වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ආදිත්‍ය මගේ ගීතයක් ගැයීම විශාල ජයග්‍රහණයක්

ආදිත්‍ය මගේ ගීතයක් ගැයීම විශාල ජයග්‍රහණයක්

සංඛ දිනෙත්

* මිනිස්සු මගේ ගීත ඉල්ලනවා
* සෝනු නිගම් මහත්මයා ලංකාවට ආපු වෙලාවේ මම ඔහු වෙනුවෙන් කරපු ස්තූතිය ඔහු ඔහුගේ නිල වෙබ් අඩවියේ ප්‍රචාරය කරලා තිබුණා
* ඔහු මගේ රෑ සිහිනෙන් කියන ගීතය ගායනා කළා
* මගේ චංචල හැඟුමන් ගීතයෙන් තමයි මාව ගොඩක් අය දැනගත්තේ.
* මාව කවුරුවත් බන්දේසියක තියලා පිළිගත්තේ නෑ

මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන ආදිත්‍ය නාරායන් ප්‍රසංගය ගැන කතා කරද්දී, අපිට සංඛ දිනෙත් ගැන කතා නොකර බැහැ. විවිධ කාලවලදී සුවිශේෂී නිර්මාණ තුළින් රසික හදවත් ආමන්ත්‍රණය කරන මේ සොඳුරු ගායන ශිල්පියා අද සරසවිය කතාබහට එකතු කරගන්න අප අමතක කළේ නැහැ.

පසුගියදා ආදිත්‍ය නාරායන් සමඟ පැවැති ප්‍රසංගය ගැන අපි මුලින්ම කතා කරමු?

ප්‍රසංගය තිබුණේ පසුගිය 13 වැනිදා. ඒක මගේ ජීවිතයේ විශේෂ ප්‍රසංගයක් වුණා. මම ප්‍රථම වතාවට තමයි අන්තර්ජාතික වශයෙන් ගායන ශිල්පියෙක් සමඟ එකතු වෙලා මේ වගේ වැඩක් කළේ. සිංහල, හින්දි Mash උන එක එයින් විශේෂයි. ඒක බොහොම ඉක්මනට ලංකාවේ රසිකයින් අතර ජනප්‍රිය වුණා.

ප්‍රසංගය සාර්ථකයි කියලා හිතෙනවද?

ඔව්. ඇත්තෙන්ම විශාල පිරිසක් ඇවිත් හිටියා. අපි හිතුවටත් වඩා ඒක සාර්ථකයි. 6000 කට අධික රසික පිරිසක් ප්‍රසංගය බලන්න ඇවිත් හිටියා.

ආදිත්‍ය නාරායන් එහිදී ඔබේ ගීතයක් ගායනා කළා නේද?

ඇත්තෙන්ම ඒක හරිම විශේෂයි. ඔහු මගේ රෑ සිහිනෙන් කියන ගීතය ගායනා කළා. ඔහු ඒක හරිම උනන්දුවෙන් සහ ඕනෑකමික් කළා. ඒක තමයි මම ලබපු ජයග්‍රහණය. සාමාන්‍යයෙන් මම හිතන්නේ නෑ වෙන රටවල්වල අය අපේ ගීත ගායනා කරනවා කියලා. අපිනේ වෙන රටවල්වල අයගේ ගීත ගායනා කරන්නේ. ඒක ඉතින් මේ ප්‍රසංගයේදී සිදු වුණා. ඇත්තෙන්ම මගේ ගීතයක් මේ විදියට ගායනා කිරීම ගැන ශ්‍රී ලාංකිකයෙක් විදිහට මම ගොඩක් ආඩම්බර වෙනවා. ඒ වගේම සතුටු වෙනවා.

ඔබත් සමඟ තවත් ශ්‍රී ලාංකික ගායකයින් කිහිප දෙනෙක් ප්‍රසංගයට සහභාගි වුණා නේද?

ඔව්. භාතිය සන්තුෂ්, සනුක වික්‍රමසිංහ, දුෂ්‍යන්ත් වීරමන්, ප්‍රියත් රාජපක්ෂ මේ ප්‍රසංගයට සහභාගි වුණා.

කොහොමද මෙවැනි ප්‍රසංගයක් පවත්වන්න පසුබිම සකස් වෙන්නේ?

ඉමිටියාස් එන්ටටේන්මන්ට් සහ සවුන්ඩ් විෂන් කියන ආයතන තමයි මේ කාර්යයට මූලිකත්වය ගත්තේ. මේ වෙලාවේ මම ඉමිටියාස් මහත්මයාව විශේෂයෙන් මතක් කරනවා. ලංකාවේ ගොඩක් අය දන්නේ නැහැ ඉමිටියාස් මහත්මයා තමයි උදිත් නාරයන් මහත්මයාගේ නිල ඇඳුම් නිර්මාණකරු. ඔහුගේ පුතා හොස්නි තමයි මේ ප්‍රසංගය සම්බන්ධීකරණය කරන්නේ. ඒත් එක්කම අම්රියාදිත් මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ. ඔවුන් තමයි මේ සඳහා මහන්සි වුණේ. ඒ ගෞරවය සහ ආදරය ඔවුන්ට හිමිවෙන්න ඕනෑ.

මේ ප්‍රසංගයට සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

සවුන්ඩ් විෂන් ආයතනයේ අම්රි තමයි මේකට මට ආරාධනා කළේ. ඔහු ඇහුවා අපි මෙහෙම වැඩක් කරමු ද කියලා. එදාම මම Track එක හදලා යැව්වා. ආදිත්‍යත් ඒක අහපු ගමන් ඒකට ගොඩක් කැමති වෙලා තිබුණා. ඇත්තටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මේ වෙලාවේ අම්රිට මට මේ වගේ දෙයකට ආරාධනා කිරීම ගැන.

ඔබව මේකට සම්බන්ධ කරගන්න විශේෂ හේතුවක් තිබුණාද?

සෝනු නිගම් මහත්මයා ලංකාවට ආපු වෙලාවේ මම ඔහු වෙනුවෙන් කරපු ස්තූතිය ඔහු ඔහුගේ නිල වෙබ් අඩවියේ ප්‍රචාරය කරලා තිබුණා. ඔහු මාව පෞද්ගලිකව මුණ ගැහුණා. මට ප්‍රශංසා කළා. ආදිත්‍යටත් ඔහු මාව සහතික කරලා තිබුණා. ඒක විශේෂ හේතුවක් වුණා.

ඔබ සහ ආදිත්‍ය නිර්මාණය කළ Mash Up උන එක ගැන කතා කරමු?

අපි මේ වගේ නිර්මාණයක් කරමු කියලා තීරණය කළා. මේ ප්‍රසංගයට අදාළ මාධ්‍ය හමුව පවත්වන්න සහ මේ ගීත පටිගත කරන්න ආදිත්‍ය නාරායන් ලංකාවට ආවා. පස්සේ අපි දෙන්න තීරණය කළා මේ Mash උන එක ප්‍රසංගයේදීත් ඉදිරිපත් කරමු කියලා.

ප්‍රසංගයට සම්බන්ධ වුණු අනෙක් ගායන ශිල්පීන්ට මේ වගේ නිර්මාණයක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද?

නැහැ. ඒකට අවස්ථාවක් තිබුණේ නෑ වගේම කාලයක් තිබුණෙත් නෑ. ඔවුන් ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් කළා. ආදිත්‍ය එක්ක මම විතරයි ඉදිරිපත් කිරීම කළේ. ඒත් ප්‍රසංගයේ සම්පූර්ණ ගෞරවය හැම දෙනාටම යන්න ඕනෑ. එයාලා දෙන්න පුළුවන් උපරිම දායකත්වය මේ වෙනුවෙන් ලබා දුන්නා. ඒකට මම එයාලට ස්තූතිවන්ත වෙනවා.

ආදිත්‍ය නාරායන් ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද?

ආදිත්‍ය ඇත්තටම හරිම නිහතමානී කෙනෙක්. අපි සම වයසේ වගේ. එයාට ඕනෑ නැහැ තාත්තාව ඉදිරියට දාලා ජනප්‍රිය වෙන්න. එයාට ඕනෑ එයාගේම දෙයක් කරලා ජනප්‍රිය වෙන්න. ඒක මම ඇත්තටම අගය කරනවා.

ප්‍රසංගය ගැන ඔබට මොනවද හිතෙන්නේ?

ලංකාවේ ඉන්න කලාකරුවෝ ගොඩක් මේකට සහභාගි වුණා. එයාලා මේකට සහභාගි වුණේ මගේ සහ ආදිත්‍යගේ ගීතය බලන්න. ඒකට මම මගේ ආදරය සහ ගෞරවය පිරිනමනවා.

ඔබ රින්ගින් ටෝන් සඳහා ගීත නිර්මාණය කරනවද?

එහෙම කළා නම් අද මම ඉතුරු වෙන්නේ නෑ. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ හැම තැනම කාලෙන් කාලෙට විවිධ ප්‍රවණතා එනවා. මම එහෙම කවදාවත් හදලා නෑ. හදන්නෙත් නෑ. මේ දවස්වල ගොඩක් අය යූ ටියුබ් පිළිබඳ සැලකිලිමත් වෙලා නිර්මාණ කරනවා. මට ඒ කිසි දෙයක් අදාළ නෑ. මම නිර්මාණ කරන්නේ මගේ ආසාවට සහ තෘප්තිය වෙනුවෙන්. මම හිතන්නේ සින්දු හදන එක දරුවො හදනවා වගේ වැඩක් කියලා. එක එක්කෙනාට ඕන විදිහට දරුවො හදන්න බෑනේ. මම හදපු ගීතවලින් සියයට අනූවක් විතර මිනිස්සු භාරගෙන තියෙනවා. ඉදිරියටත් ඒ දේවල් භාර ගැනීම හෝ නොගැනීම රසිකයින් අතේ තියෙන්නේ. මම මගේ නිර්මාණ කටයුතු ගොඩක් නිදහසේ කරගෙන යනවා. ඒකට ලොකුම හේතුවක් මගේ වටේ ඉන්න පිරිස. හොඳ වැඩක් කරන්න හොඳ පිරිසක් ඉන්න ඕනනේ. මට එහෙම පිරිසක් ඉන්නවා. එයාලට හොඳ දැක්මක් තියෙනවා. විශේෂයෙන්ම මගේ Mash උන එකේ සංගීත කටයුතු කළ ප්‍රියාන් පෙරේරා මතක් කරන්න ඕනෑ. එයාලා මම වැරැද්දක් කරන්න ගියත් ඒ ගැන කියලා මාව නියම මාර්ගයේ යවනවා.

ගීතයක් ජනප්‍රිය කරන්න රූප රචනාවක් අවශ්‍යමයි කියලා ඔබ හිතනවද?

මගේ චංචල හැඟුමන් ගීතයෙන් තමයි මාව ගොඩක් අය දැනගත්තේ. ඒකට රූප රචනාවක් කළේ නෑ. නමුත් ඒක ලංකාවේ ජනප්‍රිය ගීතයක් වෙනවා. ඒ ගීතය නිසා මම ජනප්‍රිය ගායකයාට පවා නිර්දේශ වෙනවා. ඒ නිසා මම රූප රචනාවක් ගීතයකට අනිවාර්යයි කියලා විශ්වාස කරන්නේ නෑ. සමහර ගීත තියෙනවා ඒවා රූප රචනාව නිසා නාස්ති වෙලා යන. ඒ ගීත ගුවන් විදුලියේ අහද්දී ඊට වඩා ලස්සනයි.

අලුතෙන් නිර්මාණ නිර්මාණකරුවන්ට ඒවා කරද්දී වගේම ප්‍රචාරණයේදී විවිධ ගැටලුවලට මුහුණ පාන්න වෙනවා. ඔබටත් එවැනි ගැටලුවලට මුහුණ දෙන්න වෙලා තියෙනවාද?

මම අවුරුදු 10 කට කලින් ආධුනික ගායකයෙක් විදිහට එන්නේ. පහළ තැන ඉඳලා එන්නේ. මුලින්ම මාව කවුරුවත් බන්දේසියක තියලා පිළිගත්තේ නෑ. අපහසුම කාලවල් තිබුණා. සමහර ශබ්දාගාරවලින් මාව ගත්තේ නෑ. මට සල්ලි නෑ කියලා දන්න නිසා. ඒත් මම උත්සාහය අත්හැරියේ නැහැ. මම හිතුවා මම සංගීත අංශයෙන්ම ඉහළට යනවා කියලා. අද මම ඉන්න තැන ගැන මට සතුටුයි. ඔබ හොඳ නිර්මාණකරුවෙක් නම් හොඳ ගායකයෙක් නම් මාධ්‍ය විසින් ඒවා ප්‍රචාරණය කළ යුතුයි. ඒ අතින් මම වාසනාවන්තයි. මගේ ගීතවලට එහෙම අසාධාරණයක් වෙලා නැහැ. මිනිස්සු මගේ ගීත ඉල්ලනවා. මම සින්දු කියද්දි මිනිස්සු ඒ ගීත පපුවට ගහ ගහ කියද්දි මට පුදුම හැඟීමක් දැනෙනවා. මිනිස්සු මාත් එක්ක ඉන්නවා කියලා මට දැනෙනවා.

මේ දවස්වල මොනවද කරන සංගීත කටයුතු?

කරපු ගීත ගොඩක් එන්න තියෙනවා. ඒ වගේම රවීන් කණිෂ්කට ගීතයක් නිර්මාණය කළා. ඒක වෙනස්ම ගීතයක්. ඒ වගේ ගීතයක් රවීන්ගෙන් අහන්න ලැබෙයි කියලා මිනිස්සු හිතන්න නැති වෙයි. සින්දුව බැරෑරුම් සහ වෙනස් එකක්. එයාගේ කටහඬ පවා නැතිව ගියා පටිගත කරලා ඉවර වෙද්දී. තව කීපයක් නිර්මාණය කරන්න තියෙනවා. අන්තිමට මම කළේ රිදෙන නොරිද්දන කියන ගීතය. ඒක දැන් ගොඩක් ජනප්‍රියයි. ඒකේ රූප රචනාව කරන්න හිතාගෙන ඉන්නවා. ඉදිරියේදී ආදිත්‍ය එක්කත් තවත් නිර්මාණ කරන්න හිතාගෙන ඉන්නවා.