වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




විසුවියස් කඳුපාමුල හැදෙන ගිනි ගත් ජීවිත අනාවරණය

විසුවියස් කඳුපාමුල හැදෙන ගිනි ගත් ජීවිත අනාවරණය

නිති විරෝධී සංක්‍රමණිකයින් නීතිගත කිරීමේ සනතූරියා නීතියක් රට තුළ ක්‍රියාත්මකවීමට පටන් ගන්නේ මේ අවස්ථාවේදීය. මෙය අමල්ට අතිශය ප්‍රීතිදායක ප්‍රවෘත්තියක් වන්නේ තම බිරිඳ හා දරුවා දැක බලා ගැනිමට මව් රටට යාමේ අරමුණ ඉටුකර ගැනීමට මෙමඟින් හැකි වේය යන බලාපොරොත්තුව නිසයි.

අමල් වයස අවුරුදු තිහක් තිස් පහත් අතර තරුණයෙකි. එක් දරු පියෙකි. සංගීතයට ඇලුම් කළ ඔහුගේ ඒකායන බලාපොරොත්තුව වුයේ ගායකයෙක් වීමටයි. සියලු කටයුතු සඳහා වන වැදගත්ම මෙවලම මුදල් බව හඳුනාගන්නා ඔහු නීති විරීධී සංක්‍රමණිකයකු ලෙස ඉතාලියට - නාපොලියට පැමිණෙයි.

වන්දනා වයස අවුරුදු තිහක පමණ තරුණියකි. අනාගතය සුඛිත මුදික කර ගැනීමේ චේතනානේ අඩු වයසින්ම ඉතාලියට පැමිණි ඇය ඇගේ කාමරයේ පාලිකාව වන විශාකාගේ මළනුවන් සමඟ විවාහ ගිවිසගෙන සිටියි. ඔහු නමින් ජයසිරි වන අතර ලංකාවේ පදිංචිව සිටියි. ඇය ලිසා නැමැති ඉතාලි ජාතික කාන්තාවක් යටතේ ඇගේ නිවසේ රැකියාව කරන අතර ඇය යම් ප්‍රශ්නවලට ලක්ව අසරණව සිටින පුද්ගලයින් සඳහා උදව් කරන ස්වේච්ඡා සංවිධානයක විධායක මට්ටමේ රැකියාවක් කරයි. නාපොලියේ සුන්දර ප්‍රදේශයක ඉහළ මධ්‍යම පාන්තිකයන් සඳහා වෙන් වූ විල්ලා යනුවෙන් හඳුන්වනු ලබන නිවාසයක ඇය වාසය කරයි.

වන්දනාට අමල් මුණ ගැසෙන්නේ අහම්බයෙනි. එක්තරා රාත්‍රියක ඇය අතුරු පාරක ගමන් කරන විට ඉතාලි ජාතික තරුණයින් කීප දෙනෙකු අමල්ට පහර දෙනු ඇය දකියි. මේ වන විට අමල් ගායකයකු සේ නාපොලියේ සංගීත ප්‍රසංගවල ගී ගයන මට්ටමේ ජනප්‍රියත්වයක් ලබා සිටින අතර වන්දනා ඔහු හඳුනාගනියි. සැඟ වී බලා සිටින ඇය ලිසාගේ ද ආධාර ඇතිව ඔහුට උදව් වෙයි.

අමල් හා වන්දනා අතර මිතුරු දම ඇරඹෙන්නේ එතැන් සිටයි. වන්දනා හරහා අමල්ගේ ගායන හැකියා හඳුනා ගන්නා ලීසා ද ඔහුට ප්‍රිය කරයි. ආසියානු සංගීතය ප්‍රිය කරන බව කියන ඇය ඔවුන්ගේ සමාජයේ සාදයන් සඳහා ගීත ගැයිමටද ඔහු සම්බන්ධ කර ගනියි. තමා විවාහකයකු බවත් එක් දරු පියකු බවත් ප්‍රකාශ කරන අමල් මේ සියලු සංසිද්ධීන් සමඟ තම පවුල නැමැති ඒකකය දෙදරා නොයන ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගනු ලබයි. එය අවබෝධ කරගන්නා වන්දනා ද ඔහුට ගෞරවාන්විතව ඒ සඳහා සහාය වුවත් ඇගේ සිතේ අමල් වෙනුවෙන් සෙනෙහසක් පවතී.

නිති විරෝධී සංක්‍රමණිකයින් නීතිගත කිරීමේ සනතූරියා නීතියක් රට තුළ ක්‍රියාත්මකවීමට පටන් ගන්නේ මේ අවස්ථාවේදීය. මෙය අමල්ට අතිශය ප්‍රීතිදායක ප්‍රවෘත්තියක් වන්නේ තම බිරිඳ හා දරුවා දැක බලා ගැනිමට මව් රටට යාමේ අරමුණ ඉටුකර ගැනීමට මෙමඟින් හැකි වේය යන බලාපොරොත්තුව නිසයි.

එය අපූරු කතා පුවතක් බව කියවාගෙන එද්දී ඔබට වැටහෙනු ඇත. එය ටෙලි නාට්‍යයක කතා සාරාංශයකි. විසුවියස් කඳු පාමුල ලෙස එම ටෙලි සිතුවම නම් කොට ඇත. විසුවියස් නුවර වඩාත් ප්‍රසිද්ධ ගිනිකන්දක ලාවා හේතුවෙන් විනාශ වී ගිය නගරයක් හේතුවෙනි. ඉතාලියේ එම නුවර පිහිටා තිබේ. මෙම ටෙලි සිතුවම ද රූගත කොට ඇත්තේ එහිය. මේ වන විට විසුවියස් කඳු පාමුල ටෙලි සිතුවමේ සියලු වැඩකටයුතු නිමව විකාශය කිරීමට සුදානමිනි. එය සුසිරි ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයකි. සුරංග බණ්ඩාර මෙහි ප්‍රධාන චරිතයකට පණ පොමින් පුංචි තිරයට සැපැමිණෙයි.

විසුවියස් කඳු පාමුල රංගන දායකත්වය -

බිමල් ජයකොඩි, අංජුලා රාජපක්ෂ, ජගත් චමිල, සනත් විමලසිරි, අනුරුද්ධිකා පාදුක්කගේ, නිලුක්ෂි ප්‍රනාන්දු, ප්‍රියා රණසිංහ, සුසන්තා චන්ද්‍රමාලි, රූපා ගෝමස්, රන්දමා ප්‍රනාන්දු, එම්මානුවෙල්ලා ජොර්දානේ, වලේරියා බෝස්සෝ, චීරෝ කෙවින්

තිසර තුල්වාන් කැමරාකරණයෙන් ද චින්තක විජේරත්න කලා අධ්‍යක්ෂණයෙන් ද, සනීර දිනේෂ් කුමාර අංග රචනයෙන් ද, මිලින්ද තෙන්නකෝන් සංගීත අධ්‍යක්ෂණයෙන් ද, ලක්රුවන් ඩි සේරම් සංස්කරණයෙන් ද, පටිගත කිරීමේ සහායෙන් කසුන් මාලිංග ද, ඉසව් සම්බන්ධීකරණය හා ප්‍රවාහණ පහසුකම් සැපයීමෙන් ප්‍රගීත් මංගල විරසූරිය ද, නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් රෙජිනෝල්ඩ් රොද්‍රිගු ද, ආගමන විගමන කටයුතු සඳහා දායකත්වය සැපයීමෙන් අක්ෂා අධ්‍යාපන ආයතනය ද එක් වූ අතර මෙහි සහාය අධ්‍යක්ෂණය ඩබ්ලියු. රවීන්ද්‍ර, නලින්ද්‍ර ශ්‍රීමාල් හා සුරංග බණ්ඩාරගෙනි. නිෂ්පාදනය ඉයෝතා ක්‍රියේෂන්ස් වෙතිනි.