වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




කඟවේනාට එරෙහිව පෝනි හයදෙනෙක්

කඟවේනාට එරෙහිව පෝනි හයදෙනෙක්

My Little Pony  නමින් වූ කුඩා අශ්ව පැටවුන් අතරින් හය දෙනෙකු ඉහළ ප්‍රසිද්ධියකට පත් වූ අතර එම චරිත යොදා ගනිමින් මුලින්ම රූපවාහිනි කතා මාලාවක් නිර්මාණය කෙරුණේ 1984 වසරේදීය.

My Little Pony  යනු කුඩා ගැහැනු ළමයින් වෙනුවෙන් අශ්ව පැටවුන්ගේ අනු රූ ලෙස නිර්මාණය කරන ලද සෙල්ලම් බඩු විශේෂයකි. අසූව දශකය ආරම්භයේදී නිෂ්පාදනය කළ මෙම වර්ණවත් පෝනියන් කාලයෙන් කාලයට විවිධ වෙනස්කම්වලට ලක් වෙමින් ළමා සෙල්ලම් ලොවට පිවිසි අතර වර්තමාන දරුවන්ටද ඔවුන් සමඟින් සෙල්ලම් කිරීමට අවස්ථාව ලැබී ඇත.

මෙම My Little Pony  නමින් වූ කුඩා අශ්ව පැටවුන් අතරින් හය දෙනෙකු ඉහළ ප්‍රසිද්ධියකට පත් වූ අතර එම චරිත යොදා ගනිමින් මුලින්ම රූපවාහිනි කතා මාලාවක් නිර්මාණය කෙරුණේ 1984 වසරේදීය. 1986 වසරේදී මයිකල් ජෝන්ස්ගේ අධ්‍යක්ෂණයෙන් My Little Pony : The Movie  නමින් කාටුන - සංගීතමය චිත්‍රපටයක් ද නිර්මාණය කෙරිණි. 1986 සිට 1987 දක්වා My Little Pony  තවත් කාටුන පෙළක් විකාශය කෙරුණු අතර 1992 වසරේදී My Little Pony  Tales නමින් කාටුන මාලාවක් ඩිස්නි නාලිකාව ඔස්සේ විකාශය කෙරුණා. 2003 වසරේදී Ponyville නමින් මෙම කුඩා අශ්ව පැටවුන් වෙසෙන ගමක් නිර්මාණ කෙරුණු අතර අදටත් එම සෙල්ලම් පෝනියන් ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගනිමින් කුඩා දරුවන් අතරට පැමිණීම විශේෂයි.

2017 වසර ඔවුන්හට තවත් සුවිශේෂි වසරක් වනුයේ, My Little Pony : The Movie නමින් සජීවකරණ සංගීතමය චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි. පසුගිය සැප්තැම්බර් 24 වැනිදා නිව්යෝර්ක් නගරයේ මංගල දර්ශනයෙන් අනතුරුව එය ඔක්තෝබර් 06 වැනිදා සිට අමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව ඇතුළුව ලොවපුරා තිරගත කිරීම ඇරඹිණි. My Little Pony : The Movie (2017) නිර්මාණය වී ඇත්තේ, 2010 වසරේ විකාශය කෙරුණු My Little Pony :Friendship Is Magic රූපවාහිනි කතා මාලාව ඔස්සේයි.

ට්වයිලයිට් ස්පාර්කල් කුමරිය, රේන්බෝ ඩෑෂ්, ඇපල් ජැක්, පින්කි පායි, ෆ්ලට්ටර් ෂයි සහ රැයිටි එකතුව බෙහෙවින් වීර ගමනක නිරත වෙන්නේ, පෝනිවිල් නම් තම ගම්මානය අඳුරු බලයකින් මුදවා ගන්නා අරමුණ ඇතිවය. මේ හයදෙනා ඉක්වෙස්ට්‍රියාවට යන අතර එහිදී හමුවන නපුරු කුණාටු රජු සහ ඔහුගේ ටෙම්ප්ස්ට් නම් කුඩා කඟවේනා පරාජය කළ යුතු වේ. ස්පාර්කල් කුමරිය, රේන්බෝ ඩෑෂ්, ඇපල් ජැක්, පින්කි පායි, ෆ්ලට්ටර් ෂයි සහ රැයිටි හට එහිදී තවත් අලුත් මිතුරන් සේම අලුත් අභියෝගයන්ද රැසක් හමුවේ.

කැනේඩියානු පරිගණක සජීවකරණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ජේසන් තිසේන් විසින් අධ්‍යක්ෂණය කළ My Little Pony : The Movie (2017) චිත්‍රපටයේ ස්පාර්කල් කුමරිය ලෙස තාරා ස්ට්‍රෝන්ග්, රේන්බෝ ඩෑෂ් සහ ඇපල් ජැක් ලෙස ඈෂ්ලි බෝල්, පින්කි පායි සහ ෆ්ලට්ටර් ෂයි ලෙස ඇන්ඩ්‍රියා ලිබ්මන් සහ රැයිටි ලෙස තබිතා ජර්මේන් විසින් හඬ දායකත්වය ලබා දී ඇත. මෙහි සංගීත අධ්‍යක්ෂණය කර ඇත්තේ, කැනේඩියානු සංගීතඥ ඩැනියෙල් ඉන්ග්‍රෑම් විසිනි.

දශක කිහිපයක් පුරා සෙල්ලම් අශ්වයින් සමඟින් ප්‍රේක්ෂක අවධානය දිනාගත් My Little Pony  සමඟින් රිදී තිරයට පැමිණි My Little Pony : The Movie  (2017) මිශ්‍ර ප්‍රතිචාර ලබා ගන්නට සමත් වී තිබෙනවා. එයට IMDB දර්ශකයේ 6.4/10ක් සහ රොටෙන් ටොමැටෝස් අඩවියේ විචාරක ප්‍රතිචාර සියයට 45ක් හිමියි. ඉතාම සිත් ගන්නා සුලු මිහිරි කතාව අරමුණු කර තිබෙන ප්‍රේක්ෂාකාගාරය සතුටට පත් කළ ද එයින් බැහැර වූවන් ධෛර්යයමත් කරන්නට නම් එය අසමත් වේවි යන්න එම පොදු විචාරයේ අදහසයි. මෙහි රූපවාහිනි කතා මාලාවට වඩා වැඩි දෙයක් තිබුණ ද කාටුන වැඩසටහන සහ චිත්‍රපටය අතර ලොකු වෙනසක් සොයා ගත නොහැකි වන ලෙසින් නිර්මාණය කළේ මන්දැයි සිතාගත නොහැකි බවත් විචාරක අදහස් අතර ඇත. එසේම මෙය සම්ප්‍රදායික ද්විමාන කාටුන චිත්‍රපටක් ලෙසින් නිර්මාණය කර තිබීම නිසා ළමයින් සෙනසුරාදාට නරඹන කාටුන වැඩසටනක් සේ දිස් වෙන්නක් බවත් ලොස් ඇන්ජලීස් ටයිම්ස්හි විචාරක කේට් වොල්ෂ්ගේ අදහසයි.