වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




සැඳෑ සමයේ හුදෙකලාවට අර්ථවත් විරාමයක්

සැඳෑ සමයේ හුදෙකලාවට අර්ථවත් විරාමයක් ගෙනෙන

‘හැට විය ඉක්මවූවන්ගේ කලා සංසදයේ’
කැඳවුම්කරු රංජිත් නාඔටුන්න

දිවි මඟ සැඳෑ සමය ළං වනවාත් සමඟ තම තමන්ගේ වගකීම් සහ යුතුකම්වලින් බොහෝ දුරට අත්මිදුන ද, ආගන්තුක හුදකලාවක් ඒ ජීවිත තුළට අරක් ගන්නා බව ඔහු බොහෝ විට අත්වින්දේය. එදිනෙදා නගරයේ දකින හමුවන බොහෝ මැදිවිය ඉක්මවූවන්, එකී හුදකලාවට නතු වී, ඉන් මිදීමේ පරමාර්ථයෙන් තම අවශ්‍යතාවන් සඳහා නොහැකි වයසේදී හැකි රැකියාවල නිරතවීම එක් ආකාරයකින් ඛේදනීයය.

එවන් පසුබිමක ගැවසෙමින් මෙම හුදකලා වූ ජීවිත දෙස උපේක්ෂාවෙන් බලන රංජිත් නාඔටුන්න නම් ඔහු ද එම සැඳෑ සමය අත් විඳින්නෙකි. ඒත් හුදකලාවෙන් මිදීමට අර්ථවත් මගක් සොයන්නෙකි. ඒ සඳහා තම සමාජ සහෘදයින් එකතු කරන්නෙකි.

රංජිත් නාඔටුන්න විටෙක වේදිකා රංගන ශිල්පියෙකි, විටෙක සිනමා නළුවෙකි, තවත් විටෙක ලේඛකයෙකි. එමෙන්ම මේ සියල්ල අභිබවා ගිය අත්දැකීම් බහුල රාජ්‍ය සේවකයෙක් මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාකාරියෙකි. එමෙන්ම නැවියෙකි. කතාබහ ආරම්භයේදීම ඔහුගේ මතකය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඔහු අධ්‍යාපනය ලැබූ කාල වකවානුව වෙත දිව ගියේය. ඒ සමඟම එවකට ඔහු හා සිටි අද මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන සමන් වගආරච්චි, අතුල පිරිස්, දිරිල් පුෂ්පලාල් යන සහෘදයින් සෙනෙහසින් සිහිපත් කළේය.

ඔහු රංගනයට පිවිසීමට පළමුව එහි හතර මායිම පිළිබඳ සොයා බැලුවෙකි. ඒ සඳහා ඔහුට පැවතියේ අසාමාන්‍ය අවශ්‍යතාවයකි. පාසල නිමවීමෙන් පසු ඉක්මනින්ම නිවසට ගොස් එවකට ඔහුගේ පියා සේවය කළ ගාල්ල ක්වින්ස් සිනමා ශාලාව වෙත ඔහු පියාගේ බත්පත ද රැගෙන දිවයන්නේ එකී අරමුණ වෙනුවෙනි. වේදිකාව පිළිබඳව ද එලෙසමය. වටාපිටාව හොඳින් ග්‍රහණය කරගෙන ඔහු රංගනයට පිවිසි අයෙකි.

ඉන් සිය ගමන ඇරඹූ රංජිත්ගේ ඊළඟ පියවර පාසල් වේදිකාවයි. රිච්මන්ඩ් වේදිකාව මෙන්ම, දහම් පාසල් වේදිකාව මත ද ඔහු ජයකෙහෙළි නැංවීය. දිරිල් පුෂ්පලාල් විසින් නිර්මාණය කළ 'පනස් හයේ දවසක්' හි රංගනයෙන් හොඳම නළුවා වූ රංජිත්, ඉන් අනතුරුව 'අධිපතියෙකුගේ මරණ මංචකය', කීර්ති ජයලත් නිර්මාණය කළ 'එක අඳුනක් නෑ' යන නිර්මාණ සඳහා රංගනයෙන් දායක විය.

පසුව ප්‍රසිද්ධ වේදිකා රංගනයට අවතීර්ණවීමේ භාග්‍යය රංජිත්ට උදා වන්නේ සුගතපාල ද සිල්වා විසින් නිර්මාණය කළ 'මරාසාද්' වේදිකා නාට්‍යය තුළිනි. ඉන් නොනැවතී ප්‍රසිද්ධ වේදිකාව මතින් සිනමා රංගනයට ද ඔහු පිවිසියේය. එදා මෙදාතුර ධර්මසිරි බණ්ඩාරනායකගේ 'යක්ෂාගමනය', 'බව දුක', 'බවකර්ම' විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ 'සිහින දේශයෙන්', සුමිත් කුමාරගේ ගේ 'මායාරත්න', අරුණ ප්‍රේමරත්නගේ 'වාසනා වේවා' පරාක්‍රම නිරිඇල්ලගේ 'සුදෝ සුදු' යන වේදිකා සහ සිනමා නිර්මාණ සඳහා රංජිත් සිය රංගන දායකත්වය ලබා දී ඇත. ඒ අතරතුර ඔහු ලේඛන කලාවට ද යොමු වී ඇත. එවකට ඔහු සේවය කළ නැව් සංස්ථාවේ ලද අත්දැකීම් ඇසුරින් 'රජ ගෙදර යට බුක් කීපර්' කෘතිය ඔහු විසින් රචනා කරන ලද්දකි.

වේදිකාවේදී ද, සිනමාවේ දී ද සමාජ යේ අනෙකුත් සෑම ක්ෂේත්‍රයකදීම රංජිත්ගේ නිරීක්ෂණයට ලක් වූ එක් කරුණකි. එනම් එකී සෑම තැනකදීම මොනයම් හෝ හේතුවක් මත වැඩිහිටියන් හුදකලාවීමයි. ඊට බොහෝ කරුණු පාදක විය හැකි වන නමුත් අඳුරට සාප නොකිරීමට ඔහු සැම විටකදීම වග බලා ගත්තේය. ඒ ඔහුගේ සංකල්පයකට අනුව ලාංකේය කලා කෙතේ මෙන්ම විද්‍යා ක්ෂේත්‍රයේ සහ වාණිජ සේවාවන්වල නියුතුව සිට ජීවිතයේ සැඳෑ සමයට ළං වූ බොහෝ දෙනා එක් රැස් කර "හැට විය ඉක්ම වූවන්ගේ සංසදය" නිර්මාණය කිරීමට අවශ්‍ය වපසරිය දැන් ඔහු සකසමින් සිටී.

නුදුරේදීම දියත් කෙරෙන මෙම වැඩ පිළිවෙල සඳහා ප්‍රවීණ රංගවේදී වින්සන්ට් ගුණරත්නයන් සහ රංජිත්ගේ සමකාලීන ව්‍යවසායක සගයින් වන ගාමිණී ධර්මසිරි, උපාලි ජයරත්න, ධම්මික ජයවර්ධන යන අයගේ ද ආශිර්වාදය ලැබී තිබේ.

ඒ අනුව මෙතුවක් ජීවිතයේ බොහෝ දුර, බොහෝ වගකීම් දරමින්, යුතුකම් ඉටු කරමින් පැමිණි ඔබ ද රංජිත් සමඟ එකතු වී "හැට විය ඉක්ම වුවන්ගේ සංසදය" ඔස්සේ සැඳෑ සමයේ හුදෙකලාවට නව අරුතක් එක් කරන්නට දායක වෙනවා යනු ඔබ විසින් කළ යුතුව තිබූ නමුත්, මෙතෙක් ඔබට මඟ හැරුණු යුතුකමක් තවත් සහෘදයෙකු වෙනුවෙන් ඉටු කරලීමයි. මෙම උතුම් කර්ත්‍යවයට දායකවීමට, පහත ලිපිනය සහ දුරකතන අංකය ඔස්සේ රංජිත් නාඔටුන්න සමඟ ඔබට සම්බන්ධ විය හැකි වනු ඇත.

අංක 106 ර්, විජිතපුර මාවත, මුල්ලේරියාව නව නගරය.