වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




තුන්වැනි යාමය රැක ගන්න ඔබටත් එයට දායකවිය හැකිය

තුන්වැනි යාමය රැක ගන්න ඔබටත් එයට දායකවිය හැකිය

මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ නවමු හැරවුම් ලක්ෂයක් සිදු කළ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක තම මුහුණු පොතට ඉකුත් දිනයක සංවේදී සටහනක් එක්කොට තිබුණා.

එහි වඩාත් ඉස්මතු වූ කරුණ වූයේ ධර්මසිරිගේ තුන්වැනි යාමය චිත්‍රපටය ගැනයි. එය ඩිජිටල්කරණය කළ යුතු බව ඔහු සඳහන් කොට තිබුණා. ඒ සඳහා රුපියල් ලක්ෂ විසි හයකට ආසන්න මුදලක් වැය වෙනවා.

මේ මස 28 ට පෙර ඉන්දියාවේ ප්‍රසාද් රසායනාගාරයට තුන්වැනි යාමය සිනමාපටයේ නෙගටිව්පටය සහ බොහෝ ප්‍රමාණයක් විනාශ වී ගිය පිටපත යැවිය යුතු වෙනවා. මේ සටහනෙන් පසුව බොහෝ දෙනා ධර්මසිරිට පවසා සිටියේ මේ සඳහා මුදල් එකතු කිරීමට ගිනුමක් විවෘත කරන හැටියටයි.

ඒ ඉල්ලිම් ඔස්සේ ධර්මසිරි මේ වෙනුවෙන්ම කොමර්ෂල් බැංකුවේ ගිනුමක් විවෘත කළා. එහි කේ. ඩී. බණ්ඩාරනායක නම යටතේ 8116030966 යන අංකයට තුන්වැනි යාමය බේරා ගැනීම සඳහා මූල්‍යමය දායකත්වය ඔබටත් ලබාදෙන්න පුළුවන්.

ධර්මසිරි බණ්ඩාරනායකයන් වැඩිදුරටත් පවසා සිටියේ මෙම මුදල එකවර ගෙවන්නට කැමැත්ත දක්වන අයකු වෙතොත් චිත්‍රපටයේ සියලු අයිතිය ඔහුට හෝ ඇයට ලබා දෙන බවයි.


පතී වත අද එළි දකී

පතිරාජ සිනමා දැක්මත් අද

අභාවප්‍රාප්ත විශිෂ්ට සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් පිළිබඳ ලියවුණ ලිපි එකතුවකින් සංස්කරණය වූ පතී වත ග්‍රන්ථය මේ මස 08 වැනිදා එනම් අද සවස කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙන විශේෂ උත්සවයක් අතරතුරදී එළිදැක්වේ.

එයට සමගාමීව එන්න මගේ ප්‍රිය මිතුරෝ නමින් පතිරාජයන්ගේ සිනමා දැක්මක් ද පැවැත්වෙනු ඇත. ඒ අනුව

අද උදෑසන 10 ට පාර දිගේ,

දහවල් 12.30 ට මතු යම් දවස

සවස 3 ට In search of a road සහ රාත්‍රී 7 ට ස්වරූප

යන චිත්‍රපට තිරගත වේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ සහයෝගයෙන් මෙම සිනමා දැක්ම සංවිධානය කොට ඇති අතර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් මුද්‍රණය කරන ලද පතී වත කෘතිය ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගෙ සංසදයේ ග්‍රන්ථ ප්‍රකාශයකි.


බෙනට්ගේ නෙලා වැලන්ටයින් දවසේ

අස්වැසුම චිත්‍රපටය තනා හොඳම අධ්‍යක්ෂ ලෙස සරසවිය සම්මාන දිනූ බෙනට් රත්නායකගේ නවතම සිනමා කෘතිය නෙලා මෙම මස 14 වැනිදා සිට රීගල් ප්‍රමුඛ සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන් හි තිරගතවීම ඇරැඹේ. ස්පාඤ්ඤ බසින් විරචිත මරිය නෙලා නවකතාව ඇසුරෙන් ඉන්ද්‍රාණි රත්නසේකර නෙලා නමින් පරිවර්තනය කළ ග්‍රන්ථය පාදක කර ගනිමින් නෙලා චිත්‍රපටය නිර්මාණය වී තිබේ.

පාලිත පෙරේරා, උදාර රත්නායක, සේමිණි ඉද්දමල්ගොඩ, ශලනි තාරකා, තාරුකා වන්නිආරච්චි, උදාරි පෙරේරා, තුමිඳු දොඩන්තැන්න, රොෂාන් පිලපිටිය, අනුර ධර්මසිරිවර්ධන ඇතුළු නළු නිළියන් මෙහි චරිත මවති. තිර රචනය බෙනට් රත්නායකගෙනි. සමන්මලී හේවාමාන්න නෙලා නිෂ්පාදිකාවය. එච්. ඩී. ප්‍රේමසිරි, චරිත් නාගොඩවිතාන, ඩිලාන් ප්‍රනාන්දු, අතුල මහවලගේ නෙලා හි සම නිෂ්පාදකවරුන්ය.


 10-14 සම්භාවනීය ඉරාන සිනමා රස විඳිමු

ඉරාන ශ්‍රී ලංකා මිත්‍රත්ව සතිය සහ ඉරාන ඉස්ලාමීය විප්ලවයේ 39 වැනි වසර නිමිති කර ගනිමින් සංවිධානය කළ ඉරාන චිත්‍රපට දැක්මක් මෙම මස 10 වැනිදා සිට 14 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙයි. 10 වැනි දින සවස 5.30 ට බොඩිගාඩ් චිත්‍රපටය තිරගත වීම සමඟින් උලෙළ ආරම්භ වනු ඇත. උලෙලේ චිත්‍රපට තිරගත වන පිළිවෙළ මෙසේය.

11 වැනිදා සවස 3.30 ට ට්‍රැක් 143, එදින සවස 6.30 ට අ කියුබ් ඔෆ් ෂුගර්

12 වැනිදා සවස 6.30 ට ස්වීට් ටෙස්ට් ඔෆ් ඉමැජිනේෂන්

13 වැනිදා සවස 6.30 ට වෙයාර් ආ මයි ෂූස්

14 වැනිදා සවස 6.30 ට ද පේන්ටින්ග් පුල්


නිර්මාණි අංජලිකාගේ ගී යුගලක්

ළමා ගායිකා නිර්මාණි අංජලිකා රත්නායකගේ නවතම ගීත යුගලක් ඉකුත් දා පටිගත කෙරිණ. රිදී අහස් තලේ සහ පිණි පොද මිණිකැට වර්ෂාවේ ලෙසට නම් කොට ඇති එම ගී පිළිවෙළින් මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර සහ බණ්ඩාර ඇහැලියගොඩගේ රචනයකි. ගීත ද්විත්වය ආනන්ද ගමගේ විසින් සංගීතවත් කරන ලදී. නිර්මාණි මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචිව සිටින අතර නිවාඩුවකට මෙරටට පැමිණි මොහොතේදී මෙම ගීත පටිගත කරන ලදී.