වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය හරහා පැමිණි ඩික්සන්

සරසවිය හරහා පැමිණි ඩික්සන්

ඩික්සන් අපෝන්සු කලාවට පිවිසුණේ සරසවිය පුවත්පතේ පල වූ දැන්විමක් ඔස්සේ. ඉන් ඇරැඹෙන ඔහුගේ කලා ගමන තුළදී ඔහු නිර්මාණයන් රැසකටම දායක වුණා.

සරසවිය පුවත්පතේ තිබුණේ සුනිල්සෝම පීරිස් මහත්මයාගේ චිත්‍රපටයකට අලුත් අය ගන්නවා කියලා දැන්වීමක්. මං ඒක දැක්කාම ඇප්ලයි කළා. සුනිල් මහත්මයා මට ඒ චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව දුන්නා. මමයි රජා තමයි එම චිත්‍රපටය. මං එහි චරිත දෙකක්ම රඟපෑවා. ඊට පසුව දිගින් දිගටම මට චිත්‍රපටවල රඟපාන්න ලැබුණා. පවන රළු විය, වියරු මිනිසා, ගෙදර බුදුන් අම්මා, ශක්තිය ඔබයි අම්මේ, නොම්මර 17, දවල් මිගෙල් රෑ දනියෙල්, රාජ්‍ය සේවය පිණිසයි, වීර උදාර, පුනරුත්පත්තිය එම චිත්‍රපටවලින් කිහිපයක්. ඒත් එක්කම මට ටෙලි නාට්‍යවලටත් රඟපාන්න ඇරැයුම් ලැබුණා. ඒවායින් මට තරමක ජනප්‍රියත්වයක් ලැබුණා. දාමිණි, මිරිවැඩි සඟලක්, පුංචි හපන්නු, කිදුරංගනා ඒ වගේ මම සම්බන්ධ වූ නාට්‍ය කිහිපයක්. මේ ළඟදී විකාශය නිම වූ හාර කෝටිය නාට්‍යයේ මං සී. අයි. ඩී. චරිතයක් කළා. ඒකට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. සිනමාව සහ ටෙලි නාට්‍ය තුළ රංගනයේ යෙදුණත් මං වේදිකාවත් අමතක කළේ නැහැ. වේදිකාවේදී තමයි මං බොහෝ දේ ඉගෙනුම ලැබුවේ. මේ කලා වැඩ කටයුතු මං කළේ මහරාජා ආයතනයේ වැඩ කරන ගමන්. රැකියාව බාධාවක් නොකරගෙන මං කලා කටයුතු කළා. මගේ බිරිය තනුජා. මට දුවයි පුතයි ඉන්නවා. මගේ පදිංචිය ජාඇල. මං ළඟදීම ඩී. වී. ඩී. චිත්‍රපටයක් නිර්මාණය කරන්නට හිතාගෙන ඉන්නවා. ඒක මෙම වසරේ දැකගන්නට ලැබෙයි.

මේ ඩික්සන්ගේ දුරකතන අංකයයි. 0777659377.


මේ කොණ්ඩය බොරු නෙවෙයි

කැලුම් දිසානායක

රංගන ශිල්පියෙක් වීම කැලුම් කාලයක පටන් දුටු හීනයක්. ඔහු එය සැබෑකර ගත්තේ සුගත් සමරකෝන් විසින් මෙහෙය වූ රංගන පාසලට ඇතුලත් වීමෙන්. ගම්පහ මීරිගම පදිංචි කැලුම් දිසානායක රංගනට පිවිස දැන් වසර කිහිපයක් ගත වෙලා. දැන් ඔහුගේ වෘත්තියත් රංගනය තමයි.

2010 වසරේදී බොරදිය කඳුර ටෙලි නිර්මාණයෙන් රංගනය ආරම්භ කළ කැලුම් මේ වන විට ඇඩ්‍රස් නැහැ, රජ හොරු, උලත් එකයි පිලත් එකයි වැනි සිනමා නිර්මාණ සේම ගිරිකුල, සබඳ බබානිස්, වීදිය බණ්ඩාර, ගැමුණු මහරජ, වීර පුරන් අප්පු වැනි ටෙලි නිර්මාණ රැසකට වගේම වෙළෙඳ දැන්වීම්වලටද සිය රංගන දායකත්වය ලබා දුන්නේ රංගනයේ සිය බලාපොරොත්තුව සඵල කරගනිමින්.

කැලුම් ඔබේ මුල්ම රංගනය ගැන මුලින්ම කියමු?

මට රඟපාන්න අවස්ථාව ලැබුණේ මගේ කොණ්ඩෙයි රැවුලයි නිසා. මුල්ම චරිතය වුණේ ගෝත්‍රික චරිතයක්. මුලින්ම කැමරාවක් ඉදිරියට ගියාම පොඩි තැති ගැන්මක් නම් ඇති වුණා. ඒ කොහොම වුණත් හිත දැඩි කරගෙන ඒ අවස්ථාවට මුහුණ දුන්නා. දැන් නම් මම රඟපාන්නේ හරිම සැහැල්ලුවෙන්.

රංගනයට අවස්ථාව ලැබෙන්න හේතු වුණු කොණ්ඩයටයි රැවුලටයි හොඳ ප්‍රතිචාර ලැබෙන්න ඇති?

ඒක නම් ඇත්ත. මුලින් ගොඩක් දෙනෙක් හිතුවේ මේ කොණ්ඩයයි රැවුලයි බොරු ඒවා කියලා. දැන් නම් ක්ෂේත්‍රයේ බොහොමයක් දෙනා මාව හඳුනන නිසා ඒ ප්‍රශ්නය නැහැ.

රංගනයේදී අමතක නොවන අත්දැකීම් එහෙමත් ඇති?

රංගනය කියන්නේ මගේ ලොකුම ආසාවයි. ඒ නිසා හැම රංගනයක්ම මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් වගෙයි. නමුත් ඒ අතරේ ගැමුණු මහරජ ටෙලි නිර්මාණය රූගත කරනවිටදී මුහුණ දුන් අත්දැකීමක් විශේෂයි. එහි රූගත කිරීම් තිබුණේ වේළිඔය ප්‍රදේශයේ. ඒ පැත්තට හටසට අලි එනවා. කෙනෙක් අලිමංකඩක් ගැන කිව්වත් මම හවස්වරුවේ ඒ පැත්තේ සුන්දරත්වය බලන්න ගියා විතරයි ටික වෙලාවකින් මං වටේම අලි. වෙන මොනවා කරන්න උන් එහාට යනකල් දෙවියන් සිහි කරගෙන හෙලවෙන්නේ නැතුව හිටියා.

පවුලේ විස්තරත් කියමු?

මගේ පවුලේ මමයි බිරියයි පුතාලා දෙන්නයි. පුතාලා තවම අධ්‍යාපනය ලබනවා. ඒ දෙන්නත් රංගනයට හරිම ආසාවෙන් ඉන්නේ. බිරිය සහ පුතුන් දෙදෙනාගෙන් මගේ රංගනයට ලොකු සහයෝගයක් ලැබෙනවා.

ඉදිරියේදී කැලුම්ගේ රංගනයන් දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?

නලින් මාපිටිගම මහතාගේ තානාපතිලාගේ ගෙදර, ප්‍රදීප් ධර්දාස මහතාගේ අයිස් ක්‍රීම්, සුගත් සමරකෝන් මහතාගේ අපේ කාලයේ පටාචාරා චිත්‍රපට වලින් මගේ රංගනයන් දකින්න පුළුවන්.

මේ දක්වා පැමිණි ගමනේ සිහිපත් කළ යුතු විශේෂ පුද්ගලයන් එහෙමත් ඇති?

මුලින්ම රංගනයට මුල් පියවර තබන්න උපකාර කළ සුගත් සමරකෝන් මහතා සිහිපත් කළ යුතුයි. රංගනයෙන් අද මං යම් තැනක ඉන්නවා නම් ඒ එතුමා නිසයි. ඒ වගේම මේ දක්වා මට රංගනයට අවස්ථාව ලබා දුන් සියලුම අධ්‍යක්ෂවරුන් ඇතුළුව නිර්මාණ කණ්ඩායම්වලට මගේ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම මගේ රංගනයන් අගයන ආදරණීය රසික රසිකාවන්ටත් ස්තූතිය පිරිනමනවා. 0774516303 දුරකථන අංකය ඔස්සේ ඔවුන්ට මා අමතන්නත් පුළුවන්.