කිත් තිවාරි, අමිත් මිශ්‍රා සහ නේහා භසීන් ගීත ගායනයෙන් දායක වී තිබේ.

කාශ්මීරය, නවදිල්ලිය සහ ලන්ඩනයේ රූ ගැන්වුණු Aiyaary ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමව සිද්ධාර්ත්, මනෝජ් බජ්පායි ඇතුළු චිත්‍රපට කණ්ඩායම පන්ජාබයේ සික් ජාතිකයන්ගේ ප්‍රධානතම පූජනිය ස්ථාය වන රන් දෙවොල වැඳ පුදා ගත් බව ද බොලිවුඩ් ආරංචි ගෙන ආවා.

ජනවාරි 26 වැනිදාට යෙදෙන ඉන්දීය ජනරජ දිනයට සමගාමීව ජනවාරි 25 වැනිදා තිරගත කිරීමට යොදා ගෙන තිබුණ ද දැඩි අර්බුද රැසක් අවසානයේ පද්මාවත් තිරගත කිරීම සමඟින් Aiyaary තිරගත කිරීම පෙබරවාරි මාසය දක්වා කල් දමන ලදී. කෙසේ නමුත් හෙට (පෙබරවාරි 09) Aiyaary තිරගත කෙරෙන විටදීත් අක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කරන ර්‍ථචඤර්චද චිත්‍රපටයද තිරගත කිරීමට නියමිතව තිබීම චිත්‍රපට දෙක අතර දැඩි තරගකාරීත්වයක් ඇතිවනු ඇති බවට මත පළ වී ඇත.