වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




මාරම්බරී 100 අසිරිය

මාරම්බරී 100 අසිරිය

ඒ විශාරද එඩ්වඩ් ජයකොඩියන්ගේ මාරම්බරී ප්‍රසංගයට පසුගිය 05 වන දිනට එයට හරියටම වසර 08 කි. එබැවින් ජනවාරි 28 වන දින කලා ලොවේ තරු හා කලා රසිකයන් පිරිවරා හරියටම මාරම්බරී 100 සැමරුවේය. ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදීය. එදා මාරම්බරී සංගීත සැඳෑව නෙළුම් පොකුණ රඟහලට අමුතුම ආලෝකයක් ගෙනෙන්නට සමත් විය. අසුන් නොමැතිව දෙපා වාරුවෙන් පැය 3 ක් පමණ එය රස විඳ ගිය ප්‍රමාණය නැතුවා නොවේය. එඩ්වඩ්ට චරිතාට ආදරය කරන පිරිස ආපසු නොගියේ එලෙසිනි. රෝහණ වීරසිංහයන්ගේ සංගීත නාද රටාවන් එඩ්වඩ්ගේ මියුරු හඬින් ගේය පදවැල්වලට මුසු වූයේ පුදුම චමත්කාරයකි. පැමිණි සියලු දෙනාගේ දෙඅත් එකට ගීතයෙන් ගීතයට හඬ දෙන්නට විය. නෙළුම් පොකුණ මිහිරි නාද රටාවන්ගෙන් ගිගුම් දෙන්නට වූහ. වසන්ත රෝහණත්, සමිතාත් එක්ව පූරකගේ කාර්ය මනා ලෙස ගෙන ආවේය. ගීතාවලෝකනයේ පබැඳුම්වල රසය, ශෘංගාරය, ව්‍යංගය ප්‍රේක්ෂක මනසේ ජනිත විය. එඩ්වඩ්ගේ අතීත කථා සාරංශවලින් පැමිණි පිරිසගේ ඉළඇට රිදුම් දුන්නේ සිනාවෙනි. එදින 'සඳ එළිය ගඟක් වී' නමින් එඩ්වඩ්ගේ නවතම ගීත සමුච්චය ද, 'ඔබේ අහසේ' නමින් චරිතාගේ නවතම ගීත එකතුවත් එදින එළිදක්වන ලදී.

විශාරද එඩ්වඩ් ජයකොඩි ගැයූ යුග ගීත, චිත්‍රපට ගීත, ටෙලි නාට්‍ය ගීත ඇතුළත් සී ඩී ත්‍රිත්වයක් ද චරිතා - එඩ්වඩ් දෙදෙනාම එක්ව ගැයූ මාරම්බරී සංයුක්ත තැටියක් ද 'ඔබ හරිම උණුසුම්' නමින් ආදර ගීත ඇතුළත් සංයුක්ත තැටියක් ද එදින එළිදැක්විය. පියාගේත් මවගේත් අඩි පාරේ යමින් කලා ලොවට පිවිසුණු පුතුන් හා දියණිවරුන් අපමණය. එවැනිම විශේෂ දෙයක් මාරම්බරී 100 සටහන් කළහ. එඩ්වඩ් - චරිතා යුවළගේ පුත් චන්දීපත්, දියණිය ශාරණ්‍යාත් මාරම්බරී ප්‍රසගංය රසවත් කරන්නට එදින නෙළුම් පොකුණ වේදිකාවට පිවිසියහ. එය කාගේත් පැසසුමට ලක් විය.

ඔවුන් කෙසේ ගී ගැයුවත්, ප්‍රේක්ෂකයා කෙසේ ශ්‍රවණය කළත්, පාඨකයා දැනුම්වත් කරන පිරිසක් ඔවුන් දෙදෙනා සමීපයේ සිටිනු ඇත. ඒ වෙන කවුරුත් නොව ජනමාධ්‍යවේදීන්ය. ඔවුන් වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් ජනමාධ්‍යවේදීන් ඇගයීිමට ද ඔවුහු අමතක නොකළහ. එමෙන්ම ගේය පද බැන්දූ, සංගීත නාද රටාවන් එක් කළ සංගීතවේදීන්වද ඇගයීමට ලක් කළහ. එය කගේත් පැසසුමට හේතු විය. ප්‍රසංගය නිමාවත් සමඟ තෑගි බෝගවලින් ද ඔවුන්ට සංග්‍රහ කළහ. අසුන්වලින් නැඟිට යුහුසුළුව උනුසුම් හාද්දක් දී එඩ්වඩ්ට චරිතාට සුබ පතමින් මාරම්බරී 101 කවදා පවත්වන්නේද කියා කනට කොඳුරමින් ඇසූ පිරිස යන්න ගියේ 101 නැවත රස විඳීමේ අදහසිනි.