වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




තුන්දෙනෙක් එක්වී තුන්දෙනෙක් සාදති

තුන්දෙනෙක් එක්වී තුන්දෙනෙක් සාදති

එකම තේමාවක් උපයෝගී කර ගනිමින් අධ්‍යක්ෂවරු තිදෙනෙක් තැනු චිත්‍රපටයක් ළඟදී තිරගතවීමට නියමිතය. තුන්දෙනෙක් ලෙසට නම් කොට ඇති එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ මෙරට විශිෂ්ට සිනමාවේදීන් තිදෙනකු වන ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දරගේ එකතුවෙනි. මෙහි ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කතාවේ අශෝක හඳගම එනමින්ම රංගනයෙන් දායක වීම විශේෂත්වයකි. ඔහු සමඟ එහි යාපන චිත්‍රපට අධ්‍යක්ෂ කේසවරාජන් නිමලරාසන් රංගනයේ යෙදෙයි.

එම චිත්‍රපට කතා ත්‍රිත්වයේ රංගනයේ යෙදෙන්නන් බහුතරයක් නවක නළු නිළියන්ය. මෙම චිත්‍රපටය නරඹන්නට යන ප්‍රේක්ෂකයාට එක ටිකට් පතක් ගෙන එම අධ්‍යක්ෂවරු තිදෙනාගේ එම චිත්‍රපට ත්‍රිත්වය නැරැඹීමට අවස්ථාව උදාවනු ඇත.

ලාංකික සිනමාවේ මුල්වරට කතා තුනක් ඇතුළත් චිත්‍රපට මාලාවක් තෙවත නමින් නිර්මාණය කරන ලද්දේ ටයිටස් තොටවත්තයන්ය. එය එක අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයන් වූ අතර මෙවර මෙම චිත්‍රපට ත්‍රිත්වය තිදෙනකුගේ අධ්‍යක්ෂණයකින් යුක්ත වීම විශේෂ ලකුණකි.

‘ගොම්මනේ අපි’ රූපගත කිරීම් ඇරඹෙයි

ජාතික සංහිඳියාව තේමා කර ගනිමින් මායාදුන්න බණ්ඩාර විසින් තිර නාටකය ලියා අධ්‍යක්ෂණය කරන 'ගොම්මනේ අපි' ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් නොවැ. 09 දින සිට කරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේදී ආරම්භ කෙරෙයි.

මෙහි ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධදාස විතානආරච්චි, දර්ශන් ධර්මරාජ්, ගයනා සුදර්ශනී, සුනිල් නිවිතිගල, ෂෙරින් එදිරිසිංහ, ප්‍රියංකා හේමමාලි, දයාසිරි හෙට්ටිආරච්චි, ඇන්ටන් කුරේ, ජගත් මනුවර්ණ, රංගි රාජපක්ෂ, කුමාරි රත්නායක, පවිත්‍රා වික්‍රමසිංහ, පබසාරා මායාදුන්න, ආනන්ද සෝමසිරි, කණ්ඩුල සෙනෙවිරත්න, මමෝහාරි විමලතුංග, චතුර වීරවර්ධන, චාමිකර බොකරගොඩ , කවි වික්‍රමසිංහ සමග රූපවාහිනියට හඳුන්වා දෙන දමිළ ළමා නළු හැරන් සංදීප් සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ රංගන දායකත්වය සපයති.

ගොම්මනේ අපි ටෙලි වෘතාන්තයේ කැමරා අධ්‍යක්ෂණය නිශාන්ත ප්‍රදීප් හේමචන්ද්‍ර සහ දිලීප පුස්සැල්ල වෙතිනි. කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය රාජිත සමන් ගුණසේකර. අංග රචනය තරංග රුක්මල්වල.

සහය අධ්‍යක්ෂණය නිලන්ත රණසිංහ, නිෂ්පාදන කළමනාකරණය චරක මුණසිංහ. රේඛීය නිෂ්පාදනය සරත් රත්නායක. නිශා එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් නිශාන්ත කුමාර කරුණාරත්න ගොම්මනේ අපි ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරයි.

සිංහල දමිළ ද්වි භාෂා උප සිරැසියෙන් යුතු කොටස් පනහක ටෙලි නාට්‍යයකි.

මමෝහාරීගෙන් ළමා පෙළට ටෙලි පෙරහැරක්

විශිෂ්ට ළමා කෙටිකතා හතළිහක් ඇසුරෙන් මමෝහාරි හේවාවසම් අධ්‍යක්ෂණය කරන ළමා ටෙලි පෙරහැර මාලා නාටකයේ මූලික වැඩ කටයුතු ඉකුත් දා සව්සිරි පරිශ්‍රයේ පැවැත් වූ මුහුරත් උලෙළකින් පසුව ආරම්භ විය. ජාතික රූපවාහිනියේ විකාශයවීමට නියමිත එය බුද්ධිකා කදුරුගමුව සහ නිල්මිණි ධීරසේකර නිෂ්පාදනය කරනු ලබයි.

ගාමිණී හෙට්ටිආරච්චි, ගිහාන් ප්‍රනාන්දු, සම්පත් ජයවීර, සුලෝචනා වීරසිංහ ඇතුළු නළු නිළියන් සහ ළමා නළු නිළියන් අති විශාල ප්‍රමාණයක් මෙහි රංගන දායකත්වය සැපයීමට නියමිතය. කොටස් හතළිහකින් යුතු ළමා ටෙලි පෙරහැර මාලා නාටකය එක් කොටසක් එක් කෙටි කතාවක් ඇසුරෙන් නිර්මාණය වේ.

එම කෙටි කතා ඇසුරෙන් අරුණ ප්‍රේමරත්න, කසුන් මහේන්ද්‍ර හීනටිගල, ජයතිලක කම්මැල්ලවීර, නර්මදා රණවීර, කපිල එම්. ගමගේ, ලංකා බණ්ඩාරනායක සහ රජීව් ආනන්ද රූපවාහිනි රචනය සිදු කරයි.

ළමා ටෙලි පෙරහැර මාලා නාටකයේ කැමරා අධ්‍යක්ෂණය කුලරුවන් ගමගේගෙනි. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කරයි. රුක්මල් නිරෝෂ්ගේ සංස්කරණයකි. අජන්ත අලහකෝන් කලා අධ්‍යක්ෂණයෙන් එකතු වන ළමා ටෙලි පෙරහැරේ අංග රචනා හර්ෂ මංජුලගෙනි. අමා විජේසේකර ඇඳුම් නිර්මාණයෙන් එක් වෙයි. අංජන ආශුබෝධි නිෂ්පාදන කළමනාකරුය.

රිදී තිරයට ‘ආකාස දෙකක්’

හෙළ සිනමාවට ආකාසේ නම චිත්‍රපට ද්විත්වයකින් එක්ව තිබේ. ඉන් එක් සිනමාපටයක් වනුයේ ප්‍රියන්ත කොළඹගේ ගේ දේදුනු ආකාසේය. හේමාල්, ටීනා සහ චුලක්ෂි ප්‍රධාන චරිත මවන එය ඊ. ඒ. පී. මණ්ඩලයේ නිෂ්පාදනයකි. දේදුනු ආකාසේ සිනමාපටය මේ දිනවල තිරගත වනුයේ ඉහළ ආදායම් වාර්තාවන් ද තබමිනි. එය තිරගත වූ දින විසි තුනක ඇතුළත ඉපැයූ සමස්ත ආදායම පන්කෝටි හතළිස් අට ලක්ෂයකි.

හෙට සිට තිරගත වන අනෙක් ආකාසේ නම ඇති චිත්‍රපටය වනුයේ සීමා නෑ ආකාසේය. නිහාල් බණ්ඩාර අධ්‍යක්ෂණය කළ එය තිස්ස බාලසූරියගේ නිෂ්පාදනයකි. පුබුදු, අරුණි සහ ධනංජි එහි ප්‍රධාන චරිත මවනු ලබයි.

හර්ෂ උඩකන්ද කොළඹ සන්නිය Returns වැඩ අරඹයි

හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරන ඔහුගේ තෙවැනි සිනමාපටය වූ කොළඹ සන්නිය රිටන්ස් හි මූලික වැඩ කටයුතු පසුගියදා අරඹන ලදී. මනික් සාන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ කොළඹ සන්නිය සිනමාපටය ඇසුරෙන් නිර්මාණය වන මෙය ෂර්මාල් ඩිල්ෂාන් සහ සහන් අබේවර්ධනගේ නිෂ්පාදනයකි.

සරත් කොතලාවල, සැනෙට් දික්කුඹුර, රජිත හිරාන්, කුමුදිනි අධිකාරි, බොනිෆස් ජයශාන්ත, රසිකා නිමාලි, අශිකා මතසිංහ, ගයත්‍රි කාන්චනමාලා, රොහාන් විජේසිංහ මෙහි චරිත මවති. සුගන්ධ ජනප්‍රසාද්ගේ සහය අධ්‍යක්ෂණයකි. ප්‍රබෝධ සෙනරත් කලා අධ්‍යක්ෂවරයාය. තිවංක අමරසිරිගේ සංස්කරණයකි. හර්ෂ අධ්‍යක්ෂණය කළ ෆේස් ටු ෆේස් සිනමාපටයේ විශේෂ දර්ශනයක් ඉකුත්දා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්විණ. එයට ඉහළ ප්‍රතිචාර ලැබුණු වග වාර්තා විය.

කොළඹ සන්නිය මුල් චිත්‍රපටය 1975 වසරේදී තිරගත වූ අතර එය එකල ඉමහත් ජනප්‍රසාදයට පත් වූ අතර විචාරකයන්ගේ ද අවධානය දිනා ගැනීමට සමත් විය.

කෑගල්ලේදී රස වින්දන

වැඩමුළුවක්

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සහ කෑගල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය එකමුතුවෙන් වින්දනීය සාහිත්‍ය සතියක් පැවැත්විමට නියමිතය. ඒ අනුව මෙම මස 09 සහ 10 වැනිදා මාවනැල්ල අධ්‍යාපන කලාපයේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී රස වින්දන වැඩ සටහන් දෙකක් පැවැත්වෙනු ඇත. එයට සමගාමීව පාසැල් සිසු සිසුවියන් සහ වැඩිහිටියන් සඳහා චිත්‍රපට ප්‍රදර්ශනයක් ද පැවැත් වේ.