වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




මේ තමයි අපේ පරම්පරාව ලව් කරපු විදිහ...

මේ තමයි අපේ පරම්පරාව ලව් කරපු විදිහ...

-ආදරෙයි මං අධ්‍යක්ෂ ප්‍රගීත් රත්නායක-

ප්‍රගීත් ගේ චිත්‍රපටයක් ලෙස සඳහන්ව ලංකාවේ බොහෝ තැන් වල රොමාන්තික පෝස්ටරයක් ඇලවුණේ එක් නිමේෂයකින්ය. ඊට ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස බොහෝ නගර වල පෙම්ලෝලින් දෙන්නා සිවු දෙනා සිනමාහල් වලට ඇදෙන්නට ගත්තේ ක්‍රමික ගුණ කිරීමේ අනුපිළිවෙළකටය. ඡන්ද පෝස්ටර්, සිනමා පෝස්ටර්, ටියුෂන් පෝස්ටර් වල වැසුම් මැද ප්‍රගීත් සාධනීය ප්‍රචාරයක් තම චිත්‍රපටයට දෙමින් සිටී.

මා ප්‍රගීත් ප්‍රගීත් යනුවෙන් වර නැගුවද ඒ ප්‍රගීත් රත්නායක බව ඔබ දන්නවා ඇත. කලකට පෙර ඔහු පුංචි තිරයේ ආකර්ෂණීය නළුවෙකි. වේදිකාව ඔහුට ඊටත් වඩා හුරු පුරුදු තැනකි. ඇත්තෙන්ම ඔහු රංගනයට අත් පොත් තිබ්බේද වේදිකාවෙනි. මීට දශකයකටත් එහා ඔහු විසින්ම වේදිකා ගත කළ රෝමියෝ ජුලියට් නාටකයේ රෝමියෝ ලෙස රඟපෑ ප්‍රගීත් ඉන් උපයාගත් ප්‍රතිචාර බොහෝය. ටෙලිවිෂනයේ ඔහු යමක් අත් පත් කරගන්නේද වේදිකාවේ අභ්‍යාසයන්ගෙන් පසුවය.

ඔහු රසිකයන් වෙත වඩාත් ළං වූයේ මීට දශකයකට පමණ පෙර ටෙලිවිෂනයේ ඉතා ජනප්‍රිය වූ ‘දෙහදක් ආදරෙන්’ ටෙලි නාට්‍ය ඔස්සේය. ඔහු ඉන් ලැබූ ජනප්‍රියත්වය සුළු පටු එකක් නොවේ. ජනප්‍රිය තාලේ ආදර කතාවකින් ඔපමට්ටම් වූ එය ප්‍රගීත් ගේ හැකියාවන්ටම ඔබින වර්ගයේ ප්‍රධාන චරිතයක් එයින් ලැබිණි. ඔහුගේ සහයට හිටියේද චතුරිකා පිරිස් ය.

මේ අක්බමරු කොණ්ඩයක් සහිත යොවුන් නළුවා ආදරෙයි මං ඔස්සේ නැවත ප්‍රේමාන්විත රංගනයකට එන්නේ චතුරිකා සමඟය. චිත්‍රපට ප්‍රදර්ශන ලැයිස්තුවේ චතුරිකාගේ චිත්‍රපටයක් බොහෝ කලකින් නොතිබෙද්දී ප්‍රගීත් ගේ චිත්‍රපටයක් කොහෙත්ම තිබුණේ නැත. ඒ අනුව ආදරෙයි මං එක්තරා ආකාරයකින් නළු නිළි දෙපළ නිසා සුවිශේෂී එකකි.

ඒ අනුව ප්‍රධාන චරිතය රඟපාමින් අධ්‍යක්ෂණය කරන ලද දේශීය සිනමාවේ අතළොස්සට ප්‍රගීත් ද මෙයින් එකතු වේ. එමෙන්ම මෙය ප්‍රගීත් ගේ කුලුඳුල් අධ්‍යක්ෂණයයි. එමෙන්ම ප්‍රගීත් පසුගිය වසර කිහිපයේ ලෙහෙසියෙන් තිරයක දැක ගැනීමට හැකිවූ පුද්ගලයෙකුද නොවේ. එහෙයින් ඔහු සමඟ කතා බස් කොට දැනගත යුතු දේ බොහෝ ඇත. ආදරයට අතිශය ආදරය කරන්නන්ගේ නොමඳ ප්‍රසාදයට ආදරෙයි මං හේතු වනු ඇත. මේ ඔහු සරසවියට සම්මුඛ වූ ආකාරයයි.

ඔබ කාලයක්ම තිරයේ හිටියෙත් නැහැ. වේදිකාවේ හිටියෙත් නැහැ. මොකක්ද හේතුව?

ඕකට එක හේතුවක් තමයි මම චිත්‍රපටය වෙනුවෙන් කාලය වෙන් කිරීම. ඒ සඳහා මම කාලය සෑහෙන්න පමණ මිඩංගු කළා. වේදිකාවට එන්න වුණත් මට ලොකු පෙලඹවීමක් තිබුණේ නැහැ. අනික් දේ තමයි මට ටෙලි නාට්‍ය වල රඟපාන්න තිබෙන කැමැත්ත අඩු වීම. දැන් යන මේ ටෙලි නාට්‍ය රැල්ල ගැන මට කිසිම පැහැදීමක් නැහැ. ටෙලි නාට්‍යක් කියන්නේ පිටපත සැලසුම් කරලා කොටස් 30 කින් හෝ 40 කින් නැවැත්විය යුතු දෙයක්. ඊට වඩා මේවා ඇදෙනවා නම් ඒවාට ටෙලි නාට්‍ය කියන්න බැහැ. හොඳම උදාහරණයක් තමයි අපි බලන ජනප්‍රිය පිටරට ටීවී සීරිස්. ඒවායේ කොටස් කීයද තියෙන්නේ? ඒ නිසා මට එකඟ වෙන්න බෑ මේ රැල්ලට. මට මේ නාට්‍ය කිහිපයක රඟපාලා මගේ ආර්ථිකය හොඳට හදාගන්න තිබ්බා. නමුත් එතනට තල්ලු වෙන්න මට බැහැ.

‘ආදරෙයි මං’ වෙනුවෙන් බර පැන දරන්නේ කවුද?

මගේ සහෝදරයා තමයි ලොකු බර පැනක් මේකට දැරුවේ. ඒ වගේම සහෝදරයාගේ සහ මගේ මිත්‍රයෝ කිහිප දෙනෙක් මේ වෙනුවෙන් උදවු කළා.

මා දන්නා විදිහට ඔබ රංගනයටවත් අධ්‍යක්ෂනයටවත් ඔබ ඕපපාතික නැහැ. ඔබේ හැදෑරීම පවා කලේ ආචාර්ය සාලමන් ෆොන්සේකා යටතේ?

ඇත්තටම 90 දශකයේ මම උසස් පෙළ අවසන් කරද්දීත් මට අවශ්‍ය වුණේ කොහොමහරි රංගන ශිල්පියෙක් වෙන්න. ඒ හීනය මට ගොඩක් කල් ඉඳන් තිබුණා. ඒ හීනය සැබෑ කරගන්න තමයි මම ආචාර්ය සාලමන් ෆොන්සේකා ළඟට ගියේ. මුල් කාලයේ මම බොහෝ දුරට කලේ දේවල් බලං හිටපු එක. පස්සේ තමයි මම අභ්‍යාස වලට බැස්සේ. බොහෝ අය හිතනවා රංගනය පුහුණු වෙනවා කියන්නේ උඩ පැනලා හයියෙන් හුස්ම ගන්න එකට කියලා. නමුත් ඒක එහෙම එකක් නෙවෙයි. මේක ඉතා ගැඹුරු විෂයක්. ඒ ගැඹුර ගන්න නිරන්තර හැදෑරීම අවශ්‍යයි. මම රංගනය වගේම අධ්‍යක්ෂනයත් ප්‍රගුණ කළේ ආචාර්ය සාලමන් ෆොන්සේකා හරහා. ආදරෙයි මං පිදුමත් එතුමාටම තමයි.

මට මතක විදිහට ඔබ චිත්‍රපටය රූප ගත කරන්න ආරම්භ කරන්නේ මීට බොහෝ කලකට පෙර.

ඔව්. චිත්‍රපටයේ රූප ගත කිරීම් ඉවර වෙනකොටත් 2014 අවුරුද්ද විතර වුණා. එතකොටත් අපි කඩින් කඩ අවුරුදු 3 කටත් වැඩිය රූපගත කිරීම් කරලා තිබුණේ. ඊට පස්සෙත් අපි පසු නිෂ්පාදන කටයුතු වලට කාලය වැය කළා. අවස්ථාව ලැබුණාම අපි ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කළා.

චිත්‍රපටය ඇතුලේ ඔබ ගෙනෙන කතාව ඇත්තෙන්ම බොහොම සුන්දර ගනුදෙනුවක්. ලංකාව තුළ මේ වෙනකොටත් චිත්‍රපට වෙළඳපල ඉල්ලන වර්ණවත්, ප්‍රේක්ෂකයා වශී කරන දර්ශන ඔබ ඉතා අඩුවෙන් පාවිච්චි කරන්නේ. මේ දේ ඔබ හිතාමතා ද කරන්නේ?

ඔව්. මේ දේ මම හිතා මතා කරන දෙයක්. මම චිත්‍රපටය පුරාම කරන්න උත්සහ කරන්නේ අපට දැනෙන මානුෂික සිතුවිලි ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා. අපේ තේමාව ආදරය. ආදරය ආදරණීය විදිහට බෙදාගන්නේ කොහොමද කියන එක මේ චිත්‍රපටය පුරාම කෙල්ලයි කොල්ලයි පෙන්වනවා. ඒ සඳහා මං හිතන්නේ නැහැ කිසි විටෙක මේ වගේ ගනුදෙනුවක් ඇතුලේ පෙනෙන්න නැති බොරු ආටෝපයන් එකතු කරන්න ඕනෑ කියලා. ඒවා අපි දැක්කා ඉන්දියන් මෙගා නාට්‍ය වල. සහ වෙනත් ඉන්දියන් අභාසය ගත්ත චිත්‍රපට වල. මම හිතන්නේ ඔය වගේ දර්ශන බොරුවක්. සාරි ඇඳන් ආභරණ දාගෙන නිදියනවා වගේ දර්ශන මේ වගේ මානුෂිය ගනුදෙනුවකට හරියන එකක් නෙවෙයි. මේකෙදි අවශ්‍ය සරල විදිහට ගෙයක් ඇතුළේ ඉන්න සරල විදිහට කලිසම් ෂර්ට් ඇඳන් එළියට යන කොල්ලෙක්.

 හොඳයි. දශකයකට විතර පස්සේ ඔබේ පෙම්වතිය ලෙස චතුරිකා චිත්‍රපටයට එකතු වෙනවා. ඔබලා දෙන්නගේ රස විද්‍යාව එතරම්ම සාර්ථකද?

මට සෑහෙන කාලයකට පෙර චතුරිකා සමඟ එකට රඟපෑවා දෙහදක් ආදරෙන් ටෙලි නාට්‍යයේ. චාමර ජයවීර තමයි ඒක අධ්‍යක්ෂණය කළේ. චතුරිකා රඟපෑම වෙනුවෙන් කරන කැපවීම ඉතාම විශිෂ්ටයි. ඒ වගේම පිටපතක තියෙන සියුම් තැන් ගැන ඇය ගොඩක් සංවේදියි. ඒ වගේම මම රඟපාන්න ගියාම ඇය දෙන සහය ඉතාම විශිෂ්ට එකක්. ඒ වගේමයි රූපගත කිරීම් වලදී පවත්වාගෙන යන විනයත් අගය කළ යුතු එකක්.

ඔබේ චිත්‍රපටයේ ගීත නිර්මාණය කරන්නේ වික්ටර් රත්නායකයන්. විවාදයක් නැහැ, ගීත බොහොම ආකර්ෂණීයයි. මේ තේරීමට හේතුව වුනේ මොකක්ද?

අපි එක එක ගායකයන් එක්ක විවිධ යුග වල ඔවුන්ගේ ගීත ඇහුවා. අදටත් අහනවා. අදටත් අපට ඉන්න ප්‍රේමනීයම ගායකයා තමයි වික්ටර් රත්නායකයන්. ඔහුගේ හෙ¼ඩ් ප්‍රේමය උතුරන ගතියක් මට දැනෙනවා. ඒ නිසා තමයි වික්ටර් රත්නායකයන් මම සම්බන්ධ කරගත්තේ. ඔහු ගීත නිර්මාණය කරද්දී පසුබිම් සංගීතය සඳහාත් මම දක්ෂයෙක් තෝරාගත්තා.

ඔබ ඔබේ චරිතය ගොඩනගා ගනිද්දී ඔබේ අධ්‍යයනයන් ඔබට හේතු වුණාද?

ඇත්තටම අධ්‍යයනය කියන දේ නිරන්තරයෙන්ම කරන්න අවශ්‍ය දෙයක්. අපේ සිනමාවේ ජ්‍යෙෂ්ඨයන් පවා මේ දේ නිරන්තරයෙන් කළා. සමහරු නම් කියනවා ඔවුන් අධ්‍යයනය කලේ නැහැ කියලා. නමුත් මම අධ්‍යයනය කරන කෙනෙක් විදිහට දන්නවා ඒ රඟපෑම් අධ්‍යයනයක් නොකර කරන්න බැහැ කියලා. හොඳම උදාහරණය තමයි ජෝ මහත්තයයි ගාමිණි ෆොන්සේකා මහත්තයයි. ඒ දෙන්න විශාල අධ්‍යනයක් කරපු දෙන්නෙක්.

නමුත් ගැටලුවක් හැටියට මට පෙනෙනවා යම් පරම්පරාවක නියෝජනයක් ඔබ චිත්‍රපටය ඇතුළේ කරන්නේ. මේ 2018. නමුත් ඔබේ ආකෘතිය අද දවස නියෝජනය කරන පරම්පරාවේ නෙවෙයි කියලයි මට හිතෙන්නේ?

මෙහෙමයි.හොඳ ප්‍රශ්නයක් ඕක. ඇත්තෙන්ම අපි නියෝජනය කරන පරම්පරාව අයිති වෙන්නේ මේ ස්මාට් ෆෝන් යුගයට නෙවෙයිනේ. එහෙම බැලුවොත් අපි අපේ හොඳම කාලය ගෙවල තියෙන්නේ සංක්‍රාන්ති කාලයක. ඉතින් අපේ පරම්පරාව ලව් කරපු විදිහ වෙනස් කලාව වෙනස්. ඉතින් චිත්‍රපටයෙන් පෙන්වන්නේත් අපේ කාලයේ ලව් කරපු විදිහ. වඩාත් වැදගත් වෙන්නේ පෙම්වතුන් අතර මානුෂීය ගනුදෙනුවක් තියාගැනීමට තරම් ඒ පරම්පරාව පරිණත වීම. හැබැයි ඒ කිසිදෙයක් චිත්‍රපටයට නරක බලපෑම් කරන දේවල් නෙවෙයි.