වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




‘‘හන්තාන ප්‍රකම්පන’’

හන්තාන සිසාරා එදා මෙදා තුර පේරාදෙණිය සරසවියෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ ශ්‍රව්‍ය දෘශ්‍ය පෙළහර

‘‘හන්තාන ප්‍රකම්පන’’

2017 නොවැම්බර් 12 වන ඉරු දින BMICH හිදී නින්නාද දෙයි

සොබා සෞන්දර්යයෙන් අනූන හරිත වන පියසින් ගැවසි, කඳු ශිඛර පිස හමන සුළං රැල්ලෙන් නිරන්තරයෙන්ම ප්‍රබෝධමත් වූ හන්තාන කඳු වළල්ලෙන් සහ මහවැලි නදියේ මනස්කානත ආශිර්වාදයට බඳුන් වෙමින් දේශයට අග්‍රගණ්‍ය යුග පුරුෂයන් දායාද කළ පේරාදෙණිය සරසවිය සිය අභිමානවත් ගමන් මඟේ 75 වැනි කඩඉමට පැමිණ තිබේ.

සොඳුරු හන්තාන කඳු පෙළ බටහිර බෑවුම සහ මහවැලි නදියට මායිම්ව සොබාදහම දායාදා කළ මමෝරම්‍ය වූ අපූර්වත්ව මිටියාවතක පේරාදෙණිය සරසවිය නම් දිසාපාමොක් සෙවණ පිහිටියේය.

මහවැලි නදියෙන් දියවර ගත් මහ ඔය, ගැරඬි ඔය, දොඩම්ගොල්ල ඔය, කුඩා ඔය සහ මැද ඔය සරසවි බිම් පෙත හරහා ගලා බස්නේ හාත්පස පරිසරයට සජීවිමත් චමත්කාරයක් එක් කරමිනි. මෙම සෞන්දර්යාත්මක, සංහිඳියාත්මක පරිසරය අධ්‍යයනයට, නිර්මාණකරණයට, සංවාදශීලී බවට, ගවේෂණයට හා නිරීක්ෂණයට පමණක් නොව මානව මානවිකාවන්ගේ ප්‍රේමණීය මනෝභාවයන් පුබුදාලීමට අනුපමේය වූ පෙලඹවිමක් ලබා දෙයි. 'සාර්වාස්ව ලෝකනම් ශාස්ත්‍රම්" - "සර්ව ලෝකයම දැකීමේ ඇස ශාස්ත්‍රයයි" යන්න තේමා පාඨය කරගත් පේරාදෙණිය සරසවිය 1942 සිය ගමන්මඟ සනිටුහන් කරන අතර මෙම වසරේ සිය අභිමානවත් 75 වන සංවත්සරය එනම් වජ්‍ර ජයන්තිය ලෙස අනුස්මරණය කරනු ලබයි. දැලේ අභිමානය තහවුරු කරලන්නට, නිවහල් චින්තනයෙන්, විදුහුරු දැක්මෙන්, සමානාත්මතාවයෙන් පිරිපුන් ප්‍රාඥයින් බිහි කරලන්නට පේරාදෙණිය සරසවියෙන් 75 වසරක් පුරා ලබා දී තිබෙන අනුපමේය මෙහෙවර අග්‍රගණ්‍ය වේ. පේරාදෙණිය සරසවියෙන් විවිධ යුගවලදී පැතිරුණු නිර්මාණාත්මක හා ශාස්ත්‍රීය ප්‍රබෝධය, සංස්කෘතික ප්‍රනර්ජීවනය, ජාතික හා දේශපාලනික මඟ පෙන්වීම ද අති මහත්ය. මහාචාර්ය දයානන්ද ඒකනාථ, ඩී. ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, එම්. බී. ආරියපාල, ආනන්ද කුලසූරිය, ඒ. ඩී. පී. කලංසූරිය වැනි යුග පුරුෂයන් සරසවිය ආලෝකමත් කළ රුවන්මය ප්‍රදීපයන් ලෙසින් ඉතිහාසයට එක් වෙති. පේරාදෙණිය සරසවියේ සොඳුරු ඉසව් සහ සරසවි ප්‍රේම වෘත්තාන්ත පාදක කර ගනිමින් බිහි වූ ගීතසමුදාය සුභාවිත ගීත සාහිත්‍යයට ලබා දෙන්නේ නොමඳ ආලෝකයකි.

සිය වජ්‍ර ජයන්තිය සමරන පේරාදෙණිය සරසවිය ඒ වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් දියත් කර තිබේ. වත්මන් උපකුලපති උපුල් බී. දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරයේ සහභාගිත්වයෙන් 'හන්තාන සංවේද' නමින් ප්‍රසංගයක් පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ආදි ඉන්ජිනේරු විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධාන කොට තිබුණි.

මෙම ඓතිහාසික අවස්ථාව සමරනු වස්, පේරාදෙණිය සරසවියේ 1982 වසරේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලැබූ ආදි විද්‍යාර්ථීන් විසින් 'හන්තාන ප්‍රකම්පන' නමින් පේරාදෙණිය සරසවියෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ දායකත්වය සහ සහභාගීත්වයෙන් සුවිශේෂී වු ශ්‍රව්‍ය දෘශ්‍ය පෙළහරක් එළි දක්වන්නට කටයුතු සංවිධාන කර ඇත.

අපිට නොදැනීම අප අතරින් ගිලිහී යන අපට උරුම වූ කලාව, එහි අතීත සුන්දර මතකය නැවත නැවතත් ප්‍රතිනිර්මාණය කරමින් හරවත් අරුත්බර අපේ කලාව වත්මන් සමාජයේ දැනගැනීම උදෙසාත්, භාවිතය උදෙසා සහ උසස් රස වින්නය උදෙසාත් සමාජගත කරන්නට 'හන්තාන ප්‍රකම්පන' එළි දක්වන්නට පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ 82 කණ්ඩායම සියළු කටයුතු සූදානම් කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨය කලාවට දක්වන ළෙන්ගතුකම එහි සුන්දරත්වය විඳින්නට ඇති අපරිමිත කැමැත්ත එදා මෙන් අදත් නොවෙනස්ව පවතී. පේරාදෙණිය 'කම්මල' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉන්ජිනේරු පීඨය එදා මෙදාතුර සරසවිය තුළින් බිහි වූ සහ බිහිවෙන කලා නිර්මාණ ඉන් ඔබ්බට ගෙන යාමට කළ හැකි ඉහළම මෙහෙවර ඉටු කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන 'හන්තාන ප්‍රකම්පන' ප්‍රසංගයේ සහාය අධ්‍යක්ෂක සහ සම්බන්ධීකාරක, ප්‍රවීණ රංගධර නිශ්ශංක දිද්දෙණිය මහතා,

අපේ පේරාදෙණිය සරසවියෙන් බිහි වූ අග්‍රගණ්‍ය කලාකරුවෙක් වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ සහ සිංහබාහු සමඟ හෙළ කලාකෙත පෝෂණයට ඉවහල් වූ නරිබෑණා, ගජමන් පුවත, මූදුපුත්තු, විකෘති, බෙරහඬ, දෝන කතිරිනා හා ද්‍රවිඩ සාහිත්‍ය හා බැඳුණු රවනේෂන් යන නාට්‍යය ද, පේරාදෙණිය හා සබැඳි නාට්‍ය හා ගීත සමුච්චයක් මෙදින ප්‍රසංගයේදී ඉදිරිපත් කිරීමට නියමිතයි. 'හන්තාන ප්‍රකම්පන' ප්‍රසංගය ප්‍රවීණ නාට්‍ය රචක කේ. බී. හේරත්ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන්, රංජිත් බාලසූරියගේ සංගීත සමායෝජනයට මහාචාර්ය මෞනගුරු, ජයලත් මමෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, ප්‍රසන්නජිත් අබේසූරිය, රොඩ්නි වර්ණකුල, රත්නා ලාලනී, මාධනී මල්වත්තගේ, මිත්‍ර කපුගේ, සමන් ලෙනින්, කෞශල්‍යා ප්‍රනාන්දු හා ජානක වික්‍රමසිංහ වැනි අපේ ප්‍රවීණ රංගධරයන්ගේ රංග පෞරුෂයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 2017 නොවැම්බර් මස 12 වන දින සවස 6.30 ට එළිදැක්වීමට නියමිතයි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ සහ සිංහබාහු නාට්‍ය දෙකේ ප්‍රධාන ගීත දෙකක් වන මනමේ කුමාරයා සහ කුමරිය ගායනා කරන ප්‍රේමයෙන් මනරංජිත වේ ගීතයත්, සිංහබාහු නාටකයේ සිංහයා ගායනා කරන වැලපීමේ ගීතය වන ගල්ලෙන බිඳලා යන ගීතයත්, සරච්චන්ද්‍රයන්ගේම ගෝලයන් හැටියට සැලකෙන ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, සෝමලතා සුබසිංහ, කේ. බී. හේරත්, ජයලත් මමෝරත්න යනාදී නාට්‍යකරුවන්ගේ නාට්‍ය නිර්මාණවල ගීත රැසක් මෙම ප්‍රසංගයට ඇතුළත් වෙනවා. ඊට අමතරව විශ්වවිද්‍යාලය ඇසුරින් බිහි වුණු ප්‍රේම ගීත, විරෝධාකල්ප ගීත සහ නොයෙකුත් විදියේ ගීත මෙයට ඇතුළත් වෙනවා. ප්‍රේම ගීත සඳහන් කළොත් ප්‍රේමකීර්ති ද අල්විස් රචනා කළ මර්වින් පෙරේරා ගායනා කරන 'මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි' ගීතය, පේරාදෙණිය සරසවියේම අධ්‍යාපනය ලැබූ සිරිසමන් විජේතුංග රචනා කළ දයාරත්න රණතුංග ගී තනුව රචනා කරමින් ගායනා කරන 'සරසවියේදී හෙට විතරයි හමුවන්නේ' ගීතයත් මෙයට ඇතුළත්. මෑතකදී ප්‍රසිද්ධ වුණු ජානක සිරිවර්ධන රචනා කළ පණ්ඩිත් අමරදේවයන් සහ උමාරියා සිංහවංශ ගායනා කරන 'බලා වැලපෙමි නෙලා ගනු බැරි' හන්තාන සිහිනේ' කියන ගීතය, ධම්මික බණ්ඩාරයන් රචනා කළ අමරසිරි පීරිස් ගායනා කරන 'හන්තානට පායන සඳ' ගීතය, 'හන්තානේ කඳු මුදුන සිසාරා' ගීතය වැනි විශිෂ්ට ගීත ගොන්නක්ම මෙම ප්‍රසංගයට ඇතුළත් වෙනවා. එමෙන්ම මූදුපුත්තු නාට්‍යයේ 'මුහුදු පතුල යට ඉඳලා' කියන ගීතය, සෝමලතා සුබසිංහගේ 'විකෘති' නාට්‍යයේ 'විභාගේ අභාගේ' කියන ගීතයත් ඇතුළත් වෙනවා. ගුරු තරුව සහ අන්දරේලා නාට්‍යවල ගීත ද ඇතුළත් වෙනවා. පැරැණි නූර්ති සහ නාඩගම් ගීතත් මීට ඇතුළත් වෙනවා.

මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය කරනුයේ ප්‍රවීණ සංගීඥ රංජිත් බාලසුරියගේ වාද්‍ය වෘන්දයයි. රංගාලෝකය සහ ශබ්ද විකාශනය සපයනුයේ රෝහිත සවුන්ඩ්ස් ආයතනයයි. වේදිකා සහාය සෝමාපාල පතිරගේ, නන්දන සහ විනීතා දිද්දෙණියගෙනි. අංග රචනය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ජගත් පද්මසිරි විසිනි.

රසකාකමීත්වය, කලාකාමීත්වය තීරණය වන්නේ හදාරන ලද විෂය මත නොවේ. සෞන්දර්ය ආශ්වාදය සැම කෙනකුටම තරාතිරමකින් තොරව පොදු දෙයක් බවට පත් වෙනවා. මෙම ප්‍රසංගය දැනට විශ්වවිද්‍යාලයේ සිටින අයට පමණක් නොවෙයි මතුවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන්නට, උපාධි ලබාගන්න පැමිණීමට බලාපොරොත්තු වන පරපුරට පූර්වාදර්ශයක් වනු නිසැකය.

සුන්දර අතීතයට මොහොතකට හෝ දිව ගොස් අපේ කලාව රස විඳින්නට කැමති ඔබත් එදිනට අපත් සමග අත්වැල් බැඳගන්න.

ධනුෂ්ක රාමනායක