වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




කළු දිවියා වියරුවෙන්

කළු දිවියා වියරුවෙන්

Black Panther  යනු මාවෙල් කතා අතරින් රිදී තිරයට එන අලුත්ම චිත්‍රපටය යි.

කාටුන් චරිත ප්‍රිය කරන්නන්හට මාවෙල් විශ්වය තරම් ප්‍රිය කරන වෙනත් ස්ථානයක් නොමැති තරම්. සිනමා ලෝකයේ ඉහළ ජනප්‍රියත්වයක් ළඟා කරගෙන සිටින මාවෙල් සිනමා විශ්වයට තවත් අලුත් චිත්‍රපටයක් එක්වීමට නියමිතව ඇත.

Black Panther  යනු මාවෙල් කතා අතරින් රිදී තිරයට එන අලුත්ම චිත්‍රපටය යි. රයන් ක්ලූග්ලර් විසින් අධ්‍යක්ෂණය කළ මෙය මාවෙල් සිනමැටික් විශ්වයේ 18 වැනි චිත්‍රපටය යි. අයන් මෑන් ත්‍රිත්වය (2008, 2010, 2013), දි ඉන්ක්‍රඩිබල් හල්ක් (2008), තෝර් (2011), කැප්ටන් ඇමෙරිකා : ද ෆස්ට් ඇවේන්ජර් (2011), මාවල්ස් : දි ඇවෙන්ජර්ස් (2012), තෝර් : ද ඩාක් වර්ල්ඩ් (2013), කැප්ටන් ඇමෙරිකා : ද වින්ටර් සෝල්ජර් (2014), ගාඩියන්ස් ඔෆ් ද ගැලක්සි (2014), ඇවෙන්ජර්ස් : ඒජ් ඔෆ් අල්ට්‍රන් (2012), සහ ඈන්ට් මෑන් (2015), කැප්ටන් අමෙරිකා : සිවිල් වෝ (2016), මොක්ටර් ස්ට්‍රේන්ජ් (2016), ගාර්ඩියන්ස් ඔෆ් ද ගැලැක්සි - 2 (2017), ස්පයිඩර් මෑන් : හෝම්කමින් (2017), තෝර් : රැන්ග්රොක් (2017) මේ වන විට රිදී තිරයට පැමිණි චිත්‍රපට වන අතර පෙබරවාරි 16 වැනිදා සිට මෙම එකතුවට බ්ලැක් පැන්තර් (Black Panther ) ද එකතු වේ.

මාවෙල් චිත්‍රකතාවල සිටි බ්ලැක් පැන්තර් හෙවත් ටීචල්ලා

චරිතය මුල්වරට සිනමා විශ්වයට පැමිණියේ, 2016 වසරේ කැප්ටන් අමෙරිකා : සිවිල් වෝ චිත්‍රපටය සමඟිනි. එම චරිතයට පණ දුන්නේ අමෙරිකානු ජාතික නළු චැඩ්වික් බොසේමාන් විසිනි. නමුත් බ්ලැක් පැන්තර් ප්‍රධාන චරිතය ලෙසින් වන පළමු චිත්‍රපටය වන්නේ Black Panther  චිත්‍රපටය යි. කැප්ටන් අමෙරිකා සිවිල් වෝ චිත්‍රපටයෙන් පසුව සිදුවන සිදුවීම් මාලාවක් ලෙසින් එය නිර්මාණය වී තිබෙනවා. මාවෙල් චිත්‍රකතා වෙනුවෙන් බ්ලැක් පැන්තර් චරිතය නිර්මාණය කර තිබෙන්නේ, ස්ටැන් ලී (රචක) සහ ජැක් කිර්බි (චිත්‍ර ශිල්පියා) විසිනි.

තම පියාගේ මරණයෙන් පසු ටීචල්ලා හෙවත් බ්ලැක් පැන්තර් රජකම ලබා ගැනීම වෙනුවෙන් තම මව්බිම වන අප්‍රිකාවේ වකන්ඩා වෙත පැමිණෙනවා. නමුත් මේ අතරතුර බලවත් සතුරන් දෙදෙනෙක් පැමිණෙන්නේ වකන්ඩා රාජධානිය විනාශකර දැමීමටයි. ටීචල්ලා බ්ලැක් පැන්තර් ලෙසින් සීඅයිඒ නිලධාරී එවරෙට් කේ. රෝස් සහ වකන්ඩා හි විශේෂ බලකායක් සමඟ එකතුව ලෝක විනාශයක් නැවැත්වීමට පියවර ගන්නේ වකන්ඩාහි ඉරණමද එයින් තීරණය වී ඇති බැවිනි.

Black Panther  හි චැඩ්වික් බෝස්මන් සමඟින් මයිකල් බී. ජෝර්ඩ්න්, ලුපිටා නියොව්ගෝ, ඩනායි ග්‍යුරිරා, මාර්ටින් ෆ්‍රීමාන්, ලෙටිටා රයිට්, විනිස්ටන් ඩූක් ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. එහි තිරරචනය කර තිබෙන්නේ අධ්‍යක්ෂ රයන් ක්ලූගර් සහ ජෝ රොබර්ට් ක්ලෝ විසිනි. ලොස් ඇන්ජලීස්හි ඩොල්බි තියටර්හිදී ජනවාරි 29 වැනිදා සිය මංගල දර්ශනය පැවැත්වූ සාමාන්‍ය හොලිවුඩ් චිත්‍රපටයකට වඩා වෙනස් වන ප්‍රධාන නළු නිළි කැළකගෙන් (සමේ වර්ණය) සමන්විත Black Panther  අද්විතීය සුපිරි කීර්තිමත් චිත්‍රපටයක් ලෙසින් එහි සාර්ථකත්වය කෙසේ රඳවා ගන්නේ දැයි බැලීමට ලොවපුරා විසිර සිටින ඇස් රාශියක් නොඉවසිල්ලෙන් බලා සිටී.