වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




8-8 A/L සඳහා සැරසෙමු

18-8 A/L සඳහා සැරසෙමු

පසුගිය සතියෙන් මේ සතියට...

නාට්‍ය හා රංග කලාවේ මූලිකාංග (ඉතිරි අංග)

රංග භූමි පාලනය (Stage Management)

නාට්‍යයේ පුහුණුවීම් ආරම්භ කළ මොහොතේ සිට නාට්‍ය වේදිකා ගත කිරීම දක්වා නාට්‍යයේ සියලු කටයුතු පරිපාලනය කරනු ලැබීම රංග භූමි පාලනය නමින් හැඳින්වේ.

* පුහුණුවීම් සැලැස්මක් සකස් කරගෙන නළු නිළියන් කලට වේලාවට පුහුණුවීම්වලට ගෙන්වා ගැනීම පරිපාලනය කිරීම

* පුහුණුවීම්වලදී නළු නිළියන්ගේ විනය පරිපාලනය කිරීම

* ආනුශංශික ශිල්පීන්ගේ කාර්යයන් කලට වේලාවට නාට්‍ය නිෂ්පාදනය සඳහා ලබා ගැනීම

* නාට්‍ය පෙළෙහි සිදුවන වෙනස්කම්, නළු නිළියන් ස්ථානගත කිරීම්, අවශ්‍ය රංග භුමි අලංකරණ, රංග භාණ්ඩ පිළිබඳව නාට්‍ය පිටපතෙහි සටහන් කර ගැනීම

* නාට්‍ය නිෂ්පාදනයට අවශ්‍ය රංග භූමි අලංකරණ, රංග වස්ත්‍ර, රංග භාණ්ඩ පිළිබඳව වාර්තාවක් පවත්වාගෙන යාම, ඒවා ආරක්ෂා කොට නාට්‍ය වේදිකා ගත කරන ස්ථානයට ගෙන ඒම

* රංග භූමිය නාට්‍ය නිෂ්පාදනයට අවශ්‍ය ආකාරයට සකස් කිරීම (රංග භුමි අලංකරණ, රංග භාණ්ඩ නියමිත පරිදි ස්ථාන ගත කිරීම)

* නළු නිළියන් කලට වේලාවට නාට්‍යයේ දර්ශනයන් වෙත එවීම පරිපාලනය කිරීම

වේදිකා සහයකයන් ලවා රංගභූමි අලංකරණ සහ රංග භාණ්ඩ දර්ශනයෙන් දර්ශනයට මාරු කිරීම

* නාට්‍ය වේදිකා ගතවද්දී වේදිකාව මත නළු නිළියන්ගේ විනය පරිපාලනය කිරීම

* පෙළ මතක් කරන්නන් නිසි පරිදි මෙහෙයවීම

* නාට්‍යයේ ගුණාත්මක බව එලෙසින්ම පවත්වා ගෙන යාම

රංග භූමි තාක්ෂණය

කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලාව්ස්කි

නූතන වේදිකාව මත නාට්‍ය නිර්මාණය වඩාත් අර්ථවත් සහ චමත්කාර කර ගැනීම සඳහා තාක්ෂණික උපක්‍රම භාවිත කරනු ලබයි.

* රංග භූමි තාක්ෂණය භාවිතයට ගන්නා අවස්ථා කිහිපයකි.

(1) රංගාලෝකයේදී

(2) නාට්‍ය සංගීතයේදී

(3) රංග භූමි අලංකරණයේදී

(4) ශබ්ද පරිපාලනයේදී

* නූතන නාට්‍යවල රංගභූමි තාක්ෂණය සඳහා නූතන ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන්, සිනමාව ආදිය භාවිතා කරනු ලබයි.

නාට්‍යෝපකරණ (Stage Properties)

චරිතය හා සම්බන්ධව නළු නිළියන් භාවිතා කෙරෙන භාණ්ඩ නාට්‍යෝපකරණ ලෙස හඳුන්වනු ලබයි.

* නාට්‍යෝපකරණ රංග භූමි අලංකරණ සමඟ ද බැඳී පවතියි.

* නාට්‍යෝපකරණ නිර්මාණයේදී සරල බව, පහසුවෙන් පරිහරණය කළ හැකි වීම, පිරිවැය අවම වීම යන කරුණු කෙරෙහි සැලකිලිමත් විය යුතුය.

* නළු නිළියන්ගේ රංගනයට උපකාරී වන අතර චරිත ඉස්මතු කිරීමට නට්‍යෝපකරණ බලපානු ලබයි.

* නාට්‍ය පුහුණුවීම්වලට භාවිත කරන නාට්‍යෝපකරණම නාට්‍ය දර්ශනයට ද භාවිත කිරීම නළු නිළියන්ට තම රංග කාර්යය බාධාවකින් තොරව කරගෙන යාමට පහසුවක් වේ.

අනුකරණය සහ සමාරෝපය

වෙනත් පුද්ගල චරිතයක් / ක්‍රියාවක් / අවස්ථාවක් ඒ අයුරින්ම කර පෙන්වීම අනුකරණයයි.

නළුවකු විසින් යම් චරිතයකට ප්‍රවිෂ්ට වීම සමාරෝපය ලෙස හඳුන්වා දිය හැක. එනම් තමන්ගේ පෞද්ගලිත්වය හැර දමා වෙනත් කෙනකුගේ ස්වරූපය අභ්‍යන්තරව හා බාහිරව ආරෝපණය කර ගැනීමය.

රූපණය

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්

චරිතයකට ආරෝපණය වී කිසියම් කාල සීමාවක් එහි ජීවත්වීමේ නළු කාර්යය රූපණය නමින් හැඳින්වේ.

* රූපණ කාර්යයේ මූලාරම්භය ප්‍රාථමික ජන සමාජවල පැවති අභිචාර විධි, පුදපූජා හා බැඳී පවතී.

* රූපණයේදී සමාරෝපය (බාහිර සහ අභ්‍යන්තර) බෙහෙවින් වැදගත් වේ.

* රූපණ කාර්යය වඩාත් සාර්ථක කරගැනීම සඳහා හඬ අභ්‍යාස, ශ්වසන අභ්‍යාස, ශාරිරික අභ්‍යාස, ශිරිලකරණ අභ්‍යාස, රිද්මයානුකූල අභ්‍යාසවල නළු නිළියන් නිරතව සිටීම වඩා වැදගත් වේ.

රූපණ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නළු නිළියන් තුළ තිබිය යුතු ගුණාංග සහ ශක්‍යතා

* දැනුම

* ධාරණය

* කුසලතාව

* අවබෝධය

* අත්දැකීම්

* කැපවීම

* අධිෂ්ඨානය

* සතත අභ්‍යාසය

* ඉවසීම

* ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ විචාරක මතවාද මත නළු නිළියන්ගේ රූපණ කාර්යය සංවර්ධන වේ.

රූපණය පිළිබඳ පෙරදිග සංකල්පය

* මෙහිදී භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රය ප්‍රමුඛ වේ (භරතමුනි මෙහිදී මූලික කොට ගෙන ඇත්තේ සංස්කෘත නාට්‍ය කලාවයි)

* සංස්කෘත නාට්‍යයේදී රූපණයේ මුඛ්‍ය පරමාර්ථය රසෝත්පාදනයයි.

* සංස්කෘත නාට්‍යයේ රූපණයේදී සතර අභිනය භාවිතයට ගනු ලබයි.

(1) වාචික අභිනය

(2) ආංගික අභිනය

(3) සාත්වික අභිනය

(4) ආහාර්ය අභිනය

* නාට්‍ය ශාස්ත්‍රයට අනුව රූපණ විධ ක්‍රම ද්විත්වයකි.

(1) අභ්‍යන්තර - ශාස්ත්‍රනුකූලව සිදු කරන රඟපෑම

(2) බාහිර (බාහ්‍ය) - ශාස්ත්‍රයට බැහැරින් සිදු කරන රඟපෑම

රූපණය පිළිබඳ අපරදිග සංකල්පය

* රූපණය පිළිබඳ විද්‍යාත්මක ක්‍රමවේදයක් (Method Acting) ඉදිරිපත් කළේ කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලාව්ස්කි විසිනි. ඔහු දක්වන ආකාරයට ලෝකයේ රඟපෑම් වර්ග 2 ක් දක්නට ලැබේ. ඒ බාහිර රඟපෑම් සහ අභ්‍යන්තර රඟපැම් යනුවෙනි. සමාජයේ බහුලව දක්නට ලැබෙන්නේ බාහිර රඟපෑම් වන නමුත් වඩා වැදගත් වන්නේ අභ්‍යන්තර රඟපෑම් බව සැටැනිස්ලාව්ස්කි පෙන්වා දෙයි.

ඔහු පෙන්වා දෙන්නේ රූපණයේදී සවිඥානිකව අවිඥානික වීම (Consciously Unconscious) වැදගත් වන බවයි.

* අභූතරූපි රංගයේදී (Theatre of the Absurd) නළුවා විසින් අතිශයෝක්තියෙන් යුතුව විකට රූපණ මතුවන ආකාරයට රූපණය සිදු කළ යුතුයි.

* අඛ්‍යාන රංගයේදී (බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ) නළුවා බුද්ධිමය ප්‍රතික්‍රියාවක් දක්වන්නකු ලෙස (භාවතිශය නොවී) රූපණ කාර්යයෙහි නිරත විය යුතුය.