වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




අනුර ශ්‍රීනාත්ගේ සුන්දර තිස්පහ වෙනුවෙන් කලාකරුවන්ට උපහාර

අනුර ශ්‍රීනාත්ගේ සුන්දර තිස්පහ වෙනුවෙන් කලාකරුවන්ට උපහාර

වසර 35 ක් පුරාවට රූපවාහිනි නිර්මාණ 100 කටත් වේදිකා නිර්මාණ 75 කටත් සිනමා නිර්මාණ 25 කටත් රංගනයෙන් දායක වෙමින් රංගන ශිල්පියෙක්, කාලකරුවෙක් සහ සමාජ ක්‍රියාධරයෙක් ලෙස රංගන ශිල්පී අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි කලාකරුවා කළ මෙහෙවර අගයමින් 'සුන්දර 80 වේ සහෘද එකමුතුව' මඟින් සංවිධානය කළ උපහාර උලෙළ පසුගියදා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී පවත්වන ලදී.

සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල ප්‍රනාන්දු මැතිනියගේ ප්‍රධානත්වයෙන් සහ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද එම උත්සවයේදී අනුර ශ්‍රීනාත්ට වසර 35 ක් පුරා අතහිත දුන් කලාකරුවන් 25 දෙනකුට උත්තමාචාර සම්මාන ප්‍රදානය කළ අතර ඒ අතරින් ගිලන් වූ කලාකරුවන් පස් දෙනකුට වෛද්‍ය ප්‍රතිකාර සඳහා මූල්‍යාධාර ද, තෝරා ගත් පාසල් දරුවන් 35 දෙනකුට ශිෂ්‍යාධාර ප්‍රදානය සිදු කරන ලදී.

'සුන්දර තිස් පහ' සඟරාවේ මුල් පිටපත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අරලියගහ මන්දිරයේදී ප්‍රදානය කරන ලදී. ක්ලිටස් මෙන්ඩිස්, උදයකාන්ත වර්ණසූරිය, චන්ද්‍රරත්න මාපිටිගම, ජයසේකර අපෝන්සු, විශාරද එඩ්වඩ් ජයකොඩි, පද්මසිරි කොඩිකාර, සන්ධ්‍යා සුබසිංහ, අජිත් ධර්මප්‍රිය, විජයසිරි වීරක්කොඩි, සුනිල් අරුණ වීරසිරි, සෑම් පෙරේරා, ලක්ෂ්මන් පුෂ්පකුමාර, හේරත් වර්ණකුලසූරිය, බන්ධුල විරසේකර යන විවිධ ක්ෂේත්‍රවල කලාකරුවන්ට උපහාර සම්මාන පිදූ අතර සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මැතිනිය ඔහුට සුවිශේෂ උපහාර සන්නසක් සංස්කෘතික අමාත්‍යාංශය වෙනුවෙන් ප්‍රදානය කළ අතර, විවිධ සංවිධානවලින් උපහාර තිලිණ, සම්මාන සහ ඇගයීම් ප්‍රදානය කරන ලදී.

ඔහුගේ වැඩිම නිර්මාණ ගණනක් ප්‍රචාරය කළ රූපවාහිනි නාළිකාව ලෙස ජාතික රූපවාහිනිය සම්මාන ලැබීය.

අනුර ශ්‍රීනාත් රංග කලායතනයේ දරු දැරියන්ගේ නැටුම්, ගැයුම්වලින් උලෙළ විචිත්‍රවත් වූ අතර ඔහුගේ 'සමනළයෝ' ළමා ගීත එකතුව රූප සංයුක්ත තැටියක් ලෙස එදින ජනගත කරන ලදී.


හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට එන්න

අභින සාමාජිකයන්ට අනෝජාගෙන් ඉල්ලීමක්

අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද දින (8) පෙරවරු 11.00 ට බෙල්ලන්විල විහාරස්ථානයට පැමිණෙන ලෙස අභින සාමාජිකයන්ට අනෝජා වීරසිංහ දන්වා සිටියි. හිමිපාණන්ගේ අවසන් කටයුතු අද සවස 3 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය. අභින රංගන පාසල උදෙසා මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් විශාල මෙහෙයක් කළහ.


ගීතයේ අයිතිය ගැන කතිකාවක්

ගීතයේ අයිතිය සහ ගීතයේ ජීවය යන මැයෙන් විශේෂ කතිකාවතක් ඉකුත් දා ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයේදී පැවැත්විණ. ලූෂන් බුලත්සිංහල, ෂර්ලි වෛජයන්ත සහ නීතිඥ ගීතාංජලී රණවක හා නදීක ගුරුගේ මෙහිදී අදහස් දැක් වූහ. මේ එහි අවස්ථා කිහිපයකි.


සිනමා ලොවේ අපූරු තැන් ස්පර්ශ කරමින් එහි ගැබ්ව තිබෙන ඇතුළාන්තය තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ 'සිනේ - මා' චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී තිරගත කෙරිණි.

වෛද්‍ය කපිල සුරියආරච්චි විසින් මෙහි තිර රචනය හා අධ්‍යක්ෂණය කළ අපූරු සිනමාපටයක් ලෙස ප්‍රේක්ෂකයන් වැළඳ ගන්නා බව කිව යුතුය. සිනමාකරුවකු වන්නට වෙර දරන චිත්‍රපට ශාලාවක ප්‍රොජෙක්ටර්කරුවකු වටා ගෙතුණු කතාදාමයක් වර්තමානයට උචිත අයුරින් ඊට සබැඳෙන යොවුන් ආදර කතාවකුත් ගැබ්ව කපිල සූරියආරච්චිගේ දෙවන සිනමාපටය ලෙස 'සිනේ - මා' නම් කළ හැකිය.

රොබින් ප්‍රනාන්දු, අයිරාංගණී සේරසිංහ, ඩග්ලස් රණසිංහ, චාන්දනී සෙනෙවිරත්න, බිමල් ජයකොඩි, ශ්‍යාම් ප්‍රනාන්දු, නයනතාරා වික්‍රමාරච්චි, ඉසුරු ලොකුආරච්චි, ජගත් බෙනරගම චරිත නිරූපණය කරයි. චම්පික ජයනන්දනයන්ගේ විධායක නිෂ්පාදනයකි 'සිනේ - මා'. චිත්‍රපට අධ්‍යක්ෂවරුන් හා නිෂ්පාදකවරුන්, නළුවන් හා නිළියන් හා බෙදාහරින්නන් හා සිනමාහල් හිමිකරුවන් මුහුණදෙන සිදුවීම් මාලාවක් ඇතුළත් චිත්‍රපටයක්. මේ 'සිනේ මා' චිත්‍රපටයේ විශේෂ අවස්ථා සරසවිය සටහන් කර ගත් අයුරුයි.