වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




‘මං තමයි දැන් අන්තිමට වැරදිකාරි’

‘මං තමයි දැන් අන්තිමට වැරදිකාරි’

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය.එහෙත් ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වනුයේ නොසිතූ අත්දැකීමකටය.

අද එතැන් සිට...

‘මට මතක් වෙන ගානේ කේන්තියි’

අම්මා පැවසුවාය.

මාමා අහස පොළව ගැට ගසන්නට කල්පනා කරමින් සිටියි.නැන්දා කම්මුලේ අත ගසා ගෙනය.ආරංචිය ඇසුණ ගමන් මාමා අනුරාධපුරයට ගියේ හොඳීන් හෝ නරකින් දෙකෙන් එකක් විසඳන්නටය.ඒ තනියම නොවේ.නැන්දා ද සමඟය.මාමාට තාත්තා මුණ ගැසී තිබේ.මාමා ආපසු ආවේ හිත හොඳකින් නොවේ.

‘එව්ව අපි හිතුවාට වඩා දුර දිග ගිහින්.’

මාමා පැවසුවේ ටික වේලාවකට පසුවය.අවුරුදු ගණනාවකට පසුව දකින මාමා වෙනදාට වඩා වියපත්ය.දැන් ඔහු ගුරු වෘත්තියෙන් විශ්‍රාම යන්නට ආසන්නය.

‘අර ගෑනිත් හිටියා ද?’

බිනරි ඇසුවේ දුම්රියට පැන්න ගැහැනිය පිළිබඳ තවමත් සාංකාවක් සිතේ තුබුණ නිසාය.පරසන් ගස් වැවේ දි දුම්රියට පැන්න ගැහැනිය ගංගා නොවූවද සිතේ ඇති වූ කැලඹීම එහෙමමය.මාමා හිස වැනුවේ ඔව් කියන්නටය.

‘මාමා ගෙදර යන කොටත් ඒ ගැනි හිටිය ද ?’

මාමා එයටත් දුන්නේ පැරණි පිළිතුරමය.

‘මට කිව්වා වුණේ වැරැද්දක් කියලා මිනිහා බාර ගන්නවාය කියලා.’

මාමා කතා කළේ වචන සොයමින්ය.බිනරිට වුවමනා වුණේ ඉක්මන් ප්‍රතිඵලය.එබැවින් ඇය මාමා දෙස බැලුවේ නොරිස්සුමෙනි.

‘පිටකොටුවේ කඩ කෑල්ල කුලියට දුන්න කට්ටිය මේ මාසේ යනවාලු.ඒ කඩේ දුවට ලියලලු තියෙන්නේ’

මාමා පැවසුවේ ඉක්බිතිවය.එයින් පසු ඇතිවූයේ තරමක නිහැඬියාවකි.

‘එයා ඒ වැරැද්ද කඩේ දීලා බේරා ගන්න හදනව ද ?’

එවර කතාවට වැටුණේ නැන්දාය.

‘මේව රට්ටු හිනස්සන වැඩ’

ඇය විස්සෝප වූවාය.අම්මා කරබා ගත්තේ බිනරි දෙස හොරැහින් බලමිනි.බිනරි සැමියා අතහැර ලංකාවට පැමිණීම ගැන ද ඇය සිටියේ දෙගිඩියාවෙනි.මනෝජ් ගේ ඥාතින් කිසිවකු හෝ ඒ ගැන විමසන්නට පැමිණෙතැයි ඇය සිතින් බිය ගත්තාය.මොනවා වුනත් ගහේ ගෙඩි වැලට බර නැත.එබැවින් බිනරි ගේ තීරණයට අකමැත්තෙන් හෝ මුවින් නොබැන සිටින්නට ඇය සිතා ගත්තාය.සැමියා ගෙන් කිසි විටෙකත් වෙනසක් දැනුණේ නැත.ඔහු ගෙදර ට වුවමනාවටත් වඩා මුදල් එව්වේය.

‘අබ මල් රේණුවකින් වත් වෙනසක් කරන්නේ නෑය කිව්වේ’

මාමා තවත් විස්තර පැවසුවේය.

‘අනුරාධපුරේ ඒව අර අහක ඉන්න ගෑනිට ද?’

එකවරම බිනරි ඇසුවාය.මාමා සිය බිරින්දෑ දෙස බැලුවාය.

‘එහෙම කොහොමද ඒ කොහේ යන අයිතියක් ද?’

නැන්දා කාට කාටත් උඩ ගෙඩි දෙන්නට සැරසුණාය.

‘පිටකොටුවේ කඩේ ලිව්වේ දෑවැද්දටත් එක්ක’

අම්මාට සිහිපත් වුණාය.

‘කොහොම උනත් ඒක අරන් ඉන්න අයට යන්න කියන්න ඕනෑ’.

බිනරි පැවසුවේ තිර හඬකිනි.විවාහ වී යන විට නිහඬ යුවතියක වූ බිනරි සිතින් වර්ධනය වී ඇති වට මාමා ට පෙනිණ.

‘දැන් ඒ මිනිස්සු සෑහෙන ගාණක් මාසෙට එවනවා.’

අම්මා මෙතෙක් නොකී රහසක් හෙළිකළාය.

‘ඒක අපට කරන්ඩ පුළුවන්.’

බිනරි අම්මා දෙස බැලුවාය.

‘එතැන ගෑනියෙකුට බිස්නස් කරන්ඩ පුළුවන් කමක් නෑ.පිටකොටුවේ එකපාරම ගිහින් වැඩ කරන්ඩ බෑ’

අම්මා පැවසුවාය.සැමියාගේ වැඩ ගැන සොයා බලන්නට තමා පසුගිය කාලයේ උනන්දු නොවූයේ නිවසට මුදල් එන ක්‍රමයක් ඔහු විසින් සම්පාදනය කරමින් තිබූ නිසාය.ආරම්භයේ සතියකට වතාවක් වත් නිවසට පැමිණි සැමියා ගේ ගමන අනුක්‍රමයෙන් අඩුවන ද ඔහු කිසිවිටෙකත් ගෙදර අඩුපාඩාවක් තිබ්බේ නැත.සැමියා ගේ වෙන්වීමත් සමග ඒ ගැන බියක් ඇයට ඇත.

‘අම්මාට කරන්ඩ බැරි වෙයි.හැබැයි මට පුළුවන්’

‘පුළුවන් නම් හොඳයි.බිනරි මං උණත් උදව් කරන්නම්.’

මාමා පැවසුවේ බිනරි ගේ ස්ථිර ස්වරය ගැන ප්‍රසාද ජනක හැඟීමකිනි.විශ්‍රාම ගිය පසු කරන්නට ද යමක් තිබිය යුතුය.පාසලේ දක්ෂ ගුරුවර‍යෙක් වුවත් වියපත් වීමත් සමඟ ටියුෂන් සඳහා පැමිණෙන ගෝලයන් ගේ අඩුවක් පෙනෙන්නට තිබේ.ළමයින් කැමැති තරුණ ගුරුවරුන්ටය.බිනරි හා එකඟවීම ඇඟට ගුණය.

‘මම ඒ තීන්දුවට අත් දෙකම උස්සල කැමැති වෙනවා’

මාමා පැවසුවේය.

‘ගෑනියෙකුට කරන්ඩ බැරි වැඩක් නෑ.අක්කා උනත් මේ දේවල් ගැන මීට වඩා උනන්දු වුණා නම් මේ දේවල් මෙහෙම වෙන්නේ නෑ.’

මාමා පැවසුවේය.

‘මං තමයි දැන් අන්තිමට වැරදි කාරි’

සොහොයුරාගේ ඇණුම් පදයෙන් කිපුණු අම්මා උන් තැනින් නැගිට ගෙට ගියාය.නැන්දා ද ඇය පසුපසින් ගියාය.

‘නෑ මාමා මම කියන්නේ ලේසි වෙන්නේ නෑ.හැබැයි කරතෑකි.අනික් මම දන්නෑ දැන් ඒ කඩේ තාත්තා කරන්නේ නෑ කියලා.පිට අය ඒ කුලියට ඒ ගානට කරනවා නම් ලේසියි.අපිට මහන්සි වුණොත් ඊට වඩා ගානක් හොයා ගන්ඩ පුළුවන්’

බිනරි පැවසුවාය.පිටකොටුවේ කුඩා කඩ කැබැල්ල චුට්ටං මුදලාලිගේම දේපළකැයැයි මාමා වුව එයට පෙර දැන සිටියේ නැත.බින්දුවෙන් බිංදුව පළතුරු කරත්තයෙන් පටන් ගෙන චුට්ටං පිටකොටුවේ මුදලාලි කෙනෙකු වී ඇත. පසුගිය කාල වල ඔහු දිනන පැත්ත බලා ගෙන කළ ඡන්ද කෙරුවාවෙන් ද පාඩුවක් අත් පත් කර ගෙන නොමැතියැයි මාමා ට සිතිණ.මුළු ජීවිතයම වමේ පක්ෂයක් කර පින්නා ගත් තමන්ට සිදු ව ඇත්තේ කවරෙක්දයි සිතා බලත්ම මාමාගේ සිත මහත් ආත්මානුකම්පාවකින් වෙලි ගියේය.දියණියගේ විවාහය සඳහා ද පුතනුවන්ගේ ඉහළ අධ්‍යාපනය ද ගැන සිතන විට මාමා ගේ සිත කීරි ගෑවෙයි.සිය සොයුරිය පළතුරු වෙළෙන්දෙකු හා හාද විනි යැයි තම මාපියන් කෙතරම් කෝප වුණාදැයි මාමාට කල්පනා විය.

‘මාමා හෙට එනවද කඩේ බලන්ඩ යන්ඩ’

එකවරම බිනරි ඇසුවාය.

‘හෙට මට ස්කෝලේ.මම ගිහින් ඇවිත් එන්නම්.’

‘නෑ ඒකට කමක් නෑ.මම යන්නම් උදේ වරුවේ.’

බිනරි උන් තැනින් නැගිට්ටාය.

‘මේ ගෙදර පොඩි රෙපයාර් එකක් කරන්ඩ ඕනෑ.’

ඇය අලුත් අදහසක් පැවසුවේ ගෙයි වහළ දෙස බලමිනි.බිනරි ගේ විවාහයෙන් පසුවම එහි තීන්තවත් ආලේප කරන්නට නැතැයි බිත්ති සාක්කියට හිටියේය.