වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




මං හයි ස්පීඩ් නැහැ

මං හයි ස්පීඩ් නැහැ

ශෙරීන් එදිරිසිංහ

ඇගේ රුව දමිළ තරුණියක හා සමානය. ඇය හැඩ වැඩ වන්නේ ද දමිළ ආරටය. එහෙත් ඇය සිංහල තරුණියකි. නම ශෙරීන් එදිරිසිංහය. රංගන ශිල්පිණියක් ලෙසින් ක්ෂේත්‍රය තුළ සෙමින් ගමනක යෙදෙන ඇය වසර අටක් තිස්සේ රඟපෑමේ යෙදෙන්නීය. එමෙන්ම ඇය මේ වෘත්තීය තෝරාගෙන ඇත්තේ ජනප්‍රියත්වය තකා නොව තම හැකියාව හුවා දැක්වීමේ අරමුණිනි.

* ශෙරීන් වසර අටක් ඔබ රංගනයේ යෙදුණත් නිර්මාණ අතළොස්සකයි ඔබව දැකගත හැකි වූයේ?

ඒකට ප්‍රධන හේතුව මං තෝරා බේරාගෙන රංගනයේ නියැළීම. ලැබෙන සෑම නිර්මාණයක්ම මං බාර ගන්නේ නැහැ. ඒ වගේම මං කැමැතියි මට ලැබෙන චරිත මං විඳින ගමන් රඟපාන්න. ඒ වගේ තෘප්තියක් නැතුව මං රංගනයේ යෙදෙන්නේ නැහැ. ඒකයි වසර අටක් තිස්සේ බොහොම අඩු නිර්මාණ ප්‍රමාණයකින් මාව දක්නට ලැබුණේ.

* ඔබට තියෙන්නේ ටැමිල් ලුක් එකක්?

ටැමිල් විදිහට සැරසෙන්න මං ආසයි. ඒ වගේම මට පුංචි කාලේ ඉඳලා ටැමිල් පුළුවන්. ඒ හින්දා මම ටැමිල් ඩිප්ලෝමා එකක් පවා කළා. මේ මේ කරුණු කාරණා නිසා මාව ටැමිල් කෙනෙක් වගේ පේනවා ඇති. අපේ බොහෝ නිළියන්ට ටැමිල් බැහැනෙ. නමුත් මට හොඳටම පුළුවන්.

* දමිළ දන්න නිසා ඔබට රංගනයේදී යම් යම් වාසි සිදු වුණා නේද?

ඔව්. අධ්‍යක්ෂවරුන් මට ටැමිල් චරිතවලට කතා කරනවා. මේ දවස්වල එහෙම නාට්‍ය දෙකක් රූ ගතවනවා. එකක් මයාදුන්න බණ්ඩාර මහත්මයාගේ ගොම්මනේ අපි. අනෙක් නිර්මාණය ගෞතමී. ඒක දමිළ අධ්‍යක්ෂවරයෙක් නිර්මාණය කරන්නේ.

* මේ වෙලාවේ ගෞතමී ගැන තව වචනයක් දෙකක් කතා කළොත් හොඳයි කියලා හිතෙනවා?

ගෞතමී නාට්‍ය තුළදී මට සියයට සියයක්ම දමිල විදිහටම වැඩ කරන්න ලැබුණා. පිටපත පවා දමිළ බසින් ටයිප් කරලා තිබුණේ. අධ්‍යක්ෂවරයාත් දමිළ. දමිළ දන්න නිසා දමිළ කෙල්ලෙක් විදිහටම මමත් හිටියා. ගෞතමී පිටපත කියවද්දී මට දැනුණා මං මීට පෙර නරඹපු දමිළ චිත්‍රපටයකත් මේ හා සමාන කතාවක් තිබුණා නේද කියලා. මං අධ්‍යක්ෂවරයාට ඒ ගැන කිව්වම ඔහු පුදුම වුණා. ඔහු කිව්වේ ඒ කතාවෙයි මේ කතාවෙයිි වෙනසක් තියෙනවා කියලා. මං ඒ වෙනසත් ඔහුට කිව්වා. ඔහු හිතුවේ නැහැලු මම දමිළ චිත්‍රපට නරඹන්නියක් කියලා. ඉඩ ඇති සෑම වෙලාවකම මං චිත්‍රපට බලනවා. ඒවා අධ්‍යයනය කරනවා.

* අධ්‍යයනය කරකර රඟපාන්න තරම් ඔබට වෙලාවක් තියෙනවද?

මං ඒකට කොහොමත් වෙලාවක් වෙන් කර ගන්නවා. අධ්‍යයනයකින් තොරව මං කිසිම චරිතයක් කරන්නේ නැහැ. ගැමුණු මහ රජ නාට්‍යයේ මං රඟපෑ චරිතය නිරූපණයට පෙර මං රංගනය සම්බන්ධ පොත්පත් පවා කියෙව්වා. පිටපතට වඩා එහා ගිය දෙයක් කරන්නයි මගේ අපේක්ෂාව. තියෙන දෙබස එහෙම්මම කියනවාට වඩා මගෙනුත් දෙයක් එකතු කරලයි මං ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්නේ.

* ඔබව වඩාත් ජනප්‍රිය කළ චරිතයන් පිළිබඳ මතක් කළොත්?

ටෙලි නාට්‍යවලින් නම් මෝදර වැල්ලෙ කොරින්. ඒක හුඟක් මිනිසුන් අතරට ගියා. ඒ වගේම අප්පට සිරි ෆිල්ම් එකේ මං කරපු චරිතයත් එහෙම්මමයි. මං තමයි චිත්‍රපටය තුළ ප්‍රධාන නිළියව මොඩ් කරන්නේ. චිත්‍රපටය තිරගත වන කාලයේ පාරේ බැහැලා යන්න බැහැ. අපිවත් මොඩ් කරන්නකෝ කියලා මිනිස්සු කියනවා.

* ඔබේ ගමන හිමින් වැඩි යැයි හිතෙන්නේ නැතිද?

කෙහෙත්ම නැහැ. මේ ගමන මේ විදිහටම යන්නයි මගේ බලාපොරොත්තුව. හයිස්පීඩ් හොඳ නැහැ. එතකොට ආව ගියෝ වෙනවා.

* සිනමාවෙද පුංචි තිරයෙද ඔබ වඩාත් චරිත මැවීමට කැමැති?

සිනමාවට තමයි ගොඩක් ආස. ඒ මාධ්‍ය තුළ වඩාත් මතක හිටින දේවල් කරන්නට හැකියාව තිබෙනවා.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?

සැහැල්ලුයි වගේ පෙනුනට හරිම බැරෑරුම් කෙනෙක්.

ශෙරීන් ගැන කෙටි විස්තරයක්

ඉගෙන ගත් පාසල - වටවල සිංහල මහ විදුහල.

පදිංචිය - කොටිකාවත්ත.

උපන් දිනය - 1987. 03. 29

රඟපෑ නාට්‍ය - මෝදරවැල්ල, රන් හිරු රැස්, කෝපි කඩේ, තඹ පාට හැන්දෑව, ගැමුණු මහ රජු, පත්තිනි, තරුමලී.

රඟපෑ චිත්‍රපට - අප්පට සිරි, හැට හතර මායම්, සුහද කොකා, අතුරු මිතුරු හරි අපූරු, රිහසල්, විශ්ව.