වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




මේ මහ කන්ද බැලුවා හොරැහින් ම දෙස

මේ මහ කන්ද බැලුවා හොරැහින් ම දෙස

පණ්ඩිත් අමරදේවයන් පිළිබඳ පුත් රංජනගේ මතක සටහන්...

හෙළයේ මහා ගාන්ධර්වයාණන් අපගෙන් සමුගෙන නොවැම්බර් 03 වැනි දිනට වසරක් සපිරෙයි. ඒ සිහිපත් කරමින් විශාරද ඩබ්ලිව්. ඩී.අමරදේවයන්ගේ නිවෙසේ සංඝගත දක්ෂිණාවක් හා දානමය පින්කමක් පසුගියදා (03 හා 04) පැවැත්විණි. සිය පියාණන්ගේ නික්ම යෑම පිළිබඳ හා සිය පියාණන් සමඟ ගෙවූ අතීතය පිළිබඳ පුතු රංජන අමරදේව හෙළිකළ මතක සටහන් කිහිපයක් ඇසුරින් මේ ලිපිය සැකසිණි.

නිවෙසේ සාලයේ එක් පසෙක ඇත්තේ ඔබගේ සුරතේ පහස ලද සර්පිනාවයි. හුදකලාව සිටින සර්පිනාව දෙස බලා සිටින කල මගේ මතකයට පිවිසෙන්නේ ඔබම ය. තාත්තේ, ඔබ අප අතැර ගොස් වසරකි. එහෙත් ඒ බවක් පිළිගන්නට මගේ සිත මට ඉඩ නොදෙයි. පසුගියදා ඔබ වෙනුවෙන් ඔබ සිහිපත් කරමින් පැවැත්වුණු පිරිත හා දානමය පින්කම දිනයේ ඔබට ආදරය කළ කලා ලොවේ සියල්ලෝ ම සුපුරුදු ලෙස අපගේ නිවෙසට පැමිණියහ. ඒ ඔබ සිටි අවදියේ ඔබ හා කතාබස් කිරීමට මෙනි. ඔබ නොමැති බව ඔවුන්ටද නොහැඟෙන බව ඔවුන් හා කළ කතාබහෙන් මට වැටහී ගිය කරුණකි.

“අමරදේව සර්, තාමක් අප අතර ඉන්නවා වගෙයි දැනෙන්නේ”

ඔවුන්ගේ මුවඟින් පැවසෙන ඒ වදන ඔවුන් තෙපළන්නේ සැබෑවටම ය. මටත්, ප්‍රියංවදා හා සුභානි දෙසොහොයුරියන්ටත්, අම්මාටත් දැනෙන්නේ එවැනි ම හැඟීමකි.

ඔබ නිවෙසේ සිටින මොහොතේ ගෙවෙන සුන්දර කාලය අපට නිතරම සිහිපත් වෙයි. නිතර ම සිනහ මුසු මුහුණින් නිවෙසේ වෙසෙන ඔබගේ මුවඟ රැව්දෙන්නේ ගීතයක කොටසකි. එහෙමත් නැත්නම් සර්පිනාව වයමින් ස්වරයක් ගයන අයුරු අපගේ දෙසවනේ ගැටෙයි. එහෙත් අද ඒ සියලු දේ නොඇසුණද අපට හැඟෙන්නේ ඔබ ටික කලකට දුර රටකට ගොස් ඇති බවකි. එකල මෙන් ඔබ විදෙස් ගිය විටෙක දැනෙන පාළුව, තනිකම මිසක අන් සිතුවිල්ලකට ඉඩක් අපගේ සිතේ ඔබ පිළිබඳ නොවේ.

නිවෙසේ අප සමඟ ගෙවන කාලය තරම් සුන්දර කාලයක් ඔබගේ ජීවිතයේ නොවූ වග අපට නොරහසකි. ඒ නිසාමදෝ දුර රටක ගිය සැමවිට ම ඔබ දුරකථනය ඔස්සේ අප අමතන්නට අමතක නොකරනුයේ.

“රන්ජන පුතා මොකද කරන්නේ. මිනිබිරිය පාසල් ගියාද? අක්කා හොඳීන්ද?”

ඒ ළබැඳී සෙනෙහස නිසාමදෝ ඔබ දිනයක් නෑර ම අප හා කතාබස් කිරීමට වෙහෙසෙනුයේ. ඊට පෙර දුරකථනයක් නොමැති කාලවකවානුවල වුවද ඔබට තිබුණේ අපූරු පුරුදු රැසකි. එවැනි කලෙක ඔබ ඒ සිටින රටේ නගරයේ සිට පික්චර් පෝස්ට් කාඩ් එවන්නට අමතක නොකරන අයුරු මට සිහිපත් වෙයි. සුන්දර පින්තූරවලින් සැරැසුණු ඒ කාඩ්වල තවත් සුන්දර දෙයක් ගැබ්ව ඇත. ඒ ඔබ සිටි ස්ථානය ගැන කියැවෙන සුන්දර කවි ගායනා ය. සුන්දර අයුරින් ගොතන ලද ඒ කවි සැමටම ඇසෙන්නට හඬනඟා කියවන්නී ප්‍රියංවදා අක්කා ය.

“මේ බලන්න සුභා තවමත් තාත්තා ඉන්නේ ජර්මනියේ. මේ එහේ ඉඳගෙන එවන හතරවැනි කාඩ් එක”

එලෙස එකම නගරයේ දින කිහිපයක් විසුවද ඒ ඒ ස්ථාන සිහිපත් කරමින් පින්තූර කාඩ් එවීමට අමතක නොකරන ඔබගේ ඒ පුරුද්දේ පුරුදුකාරයන් බවට අපි එකල පත්වී සිටියෙමු. ඒ පුරුද්ද අද ද සිහිපත් වීම නිසාදෝ මගේ නෙත නතර වන්නේ නිවෙසේ ගේට්ටුවේ ඇති ලියුම් රඳවනය මත ය. ඒ තරමටම අපට ආදරය කළ ඔබගේ සෙනෙහස අද අප අතර ම සැඟව ගොස් ඇතිවග දැනෙන්නේ පින්තූර කාඩ් එකක් අපට නොලැබෙන බැවිනි. එසේත් නැතිනම් දුරකථන ඇමතුමක් පෙර මෙන් නොලැබුණු බැවිනි.

ජීවත්ව සිටින කාලයේ ඔබ ඇබ්බැහිව සිටි තවත් පුරුද්දකි. ඒ අප තිදෙනොගේ උපන්දිනයට අප පුදුම කිරීමට ඔබ දෙනු ලබන උපන්දින සුබපැතුම් පතයි. එහි ලියා ඇති ඔබ පද බඳීන ලද සුබපැතුම අපට රටක් රාජ්ජයක් ලැබුණා සේම විය. එකල ඔබ ප්‍රියංවදා අක්කාගේ එක් උපන්දිනයකදි එවන ලද උපන්දින සුබපැතුමක් මට සිහිපත් වෙයි.

“ප්‍රියංවදා ප්‍රිය කුමරියනි,

ගුණනැණ කුසුමෙන් සැරැසෙන්නී

සැපදුක දෙකෙහි නොසැලෙන්නී

වොරඳ නිබඳ ඔබ සව්සිරිනි”

මෙලෙස මටත්, සුභානි අක්කාටත් සුබපතා කවිපද ලියන ලද සුබපැතුම් පත් තවමත් මා ළඟ සුරැකිව තිබේ.මේ සුබපැතුම් පත් උපන්දිනයට යැවීමට අප විවාහ වී ගිය පසුවද ඔබට අමතක නොවිනි. ඒ සුපුරුදු ලෙස යවන සුබපැතුම් පත් අතරට මගේ දියණිය සයුරිගේ නමද ඇතුළත්ව තිබිණි. අපට මෙන්ම ඔබ ඔබගේ මිනිබිරියට බෙහෙවින් ආදරය කළ අත්තා කෙනෙකි.

මගේ දියණියට මෙන්ම අනෙක් ඕනෑම දරුවකුටද ආදරය කළ හැකි අපූරු හදවතක් ඔබට තිබිණි. ඕනෑ ම කුඩා ළමයකු වුවද ඔබට ආදරය කළ බව මම දනිමි. ඒ කුඩා දරුවන්ට ඔබගේ සිතුවිලි දැනුණා යැයි හැඟෙන තරමට ම ඔවුන් ඔබ හා කුළුපග වූ අයුරු මට සිහිපත් වන්නේ නිතැතිනි. වරක් මගේ මතකයට නැඟෙන්නේ සිව් වයසැති කුඩා ළදැරියක ඔබ සොයාගෙන අප නිවෙසෙට පැමිණි අයුරුයි.

“මෙයාගෙන් බේරෙන්න බැහැ. මේ මහත්තයාව ම බලන්න එන්න ඕන කියනවා.”

ඒ සිව් මසැති කුඩා ළදැරියගේ මව අප හා පැවසුවේ ඔවුන්ගේ පැමිණීම ඔබට කරදරයක් වේවි යැයි සිතූ බැවිනි. ඔබ අසලටම ළං වී සිටි ඒ කුඩා ළදැරිය ඔබගේ ගීත ඇතුළත් සංගත තැටි වාදනය කරන්නට යැයි ඔබට කරදර කළා ය. එහෙත් ඉන් වෙහෙසට පත්වූයේ ඔබ නොවේ. ඒ ඒ වරින්වර පෙන්වූ සංගත තැටි වාදනය කර පෙන්වීම ඔබට සතුටක් ම වූයේ ය. ඉන් නොනැවතුණු ඒ ළදැරිය ගීතයක් වයන්න යැයිද ඔබට පවසනු මට ඇසිණි. ඇති තරම් කරදර කළද ඒ සියල්ලටම සිනහවකින් පිළිතුරු දුන් ඔබ මැන්ඩ්‍රො හාප් එක අතට ගත්තේ ගීයක් වයන්නට ය. ගීයක් වයමින් ගයන ඔබ දුටු ඒ ළදැරිය සිනහ සලමින් අත්පුඩි තැලූ අයුරු ඔබ බලාගෙන සිටියේ විමතියෙනි.

නිතරම අප කුඩාකල ගමන් - බිමන් එක්කගෙන යෑමට ඔබගේ සිතේ තිබුණේ දැඩි කැමැත්තකි. ඒ නිසාම අපට නිවාඩු මාසය පැමිණෙනතුරු ඔබ බලා සිටියේ අතේ ඇඟිලි ගනිමිනි. නිවාඩු කාලය ලද පසුව ඔබ අප තිදෙනා හා අම්මා කැටුව බණ්ඩාරවෙල ඇවිදින්නට ගියේ ය. නැතිනම් හන්තාන අසල පිහිටි බංග්ලෝවේ දින කිහිපයක් ගත කළේ ය. අනෙක් දවසක මාතර පොල්හේනේ නාන්නට ගියේ ය.

“ජීවිතය තියෙන්නේ විඳීන්න”

ජීවිතය පිළිබඳ ඔහු දැරුවේ එවැනි මතයකි. සරල ගති පැවතුම් සහිත ඔබ ජීවිතය පිළිබඳද සිතුවේ සරලවම ය. අපේ ම නිවෙසකට එක්තැන් වීමේ බර කරට ගත්තේද අම්මා ය. අපටම නිවෙසක් නොතිබුණද ඔබට එය ගැටලුවක් නොවිණි. ඒ තරමට ම ඔබ ජීවත්වන්නට කැමැත්තක් දැක්වූයේ සරලව ය. සමහර දිනෙක ඔබගේ රථය නොතිබුණද පාරේ බසයක යන්නටද මැළිකමක් දැක්වූ අයෙකු නොවේ. ඒ තරමටම සරල මිනිසකු වූ ඔබ දුටු මඟීහු ඔබට අසුන පිරිනමන්නේ බැතියෙනි.

ඔබ අප තිදෙනා ඉල්ලූ සෑම දෙයක් ම දීමටද වග බලා ගත්තේ ය.

“ඔයා ඔය ළමයින්ව ඉල්ලන ඉල්ලන දේ දීලා නරක් කරන්න එපා”

අම්මා ඔබට කෑ ගැසුවද ඒ ඉල්ලූ දෙය ගෙනැත් දෙන්නට දෙවරක් නොසිතුවේ ය. වරක් කුඩා කාලයේ සෙල්ලම් තුවක්කුවක් ගන්නට මගේ සිතේ වූයේ දැඩි ආසාවකි. ඒ පිළිබඳ මා ඔබට පැවසූ කළ අම්මා එපා යැයි කියද්දී එදින සවස එය අරගෙන ආ අයුරු මගේ මතකයේ රැඳී තිබේ. එහෙත් ඊට පසුව ඊටත් වඩා බුලට් එකක් දමන තුවක්කුවක් මා ඉල්ලූ කල එය අරන් නොදුන්නේ අයහපතක් සිදු විය හැකි නිසා බව මට පසුව වැටහිණි. එවැනි වගකීම් සහිත බවක්ද ඔබ සතු විය. පවුලෙන්ම දඟ දරුවකු වූ මා දිනක් ඔබට එක දිගට කරදර කළ බැවින් කෝටුපාරක් කන්නටද සිදුවිය. එහෙත් ඔබ අපට සොඳුරු පියකුම විය. මේ සිදුවීම් අතරින් ඔබ අප අතැර යන්නට ගිය දිනය කිසිදා මගේ මතකයෙන් අමතක නොවේ.

ඒ ගිය වසරේ නොවැම්බර් 03වැනිදායි. ඔබ ටික දිනක සිට පළ කළේ අසනීප ගතියකි. ඒ අසනීපය වැඩි වූ බව අම්මා අපට දැන්වූයේ ඔබ සමුගෙන ගිය උදෑසනය. එවිට මමත්, බිරියත් දියණියව පාසලට රැගෙන යන්නට සරැසී සිටියෙමු.

“තාත්තාට ටිකක් හුස්ම ගන්න අපහසු වගෙයි”

එසැණින් අපි ඔහු සොයාගෙන ගොස් ඉක්මනින් රෝහලට රැගෙන යන්නට රථයට නංවා ගතිමු.

“පෙරවරු 7.00”

හෝරා යන්ත්‍රයේ වේලාව සටහන් වූයේ එලෙසිනි. මහරගම - පිටකොටුව පාරේ වූයේ දැඩි වාහන තදබදයකි. ඒ නිසා ම අපි තාත්තාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළෙමු. එහෙත් එදින හෝරා කිහිපයකට පසුව ඔබ අප හැරදා යන්නම යන්නට ගියේ ය.

ඊට පෙර කිසිම දිනෙක ඔබ මරණය ගැන දැක්වූයේ බියක් නොව්. එය ඔබ සොයා එතියි ඔබ බලාපොරොත්තු වූයේ මීට වසරකටත් කලියෙනි.

“මට දැන් යන්න කාලය හරි”

එවිට මේ කුමක් පවසන්නේ දැයි අප බැණ වදින කළ ඔබ ඒ බැණුම් අසා සිටින්නේ සිනහ මුසු මුවෙනි. ඒ තරමටම ඔබ ජීවිතය ගැන සිතුවේ මධ්‍යස්ථ බවෙනි.

ඔබ වෙනුවෙන් ඔබගේ උරුමය දැයට දායාද කරන්නට අම්මා ගන්නේ නොමඳ වෙහෙසකි. ඒ ඔබ වෙනුවෙන් තැනෙන ‘අමරදේව අසපුව’ ආශ්‍රමය නිමවන්නට ය. අම්මා ඇතුළු මා මේ දිනවල එහි කටයුතුවලට අපගේ දායකත්වය ලබාදෙන්නේ බොහෝ සතුටෙනි. ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් සිදුවන ඒ කටයුත්ත අවසන් වීමට ඇත්තේ ලබන වසරේ ය. එය සදා නිම වනතරු නිරන්තරයෙන් ම අපි බලාගෙන සිටිමු. ඒ මේ පුංචි රටේ ඔබගේ නාමයට ආදරය කරන මිනිස්සුන්ගේ දැනුමට සෙවණක් වන්නට ය.