වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




A/L විභාග සමයේදී A /Level චිත්‍රපටයේ රඟපෑ දඟකාර තාරුණ්‍යය...

A/L විභාග සමයේදී A /Level චිත්‍රපටයේ රඟපෑ දඟකාර තාරුණ්‍යය...

සාගරය වගේ සිලබස්

පතරංග වගේ රිවිෂන්

ඉවරයක් නැතුව පැවරුම්

මේ සේරම මැද්දේ

පොඩි වලක් බහිනවා

අපි උ. පෙ කරන්නේ

සා. පෙ ගොඩදාලා තියෙන්නේ

අපි ටියුෂන් යනවා

පාඩනුත් කරනවා

මොනවා නැතත් අඩු ගානේ

එස් තුනක් දානවා

එහෙම කරලා ජැන්ඩි පහට

රෙදි ඇඳගෙන පාරෙ යන්න

චාටඩ් පටන් ගන්නවා

ආදරේ ඕනෙ නෑ

කෙල්ලෝ පස්සේ යන්නේ නෑ

කීකරුවම අපි හැදුණත්

හාද අහනවා

අපිත් ඉතිං ඉඳලා හිටලා

ඔන්න ඔහේ ඕන දෙයක්

අදාළ නෑනෙ කියනවා

අදාළ නෑනේ........

ගේය පද - රොහාන් පෙරේරා
සංගීතය - සුරේෂ් මාලියද්ද
ගායනය - නදිමාල් පෙරේරා හා රාජකීය විදුහලේ සංගීත අංශයේ සිසුන්

වර්තමානයේ නිර්මාණය වන චිත්‍රපට ගීත අතරින් සිතේ රැඳෙන ගීත බිහිවන්නේ බොහොම අඩුවෙන්. ඒ වගේමයි එකම චිත්‍රපටයක ගීත කිහිපයක් සිතේ රැඳෙන්නෙත්, ජනප්‍රිය වෙන්නෙත් නැති තරම්. මේ මම ඉහත කිව්ව ගීතයත් ඒ වගේ සිතේ රැඳෙන, මේ වනවිට කා අතරත් ජනප්‍රිය වී ඇති එක් ගීතයක්. රොහාන් පෙරේරාගේ නවතම චිත්‍රපටය වන ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ එන මේ ගීතය ඔබගේ හදවතත් සොරා නොගත්තොත් පුදුමයි. ඒත් අප මේ කියන්නට තනන්නේ ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ එන මේ ගීතය ගැන නම් නොවෙයි. ඒ ගීතය පසුබිමින් ඇසෙද්දී ඊට අනුරූපව දඟ කරමින්, සිය යෞවන කාලය මේ යැයි කියමින්, ඒ ලෙවල් පන්තියේ මතකය වෙතට අප කැන්ඳන් යන දඟකාර සමනල - සමනලියන් පිරිස ගැනයි.

“අනුත්තර, අහිංසා, සුභා, යොමාල්, යහනි, අශාන්”

මේ විදියේ විවිධ නම්වලින් හැඳීන්වුවත් ඔවුන් ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ රංගනයේ යෙදෙන්නේ ඒ ලෙවල් කරන කාලය අතරතුරමයි. ‘ඒ ලෙවල්’ චිත්‍රපටය නරඹන විට පාසලේ ඒ ලෙවල් කාලයේ චමත්කාරය සිහිපත් කරන මේ චරිත අපගේ මතකයෙන් අමතක නොවන නිසාම ඔවුන් ගැන තොරතුරු දැන ගන්නට ඔබ බොහෝ කැමැත්තෙන් ඇතැයි කියලයි අප සිතන්නේ. ඔබ නිසාම ඒ ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ සමනල රෑනව පසුගිය දිනයක අප මුණ ගැසුණා. අපේ ගම ආසන්නයේ තියෙන දියවන්නා උද්‍යානය අසලදි. ඔවුන් දුටුවනම මගේ නෙත නැවතුණේ ඒ අසලම රඟදෙන දියවන්නා ඔයේ දියරැළි අතර. බොහොම දාංගලයෙන් යුතුව දඟ කරන දියරැළිත් ඔවුන් වගේ යැයි මට සිතුණේ නිමේෂයකදි. උද්‍යානයේ එහා මෙහා දුව පනිමින්, කාලයකට පසුව එකමුතුවුණු සිය යහළු - යෙහෙළියන්ගෙන් තොරතුරු විමසමින් සිටි ඉරියව් මගේ සිත අරගෙන ගියේ ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ ඔවුන්ගේ රඟපෑම්වල මතකයට.

‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත අනුත්තර, අහිංසා. අනුත්තරගේ අවිහිංසක බව පිරුණ මුහුණ අපගේ හදවතේ ඇඳෙන්නේ ගලක කෙටුව අකුරක් වගේ. චිත්‍රපටයේ වගේම සැබෑවටම අවිහිංසක යෞවනයෙක් වග ඔහු දුටුවනම අපේ සිතට නැඟෙන්නේ ඉබේටම. ඔහු සචිර විජේසිංහ.

“හරියටම මීට වසරකට කලින් ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ අනුත්තරගේ චරිතයට මාව තෝර ගනිද්දි මම ඉගෙන ගත්තේ නුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ වාණිජ අංශයේ. එදා මම පාසලේ පැවැත්වුණු තෝරා ගැනීමේ පරීක්ෂණයට සහභාගි වීමට නොවෙයි පාසලට යළිත් පැමිණියේ. මගේ යහළුවන් පැමිණෙනතුරු බලා සිටිය මා දුටුව අධ්‍යක්ෂතුමා මට කතා කළා. මගෙන් සම්පූර්ණ විස්තර ඇසුවා. ඔහු කතා කළ විදියට මාව චිත්‍රපටයට තෝරා ගනීවි යැයි මගේ සිතේ යම් බලාපොරොත්තුවකුත් තිබුණා. ඊට සතියකට පස්සේ ඔහු මට කතා කරලා පැවසුවේ ඔයාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට ගොඩක් දුරට තේරෙයි. සූදානම් වෙලා ඉන්න කියන පණිවුඩයයි. අවසානයේ මාවත්, මගේ පන්තියේ සිටි යහළුවන් දෙදෙනෙකුවත් චිත්‍රපටයට තෝරාගෙන තිබුණා. චිත්‍රපටයේ රූගත කිරීම් අපට අලුත් අත්දැකීම් රැසක් ගෙනාවා. ඉදිරියේ දී යළිත් ඒ ලෙවල් කරන්නත් අදහසක් තිබෙනවා. ඒ වගේම රඟපෑම්වලට ආරාධනා ලැබුණොත් රඟපානවා.”

සචිර විජේසිංහ හෙවත් අනුත්තර පළමුව මා හා කතාබහට එක්වුණේ එලෙස පවසමින්. ඊළඟට මා අසලට පැමිණියේ ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ කතා නායිකාව වන අහිංසායි. අහිංසාගේ චරිතයට පණ පෙව් සමනලිය ලහිරුකා ඒකනායකයි. මාතලේ ඉපදී හැදී වැඩුණු ලහිරුකා පාසල් යන්නේ මාතලේ ශ්‍රී සංඝමිත්තා ජාතික පාසලටයි. ඈ තවමත් ඒ ලෙවල් පන්තියේ ඉගෙන ගන්න පාසල් ශිෂ්‍යාවක්.

“මම නාට්‍ය හා රංගකලාව විෂයක් විදියට හැදෑරුවේ සංස්කෘතික මධ්‍යස්ථානයේදි. ඒ වනවිටත් කමල් පී. අලහකෝන් සර්ගෙ ‘යෝධයාගේ උයන’ වේදිකා නාට්‍යයේ මා රඟපාලයි තිබුණේ. ඒ නාට්‍යය 2010 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළත් නියෝජනය කළා. ඊට පස්සේ වේදිකා නාට්‍ය කිහිපයකමත් රඟ පාන්නට මට අවස්ථාව ලැබුණා. ඒත් මම වැඩියම කැමැති සංගීතයටයි. උසස් පෙළ සඳහා වාණිජ අංශයට ඇතුළත් වුණත් ඉන් පස්සේ සංගීතය දිගටම හදාරන්නයි ඉන්නේ. ඒ වගේම රඟපාන්නත් මා කැමතියි. ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ අහිංසාගේ චරිතයට මාව හරියනවද බලන්න කමල් සර් හා රොහාන් සර් ඇතුළු පිරිස එනවිට මම සිටියේ මිදුල අතුගාමින්. ඔවුන් ඇවිත් මුලින්ම අපේ නිවසේ අයත් සමඟයි කතා කළේ. ඊට පස්සේ රොහාන් සර් මාත් සමඟ කතා කළා. චිත්‍රපටයක රඟපාන්න කියලා කිව්වට පස්සේ මට හොඳටම බයත් හිතුණා. කොහොම වුණත් මාව චිත්‍රපටයේ අහිංසාගේ චරිතයට තේරිලා තිබුණා. රූගත කිරීම් අතර ගෙවුණු කාලය ජීවිතයට අලුත් අත්දැකීම් එකතු කළා. දැඩි විනයක් ඇතුළේ ඒ ගෙවුණු කාලය සුන්දරයි. ඒ වගේම ‘ඒ ලෙවල්’ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරත් හොඳයි.”

අනේකවිධ ප්‍රශ්නවලට මුහුණදෙන යුවතියක වන අහිංසා සිය ජීවිතය ජයගන්නේ බුද්ධිමත් ලෙස ඒ සියල්ලටම මුහුණදෙමින්. එලෙස ජීවිතය ජයගන්න අහිංසා සමඟම ඒ ලෙවල් පන්තිය හැඩ කරන තවත් අපූරු චරිතයක් මේ. කෑමදාස. කෑම දැක්කම ඒ තරමටම කෑමට ආදරය කරන මේ කෑමදාසගේ චරිතයට පණ පොවන්නේ වත්සල ශෂිමාල් ප්‍රභාෂ්වර.

“වත්සල සැබෑ ජීවිතයේදීත් කෑමදාස කෙනෙක් වග ආරංචියි. ඒක ඇත්තක් ද?”

බොහොම සැහැල්ලුවෙන් ඉන්න තරුණයකු වුණු වත්සලගෙන් මා විමසුවේ කනින් කොණෙන් ඇහෙන ආරංචිත් එක්ක.

“අපෝ.... ඒ තරම්ම නොවෙයි. සාමාන්‍යයෙන් තමයි.”

ඒත් සමඟම ඔහුගෙන් නැඟුණු උස් සිනා හඬ අපට පැවසුවේ මා විමසුව කතාවේ යම් සත්‍යයක් නැත්තෙත් නොමැති බවයි. අනුරාධපුරයේ පුලියන්කුලම ග්‍රාමයේ ජීවත් වන වත්සල ‘ඒ ලෙවල්’ චිත්‍රපටයට තෝරා ගන්නේ පාසලේ පැවතුණු තෝරා ගැනීමේ පරීක්ෂණයෙන් නම් නොවෙයි. පාසලෙන් එළියේ පැවැත්වුණු තෝරා ගැනීමේ පරීක්ෂණයකදී.

“මේ පරීක්ෂණයට මාව එක්කගෙන යන්නේ තාත්තා. කොහොම හරි මම ඒ තෝරා ගැනීමේ පරීක්ෂණයට සහභාගි වෙන්නේ තේරෙයි කියලා බලාපොරොත්තුවකින් නොවෙයි. ඊට දවස් ගණනකට පස්සේ මාව චරිතයකට තෝරා ගත්ත කියලා මට රොහාන් සර් කතා කළා. ඒ වැඩමුළු කාලය ඇතුළතත්, රූගත කිරීම් කළ කාලය ඇතුළතත් ගෙවුණු ජීවිතය බොහොම සුන්දරයි. රොහාන් සර් එක වෙලාවකට අපට තාත්ත කෙනෙක් වගේ. එක වෙලාවකට යහළුවෙක් වගේ. ඔහු අපෙන් ගන්න තියෙන දේ ගත්තේ අපටත් නොදැනෙන්නයි.”

වත්සලට රූගත කිරීම් කරන අතරතුර මුහුණ දෙන්නට සිදුවුණේ පුදුම ඇබැද්දිවලටයි. වඩේ කන දර්ශනයේ දී වඩේ 28කුත්, තෝසේ 6කුත්, අලබෝල 8කුත් කන්නට ඔහුට සිදුවුණා. අවසානයේ අවුරුද්දක්ම වත්සල තෝසේවත්, වඩේවත් කටේ තිබ්බේ නැහැ. ඒ වගේම ක්‍රිකට් ගහලා පරාද වීම නිසා කිහිප සැරයක්ම යාළුවෝ ඔහුව වැවට දැම්මා. ඒ විතරක් නොවෙයි විනෝද චාරිකාව යන දර්ශනයේ දී අන්තිමට බසයට නඟින්න සිදුවුණු වත්සලට කිලෝමීටරයක් විතර බසය පස්සේ දුවන්න වුණු විදිය ගැන ඔහු කිව්වෙත් රඟපාමින්. ජීව විද්‍යා අංශයෙන් ඒ ලෙවල් ලිව්ව වත්සලට මෙවර විශ්වවිද්‍යාලයට යන්න ලකුණු ප්‍රමාණවත් මදි.

“මම ලබන අවුරුද්දේ නම් අනිවාර්යයෙන්ම කැම්පස් යනවා.”

ඔහු පැවසුවේ ස්ථිර අධිෂ්ඨානයෙන්.

ඒ ලෙවල් පන්තියේ කටකාරී. මා ඈව හඳුන්වන්නේ ඒ විදියට. ඒ සුභා. පන්තියේ ඉන්න කොල්ලොත් එක්ක රණ්ඩු වෙන, කොයිතරම් රණ්ඩු වුණත් කොල්ලන්ටත් නැතිවම බැරි කෙල්ල. සුභාගේ චරිතයට පණ පොවන්නේ කේෂාලි චාම්ලිකා. මීරිගම පදිංචි ඈ ඒ ලෙවල් චිත්‍රපටයට තෝරා ගැනෙන්නේ නාට්‍ය හා රංගකලා පන්තියේදී.

“අජිත් ක්‍රිෂාන්ත සේරම් සර්ගේ නාට්‍ය හා රංගකලා පන්තියටයි මම යන්නේ. එහිදී පැවැත්වුණු තෝරා ගැනීමේ පරීක්ෂණයෙන් මාව චිත්‍රපටයට රොහාන් සර් තෝරා ගත්තා. ඒත් ඔහු ඇවිත් මුලින්ම පැවසුවේ 2016 වසරේ ඒ ලෙවල් විභාගයට පෙනී සිටින අය මේ තෝරා ගැනීමේ පරීක්ෂණයට ඉන්න එපා. රූගත කිරීම් සිද්ධ වෙන්නේ ඒ කාලයේ කියලයි. එතැන සිටිය කිහිපදෙනෙක්ම නැගිටල ගියත් මම නැඟිටලා ගියේ නැහැ. මොකද මම හිතුවේ ඔය තෝරා ගැනීමේ පරීක්ෂණයට සහභාගි වුණත් මාව ඊට තෝරා ගන්න එකක් නැතිවේවි කියලයි. ඒ නිසා ඔන්න ඔහේ හිතේ තිබුණු ආසාවටම ඒ පරීක්ෂණයට මම සහභාගි වුණා. මෙන්න ඊට පස්සේ කතා කරලා මාව චිත්‍රපටයට තෝරාගෙන තිබෙන බව දැන්වූවා. හරියටම රූගත කිරීම් වැටිලා තිබුණේ ඒ ලෙවල් විභාගය දවස්වලටමයි. මුලින්ම චිත්‍රපටයට යන්න නොසිටියත් නැවතත් ඒ වගේ අවස්ථාවක් නොලැබෙන නිසා මම චිත්‍රපටයේ රඟපාන්න යන්න තීරණයකට ආවා. මගේ නාට්‍ය සර් වුණත් කිව්වේ ඒ ටිකමයි. ඒ වුණත් රඟපෑමත්, විභාගයත් දෙකම කර ගන්නවා යැයි කියන මතයේයි මා සිටියේ. විභාගයට තිබුණු පෙර සූදානමත් එක්ක මම චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වුණා. අනෙක් ළමයි පාඩම් කරන විට, පන්තිවලට යන විට මම සිටියේ රූගත කිරීම්වලයි. අවසානයේ විභාගයක් ලියන්න තියෙනවද කියලත් මට මතක නැතිවුණා. කොහොම වුණත් රූගත කිරීම් අතරතුර මගේ විෂයයන් තිබුණු දවස්වල නිවාඩු ලැබුණා. සමහර දවස්වල රූගත කිරීම් උදේ තිබුණා. එහෙමත් නැත්නම් විභාගය තිබුණේ හවසයි. ඒ විදියට මා ඒ ලෙවල් විභාගය කොහොමහරි කර ගත්තා. ඒත් ප්‍රශ්නය ආවේ ඉංග්‍රීසි ලියන දවසෙයි. අපේ විනෝද චාරිකාව යන ගීතයේ රූගත කිරීම් තිබුණේ හරියටම ඒ දවසෙයි. එදා තමයි රොහාන් සර් මම විභාගය ලියන බව දැන ගත්තේ. කොහොම වුණත් ඉංග්‍රීසි ලියන්නට මට බැරිවුණා.”

චිත්‍රපටය අවසන්ව නිවසට ගිය කේෂාලිට ඇගේ තාත්තා පැවසුවේ යළිත් ඒ ලෙවල් විභාගයට සූදානම් වන ලෙසයි. ඒත් කේෂාලිගේ සිතේ යම් බලාපොරොත්තුවක් තිබුණා. ඒ ඒ ලෙවල් විභාගය සමත් වන බවට. ඊට පසුව ලැබුණු විභාගයේ ප්‍රතිඵල ඇගේ විශ්වාසය සැබෑවක් කළා.

“දැන් මා ළඟදීම කැලණිය විශ්වවිද්‍යාලයට පිවිසෙන්නයි සූදානමින් සිටින්නේ.”

‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ සුභාගේ හැසිරීම් රටාවත්, කේෂාලිගේ හැසිරීම් රටාවත් ගැළපුණේ අපූරුවට.

“‘ඒ ලෙවල්’ චිත්‍රපටය නරඹලා බොහෝදෙනා මගේ චරිතය ගැන කතා කරනවා. ඇත්තටම සුභාගේ චරිතයට මා කැමතියි. සුභාගේ චරිතය මගේ ජීවිතයට සමීපයි. සුභාට කේෂාලි ගොඩක් සමානයි. රොහාන් සර් වුණත් පස්සේ කිව්වේ මම නම් සුභාම බවයි. මේ චරිතයට මාව තෝරා ගත්තට රොහාන් සර්ට මම ස්තූති කරනවා.”

සුභාගේ චරිතය බිහිවෙන්නේ ඒ ලෙවල් කාලයේ සිටි සැබෑ චරිතයක් ආශ්‍රයෙන්. ඇගේ නම සුභද්‍රා රංජනී. හරියටම ඇගෙත්, කේෂාලිගෙත් හැසිරීම නිවුන් සොහොයුරියන් වගේ. පුංචි කාලයේ පටන්ම රඟපෑමට කැමැත්තෙන් සිටි කේෂාලි නිවේදිකාවක් විදියටත් වැඩ කරනවා. රඟපානවා. නර්තනයෙහි යෙදෙනවා. ඇගේ අනාගත බලාපොරොත්තුව කථිකාචාර්යවරියක් වීම. ඒ වගේම රඟපෑම.

ඒ ලෙවල් යෞවනයන් අතර අනුත්තරගේ හොඳම යහළුවා යොමාල්. සිය යහළුවා ළඟ හිඳීමින් වැඩි කතාබහක් නැතිව ඔහුට උදව් කරන යොමාල් සැබෑවටමත් බොහොම නිහඬ චරිතයක්.

“සැබෑ ජීවිතයේදීත් ඔබ නිහඬ චරිතයක් ද?”

“ඔව්. මම වැඩිය කතාබහ කරන්නේ නැහැ. චිත්‍රපටයේදීත් මම වැඩිය කතා කරන කෙනෙක් නොවෙයි. ඒත් බක බක නිසා නම් නිතරම කෙන්ඩි වැටෙනවා. මගේ ගම තලාතුඔය. පාසල් ගියේ නුවර විද්‍යාර්ථ විද්‍යාලයටයි. කලා විෂයන්වලිනුයි ඒ ලෙවල් කළේ. රොහාන් සර් අපේ ඉස්කෝලේ තිබුණු තෝරා ගැනීමේ පරීක්ෂණයෙන් මාව තෝරා ගෙන තිබුණා. ඒ ගැන පැවසුවේ සති දෙකකට විතර පස්සේ. රූගත කිරීම්වලට පෙරයි, රූගත කිරීම් අතරදි ලැබූ අත්දැකීම් අපේ ජීවිතයටම වටිනවා. මේ වනවිට අපි හැමෝම හොඳ යහළුවෝ.”

යළිත් ඒ ලෙවල් කිරීමේ අදහසින් ඉන්න යොමාල්ගේ චරිතයට පණ පොවන කසුන් මධුශංක ඉදිරියේදී රංගනයෙන් ඉදිරියට යන්නටයි සිතාගෙන ඉන්නේ.

“රංගනය ගැන ඉගෙන ගෙන හදාරලා ඊට පිවිසෙන්නටයි මා වඩාත් කැමැත්තක් දක්වන්නේ.”

කසුන් මධුශංක පවසන්නේ අනාගත බලාපොරොත්තුවක් තමන්ගේ සිතේ රඳවාගෙන. ඔහුගේ අදහසට සුබ පතන ගමන්ම මා හැරුණේ බක බක දෙසට. මොකද බක චක්කරේ මතකයට නැඟෙන විට අපගේ මතකයට පිවිසෙන්නේ ඇයවයි.

“ඉතිං. බක බක”

ඇගේ කෝපිමල් සිනහව සෙමෙන් එළියට පැන්නා.

“මගේ චරිතය යහනි. මාවත් ‘ඒ ලෙවල්’ චිත්‍රපටයට තෝරා ගත්තේ අජිත් ක්‍රිෂාන්ත සේරම් සර්ගේ පන්තියේදි. එහි තිබුණු තෝරා ගැනීමේ පරීක්ෂණයෙන් පස්සේ මා චිත්‍රපටයට තේරුණු බව දැනගත්තත් අපේ නිවසෙන් රඟපාන්න යන්නට අවසර ලබා දුන්නේ නැහැ. ඒත් රූගත කිරීම් ආරම්භ කරන්නේ හෙට නම් අද වගේ දවසේ රාත්‍රියේදීයි රඟපෑමට යන්නට මට අවසර ලැබෙන්නේ. ඒත් දැන්නම් රඟපාන්නට යනවට ඔවුන්ගේ අකමැත්තක් නැහැ. මොකද ඒ ලෙවල් කර ගත්ත නිසා මට අම්මාගෙනුත් අප්පච්චීගෙනුත් ඒ වගේ දේවල්වලට අවසර ලැබෙනවා.”

බක බකගේ චරිතය මඟින් ඔබ හමුවට පැමිණෙන නිවර්තනා ලක්ෂානි අමරකීර්ති මීරිගම ග්‍රාමයේ පදිංචි යුවතියක්. ඈ පළමු වර ඒ ලෙවල් විභාගයට පෙනී නොසිටින්නේ දෙවැනි වර හරියට ලියන්න සිතාගෙන. ඒ නිසාම චිත්‍රපටයේ රඟපානවා. දෙවැනි වර විභාගය ලියන ඈ විශ්වවිද්‍යාලයට යන්න වරම් ලබනවා.

“යහනි හෙවත් බක බකගේ චරිතය මම හොඳට රඟපෑවා කියලා සිතනවා. රොහාන් සර්ගෙ හිතේ තිබුණු යහනිව ප්‍රතිනිර්මාණය කරන්න මට හැකිවුණා කියන සතුට තිබෙනවා. යහනි කියන්නේ අහිංසාගේ යෙහෙළිය. චිත්‍රපටය නැරඹුව අයගෙන් ලැබුණු ප්‍රතිචාර බොහොමයි. යහළුවෝ හැමෝම මට දැනටත් කතා කරන්නේ බක බක කියලා.”

පුංචි කාලයේ පටන්ම නර්තනය හැදෑරුව නිවර්තනා ඒ ලෙවල් කාලයෙදියි නාට්‍ය හා රංගකලාව හදාරන්නේ. මේ වනවිට රංගනයට බොහොම කැමැත්තෙන් සිටින නිවර්තනා රූගත කිරීම් කළ කාලය සිහිපත් කරන්නේ බොහොම සතුටින්.

“රූගත කිරීම් කරන කාලයේ උදෙන්ම ඒ ස්ථානයට යා යුතුයි. ඒත් හැමෝටම පස්සේ අවදි වන්නේ මමත්, සුභාත්, ශෂිනි නංගිත්. අපි තුන්දෙනා තමයි අන්තිමට බස් එකට නඟින්නේ. එතකොට බස් එක යන්න පණ ගන්වලත් අවසන්. සපත්තු, ටයි අතේ අරගෙන දුවන අපි තුන්දෙනා දිහා බලන හැමෝම හිනාවෙනවා. හැමෝම දන්න කාරණයක් වුණේ අපි තුන්දෙනා අවදිවෙන්න පරක්කු වන බවයි. ඇත්තටම ඒ ගත කළ කාලය බොහොම සුන්දරයි.”

නිවර්තනා, කේෂාලි, වත්සල, කසුන්, සචිර, ලහිරුකා කියන යෞවන යෞවනියන්ගේ අලුත්ම අත්දැකීම ‘ඒ ලෙවල්’ චිත්‍රපටය ගැන ඔවුන් පැවසුවේ හදවතින්මයි. අනාගතයේ බලාපොරොත්තු රැසක් එක්ක ඉන්න මේ සමනල - සමනලියන් අපගේ අනාගත තාරකාවන් බවට සැකයක් නැහැ. කටකාර, දඟකාර ඒ ලෙවල් පන්තියේ ඉන්න ඔවුන් ගැන දැනගන්න ඔබත් ‘ඒ ලෙවල්’ චිත්‍රපටය නැරඹුවේ නැත්නම් අදම නරඹන්න. අපි ඔබට ආරාධනා කරන්නේ, ‘ඒ ලෙවල්’ කියන්නේ ඔබ නැරැඹිය යුතුම චිත්‍රපටයක් නිසා.