වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




‘සිනමා’
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

වසර 66 කට ඉහත පළ වූ ලංකාවේ ප්‍රථම චිත්‍රපට පත්‍රය :

‘සිනමා’

1947 වසරේ වෝල්ටර් සිරිමාන්න විසින් සංස්කරණය කළ ‘සිංහල ජාතිය’ පත්‍රයේ සෝදුපත් බලන්නෙකු ලෙස සේවයට බැඳුණු තරුණයකු වූ රොබට් ජයවර්ධන පසු කලෙක ලංකාවේ ප්‍රථම සිනමා පත්‍රයේ සංස්කාරකවරයා විය.

ලේඛකයකු ලෙස ප්‍රකට ඔහු හාපුරා කියා 1944 දීප ව්‍යාප්ත සාහිත්‍ය තරඟයකින් ජයගත් අවස්ථාවක් ගැන තොරතුරු ‘ළමා හඬ’ සඟරාවේ (1944 ජූලි 5 11 වැනි කලාපයේ) සඳහන් වෙයි. මගේ බාප්පා වූ ඒ. ඩී. ජේ. මාතුපාල ඇතුළු නවකලා මණ්ඩලය සංවිධානය කළ සාහිත්‍ය තරඟයෙන් සමස්ත ලංකා එක්සත් සංගමයේ රොබට් ජයවර්ධන ගද්‍ය රචනා තරඟයෙන් මුල්තැන දිනාගෙන ඇත. ඇල්බට් පෙරේරා (අමරදේව), කරුණාරත්න අබේසේකර, කේ. ඩී. පී. වික්‍රමසිංහ, සුගතමුණි ඥානසිරි, ආරියදාස සෝමතිලක, ඇග්නස් තිසේරා (පසුව සිරිසේන)ආදීන් විවිධ ඉසව්වලින් ජය ලැබුවේ මේ සාහිත්‍ය තරඟයෙනි.

රොබට් ජයවර්ධනගේ තොරතුරු සොයා ගැනීම දුෂ්කරය. ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදී ආතර් යූ. අමරසේන හා අප අතරින් වියෝ වූ සරසවිය පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ සුනිල් මිහිඳුකුල ඔහු ගැන ලියූ තොරතුරු හා ඔහු ගැන සංස්කරණය කළ ‘සිනමා’ චිත්‍රපට පුවත්පතේ, රාජ්‍ය ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ තැන්පත් කර ඇති පුවත්පත් කියවීමෙන් මේ ලිපිය ලිවීමට මූලාශ්‍ර සොයා ගත් බව මුලින්ම කිව යුතුය.

1952 වසරේ රොබට් ජයවර්ධන ලේක්හවුස් ආයතනයේ පත්‍ර කලාවේදීන් බඳවා ගන්නා සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වී ඇත. එහෙත් ඔහුට ඒ අවස්ථාව අහිමි වී ඇත්තේ විශ්වවිද්‍යාලයේ උපාධියක් නොතිබීම නිසාය. එකල ලේක්හවුස් සම්ප්‍රදාය වී ඇත්තේ උපාධිධාරීන් හැකි තරම් කර්තෘ මණ්ඩලයට ඇතුළත් කර ගනු ලැබීමය. එකල උපාධිධාරීන්ට (1952) කර්තෘ මාණ්ඩලිකයන් ඇතුළත් කරගෙන ඇත්තේ රු: 225 ක වේතනයකට බව රොබට් ජයවර්ධන කියා තිබුණි. රුපියල් 75 ක වේතනයට, පරීක්ෂණයෙන් මුල් තැන ලැබූ ඔහුට නියම විය. එහෙත් ඔහු ඉන් ඉවත් වී ‘සිනමා’ නම් ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපට පත්‍රය 1952 ජූලි 01 නිකුත් කිරීමට පුරෝගාමී විය.

තම අතීත කතාව රොබට් ජයවර්ධන 1985 ජූලි 30 වෙනිදා ‘දෙසතිය’ පුවත් සඟරාවේ සුනිල් මිහිඳුකුලට මෙසේ පවසා තිබුණි.

‘මම 1947 දී පමණ කොළඹ ආනන්ද විද්‍යාලයේ හවස තිබුණ පන්තිවලට බැඳිලා ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ඒ කාලයේ ඒ පන්ති තිබුණේ ඕල්කට් විද්‍යාලය නමින් ආනන්දයේම පැවැති ගොඩනැගිල්ලක. මේ අතර මරදානේ එක්තරා ඡායාරූප ශාලාවක ආධුනිකයකු විදිහටත් වැඩ කළා. මේ ඡායාරූප ශාලාව අයිතිව තිබුණේ ටී. ඩී. පියදාස කියන කෙනෙකුට. ඔහු ටවර් නාට්‍යවලට සෑහෙන උදව් කරපු කෙනෙක්. මේ අතර පියදාස සිරිසේනගේ ‘සිංහල ජාතිය’ පත්‍රය මරදානේ පෙරේරා සහ පුත්‍රයන් විසින් (එහි අධිපති අධිනීතිඥ ගිල්බට් පෙරේරා) මිල දී ගත්තා. ගිල්බට් පෙරේරා අපේ ටී. ඩී. පියදාසගේ හොඳ මිත්‍රයෙක්. මම ඔහුගේ මාර්ගයෙන් සිංහල ජාතිය පත්‍රයට සම්බන්ධ වුණා. මම කුඩා කාලේ ඉඳන්ම වාගේ කවි ලියන්න ආසයි. ඒ වන විට මම ‘පෙරමුණ’ පත්‍රයටත් අරව - මෙව්ව ලියල තිබුණා. මම සිංහල ජාතිය පත්‍රයට ගියේ පෲෆ් රීඩර් කෙනෙකු විදිහට වුණත් පස්සේ ලියන්නට කියන්නට පටන් ගත්තා.

කලක් ගත වූ පසු රොබට් ‘සිංහල ජාතිය’ පත්‍රයේ නියෝජ්‍ය කර්තෘවරයා විය. ඔහු එම පත්‍රයේ වැඩ කරන කාලයේ වූ අත්දැකීමක් මෙසේ වාර්තා වෙයි.

අධිනීතිඥ ගිල්බට් පෙරේරාගේ මිත්‍රයෙක් වූ ඇල්ප්‍රඩ් ජයසිංහ වරක් එක්තරා තරුණයෙක් රොබට් ළඟට කැඳවාගෙන ආවේය.

‘මෙන්න බලනවා විශ්ව කර්මයා’

‘ඇයි මෙයාට විශ්ව කර්මයා කියන්නේ’ රොබට් ඇසීය.

‘මේ මිනිහා කියනවා තමන්ට ඕන වැඩක් පුළුවන්ය කියලා’ ඇල්ෆ‍්‍රඩ් කීය.

ඒ විශ්වකර්මයා තමයි පසුව දක්ෂ නවකතාකරුවකු හා ‘ලංකාදීප’ පත්‍රයේ ‘සිනමා චක්‍රය’ සංස්කරණය කළ කරුණාසේන ජයලත්. පසුව රොබට් පත්‍රයේ වැඩ පුහුණු කරන්නෙකු ලෙස බඳවා ගත් ජයලත් ‘විශ්ව කර්මයෙක්’ වූ බව පවසා ඇත. ඒ කාලයේ ජයලත්ට යටි රැවුලක් තිබූ බව ද රොබට්ට මතකය.

රොබට් ඊළඟට (1950 සිට 1952) දක්වා ‘සරසවි සඳරැස’ පත්‍රයේ කර්තෘවරයා වී ඇත. මේ පත්‍රය 1952 වසරේ නවත්වා ඇත. ආවේගශීලී, මාක්ස්වාදී මතවාද ‘සරසවි සඳරැස’ පත්‍රයෙන් රොබට් පතුරුවා හරින නිසා එකල පරම විඥානාර්ථ සමාගමේ බලවතුව සිටි සර් නිකලස් ආටිගල හා පී. ද ඇස්. කුලරත්න යන මහතුන් එම අදහස් පුවත්පතින් ප්‍රචාරයට පත් කිරීමට එරෙහිව ඇතැයි රොබට්, සුනිල් මිහිඳුකුලට කියා තිබුණි.

රොබට් ජයවර්ධන සංස්කරණය කළ ‘සිනමා’ පුවත්පත හඳුන්වා තිබුණේ එය ‘සංස්කෘතික පත්‍රයක්’ ලෙසය. එහි කතුවැකියේ මැය වූයේ ‘සිනමා කුමක් සඳහාද?’ ය.

‘බලාපොරොත්තු රාශියක් ඇතිව ‘සිනමා’ ආරම්භ කරනු ලැබේ. මේ පත්‍රය නිකුත්වත්ම අපේ එක් ආශාවක් මුදුන්පත් වෙයි. එනම් කලාවන් සඳහාම කැප වූ පත්‍රයක් සිංහල කියවන්නන් හට කියවීමට අවස්ථාව සලසාදීමය.

‘සිනමා’ සියලුම කලාවන්ට හා කලාකරුවන්ගේ අභිවෘද්ධිය පතා ඇරැඹුණු පළමුවන හා එකම සිංහල පත්‍රයයි. එය පවත්වාගෙන යාමට ආධාර කිරීම සියලුම සිනමා ලෝලයන්ගේත් කලාකරුවන්ගේත් කලා රසිකයන්ගේත් යුතුකමය.’

දෙසතියකට වරක් නිකුත් වූ ‘සිනමා’ මුල් කලාපයේ (1952 ජූලි 01) ශීර්ෂ පාඨය ‘දිලිප් කුමාර් සිනමා සංස්කෘතික පත්‍රයට සුභ පතයි’ යන්නයි. එහි දිලිප්ගේ පණිවිඩයක් පළ වී ඇත. ‘අපේ චිත්‍රපටවලට ඉන්දියාවේ සඟරාවක් (1952 ජූනි 13) වූ ‘ෆිල්ම් ෆෙයාර්’ ඉංග්‍රීසි බසින් ලිපියක් ලියූ ස්ටැන්ලි ඩේරියස් එකල සිංහල චිත්‍රපටවලට ඉන්දියාවේ දෙමළ හා හින්දි ගීත පමණක් නොව හුබර්ට්ගේ ‘ආවා මරියා’ ඉංග්‍රීසි ගීතය ද සිංහල වචන යොදා ගත් බව අපහාසයෙන් සමච්චලයට ලක් කළ පුවතක් උපුටා දක්වා තිබුණි. එසේම හින්දි සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් දෙදෙනකු වූ ප්‍රේමනාත් හා බිනාරායි විවාහ ගිවිස ගැනීම ද වාර්තා කර තිබුණි. ශත 15 කට අලෙවි වූ මේ පත්‍රය සිනමා පබ්ලිකේෂන්ස් වෙනුවෙන් සිරි පලිහේන මරදානේ අංක 525 දරණ තැන පිහිටි කල්‍යාණි මුද්‍රණාලයේ මුද්‍රණය කොට ප්‍රසිද්ධ කර ඇත.

මුල්වරට සිනමා පුවත්පතකින් 1952 ජනප්‍රිය සිංහල ගායකයා තේරීමේ තරඟයක් අරඹා එහි කූපනයක් පළ කළ මුල් පත්‍රය වූ මෙහි ප්‍රශ්න හා පිළිතුරු තීරයක් ද අරඹා තිබුණි. සංස්කාරකවරයාගේ අදීන බව මැනවින් ප්‍රකට වන විවේචන ද මේ පත්‍රයෙන් මොනවට පැහැදිලි වේ. කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරාගේ ‘වෙස්සන්තර’ වේදිකා නාට්‍යයේ වේදිකා සැරසිලි දුර්වල බවත්, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ උමතු විශ්වාසය අස්වාභාවික බවත්, අශ්ලීල බවත්, දුර්වල බවත් සෘජුවම පවසා තිබුණි. කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරාගේ බිරිඳ ප්‍රවීණ නර්තන ශිල්පිනී අභාවප්‍රාප්ත චන්ද්‍රලේඛා ගැන පී. බී. අල්විස් පෙරේරා ලියූ ‘චන්ද්‍රලේඛාගේ මිනීවල ළඟදී’ කාව්‍ය සංකල්පනාව ද අගය කළ හැකිය. මෙහි වැඩි තැනක් ලැබී තිබුණේ හින්දි හා බටහිර සිනමා ප්‍රවෘත්තිවලටය.

‘සිනමා’ දෙවන කලාපය (1952 අගෝස්තු මැද) මුල් ශීර්ෂය වුයේ දිලිප් ගැනය.

‘දිලිප් සමඟ පැය කාලක් රුපියල් 1000 කටත් නොලැබෙයි’

එදා (1953) ‘කැලෑහඳ’ චිත්‍රපටය තිරගතවීමට පෙර ‘රුක්මණී නියම කැලෑහඳ නොවේ’ යන ලිපිය පළ කිරිම විවාදසම්පන්නය. සංස්කාරක රොබට් ජයවර්ධන පවසා තිබුණේ නවකතාවේ එන විෂ්ණබායි නම් නළඟනගේ චරිතය යෙදවිය යුතුව තිබුණේ වජිරා චිත්‍රසේන වැනි නාටිකාවක් බවය. එම ලිපිය අවසානයේ ලියුම්කරු මෙසේ ප්‍රශ්නයක් නඟා ඇත.

‘මේ අදහස ඉදිරිපත් කරන්නේ රුක්මණීට හෝ බී. ඒ. ඩබ්ලිව්. ට සමච්චලයකට නොව කැලෑහඳ උසස් සිංහල චිත්‍රපටයක් වනු දැකීමේ ඇති බලවත්ම ආශාවෙනි. බී. ඒ. ඩබ්ලිව්. ඔබ මට දෙන පිළිතුර කුමක්ද?’

1953 ජනවාරි 14 සිට ‘සිනමා’ සතිපතා පත්‍රය බිහිවෙන බව ශීර්ෂ පාඨය වී ඇත. පී. බී. අල්විස් පෙරේරා ‘චිරංජිවා!’ නම් කවි පන්තියක් ලියා තිබූ එක් කවියකි මේ.

උසස් පෙරපර දෙදිග නළු නිළියනගෙ තොරතුරු හදෙහි ගාවා

දිවයිනේ පෙර නොතිබූ මඟකින් පටන් ගෙන සිය මිහිරි සේවා

ඉතා පියකරු ලෙසින් සිනමා මෙතෙක් මා ඉදිරියට ආවා

සතිපතා පල වෙමින් මින් පසු ඉහළ යේවා! චිරං ජීවා

සිනමා පබ්ලිකේෂන්ස් වෙනුවෙන් පළ කළ සිනමා පුවත්පතේ අධ්‍යක්ෂවරු ලෙස ඇම්. ජී. තෙන්නකෝන් හා ඇල්. ආර්. ජයවර්ධන කටයුතු කළ අතර එහි ප්‍රකාශකයා වූයේ සිරි පලිහේනය.

ආතර් යූ. අමරසේන ලියූ ‘60 වසරක සිංහල සිනමා ප්‍රකාශන’ කෘතියේ රොබට් ජයවර්ධන ගැන මෙසේ සඳහන් කර ඇත.

‘සිනමා’ සතිපතා නිකුත් කිරීමට රොබට් ජයවර්ධනට පුළුවන් විය. එහෙත් ආර්ථික අඟ හිඟකම් හේතු කොටගෙන දෑවුරුද්දකදී ‘සිනමා’ පුවත්පත නතර කර දැමීමට තීරණය කළේය.

සිනමා පුවත්පතින් ‘සැඩ සුළං’ චිත්‍රපටයට පුළුල් ප්‍රචාරයක් ලබා ගැනීමට සිතූ සෝමසේකරන්, රොබට් ජයවර්ධන හමුවීමට ගොස් ඔහුගේ අවශ්‍යතාව කියා සිටියේය. මුදල් ප්‍රතිපාදන නොමැති බැවින් තමන් සිනමා පුවත්පත නතර කිරීමට තීරණය කළ බව රොබට් සෝමසේකරන්ට කියා සිටියේය. තමන්ගේ ‘සැඩ සුළං’ චිත්‍රපටයට පුළුල් ප්‍රචාරයක් දෙන්නේ නම් පුවත්පත පවත්වා ගෙන යෑම සඳහා මුදලෙන් උදව් කිරීමට සෝමසේකරන් කැමැති විය. මේ අනුව නතරවීමට ගිය ‘සිනමා’ පුවත්පත තවත් ටික කලක් පවත්වාගෙන යෑමට රොබට්ට පුළුවන් විය. ‘සැඩ සුළං’ තිරගත වන තෙක් සෝමසේකරන් ‘සිනමා’ පුවත්පත පළ කිරීමට උදව් කළේය. එහෙත් ‘සැඩ සුළං’ නතරවීමත් සමඟම ඔහු ‘සිනමා’ පුවත්පතින් ඈත් විය. 1953 වන විට ‘සිනමා’වේ අලෙවිය හොඳටම පහළ වැටිණ. 1953 දෙසැම්බර් 6 වෙනි ඉරිදා නිකුත් වූ පිටපතත් සමඟ ‘සිනමා’ පුවත්පත සම්පූර්ණයෙන්ම වැසී ගියේය.

අපේ පැරැණිම සිනමා පත්‍රකලාවේදී ඩී. වි. සෙනෙවිරත්නගේ සමකාලීනයකු වූ රොබට් ජයවර්ධන ‘සිනමා’ පුවත්පත නතර කිරීමෙන් පසු සිංහල පුවත්පත් කිහිපයක ප්‍රවෘත්ති ලේඛකයකු ලෙස සේවය කර ඇත. 1961 වසරේ ‘දවස’ පුවත්පත් ආයතනයේ ‘දවස’ පුවත්පතේ මාණ්ඩලීය ලේඛකයකු ලෙස ආතර් යූ. අමරසේන සමඟ කටයුතු කොට ඇත. අමරසේනයන් පවසා ඇත්තේ ‘දවස’ පත්‍රයේ සිටියදී රොබට් සිනමාව ගැන කිසිවක් නොලියූ බවය. ඔහු මිය ගියේද ‘දවස’ පුවත්පතේ සේවය කරමින් සිටි කාලයේය. ඔහු කලක් කොන්ත්‍රාත් වැඩ කර ඇත.

සිංහල කථානාද සිනමාවට 71 වසරක් සපිරී ඇති මෙසමයේ අපේ පැරැණිතම සිනමා පුවත්පතේ කර්තෘ රොබට් ජයවර්ධනගේ පුරෝගාමි මෙහෙවරට අපි උපහාර පුදමු. ඔහු ගැන වැඩි විස්තර දන්නේ නම් සරසවිය කර්තෘට යොමු කරන මෙන් ද කරුණාවෙන් ඉල්ලා සිටිමු.